මහින්ද අගමැති වෙන බව බිරිඳ ශිරන්ති වත් දැන සිටියේ නැහැ : නව බුද්ධශාසන ඇමති ගම්මන්පිළ තොරතුරු හෙළිකරයි.

Udaya Gammanpila_ Sri Lankan minister

Udaya Gammanpila_ Sri Lankan minister Source: SBS Sinhala

බුද්ධශාසන අමාත්‍ය ධුරයට අභිනවයෙන් පත්වුන උදය ගම්මන්පිල මහතා ඊයේ (නොවැ 13) පස්වරුවේ මල්වතු මහාවිහාරයට ගොස් එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් සහ අස්ගිරි මහා විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේ ය.

එම අවස්ථාවේදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ පැවසූයේ බටහිර රටවල් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇගිලි ගැසීම සුදුසු නොවන බවයි. විදෙස් රටවල් වෙත ලබාදීමට ගිය දේශිය සම්පත් රැසක් බේරා ගැනීමට හැකි වුණේ ජනතාවගේ වාසනාවට යැයි එහිදී මහනායක හිමියෝ බුද්ධශාසන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සමග ප්‍රකාශ කොට සිටියහ.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පැවසුයේ, බටහිර බලවතුන්ට නොදැනීම දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ වෙනස සම්බන්ධයෙන් එම බලවතුන් කෝපයට පත්ව සිටින බැවින් එම රටවල් මේ වන විට ලංකාවේ දේශපාලනයට දැඩි බලපෑමක් සිදුකරමින් සිටින බවයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.

"අපි සමඟ ගැටෙන සතුරා ඉතාමත්ම බලවත්. ඇමරිකාව, ඉන්දියාව, යුරෝපය වැනි ප්‍රබල බලවතුන් සමගයි අපට ගැටීමට සිදුව තිබෙන්නේ. ඒ නිසා පුංචි පුංචි කාරණා සම්බන්ධයෙන් රට තුළ ගැටුම් ඇති කර ගැනීම සුදුසු නැහැ.

දේශපාලනික වශයෙන් මෙම වෙනස සිදුකළේ ඉතාමත් රහසිගතවයි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධූරයේ දිව්රුම් දෙන තුරුම ඒ බව එතුමාගේ භාර්යාවවත් දැන ගෙන සිටියේ නැහැ. ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඒ අවස්ථාවේ සිට ඇත්තේ විවාහ මංගල්‍යයකයි. මේ රහසිගත දේශපාලනික වෙනස සම්බන්ධයෙන් ඇතැම් බටහිර රටවල කෝප වී සිටිනවා. ඒ අය මේ පරාජය පිළි ගන්නේ නැහැ. ඔවුන් දන්නා සියලුම බාධක මේ සඳහා යොදනවා.

ලෝක ඉතිහාසයේ කිසිම විපක්ෂයක් මැතිවරණය එපා කියලා අධිකරණය හමුවට ගිහිල්ලා නැහැ. විපක්ෂයේ අරමුණ විය යුත්තේ කෙසේ හෝ මැතිවරණයකින් තරඟ කොට තමන්ගේ බලය වැඩි කර ගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදී රටක පරමාධිපත්‍ය බලයට අවස්ථාව ලබාදීම සඳහා මැතිවරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

රටේ ඇමැතිවරු සම්බන්ධයෙනේ ලොකු විශ්වාසයක් නොමැති අවස්ථාවක සුදුස්සන් පත්කරගැනීමට ඡන්දයක් පැවැත්විය යුතුයි. ඉකුත් පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ලබාගත්තේ ඡන්ද 29.65% ප්‍රතිශතයක් පමණයි. 70% ක පමණ ජන ප්‍රතිශතයක් පැවති ආණ්ඩුව ප්‍රතික්ෂේප කර තිබෙනවා.

රට කැබලි නමයකට වෙන්කරන පෙඩරල් ව්‍යවස්ථාව පසුගිය කාලයේදී ඉදිරියට ගෙන ආවා. එම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ මෙම නොවැම්බර් හත්වන දිනයි. නමුත් පාර්ලිමේන්තුව කල් දැමීමත් සමග වාසනාවකට මෙන් එය වැළැක්වුණා..." යැයි අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Ven. Warakagoda Gnanarathana from Asgiri Chapter_Udaya Gammanpila
Ven. Warakagoda Gnanarathana from Asgiri Chapter_Udaya Gammanpila Source: SBS Sinhala

අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් අමාත්‍යවරයා හමුවේ අදහස් දක්වමින්,

"..පසුගිය කාලයේදී විවිධ කරුණු කාරණා සම්බන්ධයෙන් යම් යම් අස්ථාවර බවක් දක්නට ලැබුණා. මන්ත්‍රීවරුන් ද එහාට මෙහාට යන තත්ත්වයක් දකින්න තිබුණා. ප්‍රතිපත්තිමය කාරණාවලදී නොව මුදල්මය වශයෙන් පක්ෂ මාරුකිරිම සුදුසු වන්නේ නැහැ. එවැනි දේ සිදුකිරීම කණගාටුදායකයි.

මේ අවස්ථාවේදී රටේ සම්පත් යම් ප්‍රමාණයක් හෝ බේරාගැනීමට අවස්ථාව ලැබීම යහපත්. ඇතිවූ වෙනස රටේ යහපතට සිදුවුණා දැයි සිතෙනවා. නමුත් එහි ප්‍රතිඵල දකින්න කාලයක් ගතවෙනවා. කෙසේ නමුත් සියලු දෙනා සමගි සම්පන්න විය යුතුයි. නොඑසේ නම් අසමගියේ වාසිය හිමිවන්නේ සතුරාට යැයි..." පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම හමුවෙන් අනතුරුව අමාත්‍යවරයා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දන්තධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගත් අතර පසුව මැණීක්හින්න, හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙනට ගොස් එහිදී ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන පෙමසිරි හිමියන් බැහැ දුටුවේය.

මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් පරාක්‍රම ජයවර්ධන මහතා ද මේ අවස්ථාවට එක්විය.

 ** SBS සිංහල වැඩසටහනේ වාර්තාකරු නදීක දයා බණ්ඩාර - මහනුවර සිට සැපයූ තොරතුරු ඇසුරිනි


3 min read

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now