තිහාර් යනු ඕස්ට්‍රේලියාවේ නේපාල ප්‍රජාව විසින් සමරනු ලබන වැදගත්ම උත්සව වලින් එකකි.
දීවාලි, දීපවාලි, බන්ඩි චෝර් දිවාස් සහ තිහාර් සැමරුම් පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා, sbs.com.au/Diwali වෙත පිවිසෙන්න.
ප්‍රධාන වශයෙන් මෙම උත්සවය සමරනු ලබන්නේ හින්දු බැතිමතුන් විසිනි. 2021 ඕස්ට්‍රේලියානු සංගණනයට අනුව 111,353 ක් වන මුළු නේපාල ප්‍රජාවෙන් එය සියයට 83.7 ක් පමණ වේ.
"යමපංචක්" ලෙසද හැඳින්වෙන තිහාර් යනු ආලෝකය, බලාපොරොත්තුව සහ සමෘද්ධිය පිළිබඳ උත්සවයකි.
"යම" යන්නෙන් අදහස් කරන්නේ හින්දු මිථ්‍යා කථාවලට අනුව මරණයේ දෙවියා ලෙස විශ්වාස කරන "යමරාජ්" වන අතර, "පංචක්" යන්නෙන් අදහස් කරන්නේ පංචස්කන්ධය හෝ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම යන්නයි.

තිහාර් යනු ආගමික, සංස්කෘතික සහ විශ්වාස වල සම්මිශ්‍රණයක් වන පස් දින සැමරුමකි.
චන්ද්‍ර දින දර්ශනයට අනුව එය අශ්වින් හෝ කාර්තික් මාස වල යෙදෙයි.
සිඩ්නි නුවර නේපාල සංස්කෘතික ප්‍රවීණයෙකු වන භීම්සෙන් සප්කෝටා පවසන්නේ මෙම උත්සවය එහි ආගමික හා සංස්කෘතික වැදගත්කමට අමතරව සමාජ ප්‍රගතිය සඳහා වැදගත් බවයි.
"එය නේපාල සහ හින්දු උත්සවයක් ලෙස සැලකුවත්, තිහාර් උත්සවයෙන් පිළිබිඹු වන සහෝදරත්වය සහ සොබාදහම කෙරෙහි ඇති ආදරය විශ්මයජනකයි, ඒ වගේම ලෝකයටම ආදර්ශමත්," ඔහු SBS නේපාල සේවයට පැවසීය.
සැමරුම් දින පහ
පළමු දිනය: කාග් තිහාර්
තිහාරයේ පළමු දිනය "කාග් තිහාර්" ලෙස හැඳින්වේ.
"කාග්" යන්න නේපාල භාෂාවෙන් "කපුටා" ලෙස පරිවර්තනය වේ. මෙම දිනයේ දී කුසගින්න සංසිඳුවා ගැනීම සඳහා ආහාර ලබා දී කපුටන්ට මිනිසුන් වන්දනා කරයි.
ස්වභාවධර්මයට ගරු කිරීම යන තේමාව මෙම පිළිවෙතෙහි අන්තර්ගත බව සප්කෝටා මහතා පවසයි.
"කපුටන් කුරුල්ලන් නියෝජනය කරන අතර කුරුල්ලන්ට ගරු කිරීම යනු සොබාදහමට ගරු කිරීමයි" ඔහු පැවසීය.
මෙය තේරුම් ගන්නා කෙනෙකුට, සොබාදහමේ සහ අප අවට පරිසරයේ වැදගත්කම වැටහෙනවා.භිම්සෙන් සප්කෝටා
නකුල් චෙත්‍රි දශකයකට වැඩි කාලයක් සිඩ්නි හි ඊසානදිග උපනගරයක් වන මාරයොන්ග් හි ජීවත් වී ඇත.
සරණාගතයෙකු ලෙස නේපාලයට පලා යාමට පෙර භූතානයේ දී කාග් තිහාර් සැමරූ ආකාරය 75 හැවිරිදි ඔහු සිහිපත් කරයි.
"මම භූතානයේ සහ නේපාලයේ දී කපුටන් සඳහා කුඩා කූරු මල්මාලා සෑදුවා," ඔහු SBS නේපාල සේවයට පැවසීය.
දැන් අපි කපුටන් වෙනුවෙන් පලතුරු ටිකක් එළියේ තියලා, හඳුන්කූරු කිහිපයක් සහ බාති (කපු පහන්) දල්වා පූජා කරනවා. කපුටන් ඇවිත් ඒ පලතුරු කනවා.නකුල් චෙත්‍රි

දෙවන දිනය: කුකුර් තිහාර්
තිහාරයේ දෙවන දිනය "කුකුර් තිහාර්" ලෙස හැඳින්වේ.
නේපාල භාෂාවෙන් "කුකුර්" යන්නෙහි තේරුම "සුනඛයා" යන්නයි.
කපුටන් කුරුල්ලන් නියෝජනය කරනවා සේම, සුනඛයන් කකුල් හතරේ සියලුම සතුන් නියෝජනය කරන බව සංස්කෘතික ප්‍රවීණයෙකු වන සප්කෝටා පවසයි.
අද මිනිසුන් සුනඛයින්ට නමස්කාර කරන්නේ මාලා නමින් හඳුන්වන මල් මාලාවලින් ඔවුන්ව සරසා ඔවුන්ගේ හිස මත රතු ටිකා පැළඳවීමෙනි.
රතු හෝ වෙනත් වර්ණ වර්මිලියන් කුඩු සහ අමු සහල් ඇට මිශ්‍රණයක් වන ටිකා, ගෞරවය සහ භක්තිය පෙන්නුම් කරයි.
බල්ලන්ව නාවලා රසවත් ආහාර වලින් සුරතල් කරනවා.
සප්කෝටා පවසන්නේ මෙය මිනිස් වර්ගයාට පක්ෂපාතීත්වය සහ සේවය සඳහා බල්ලන්ට ගරු කිරීමේ දිනයක් බවයි.
"ගොවිපලවල වේවා, ගුහාවල වේවා, නැතහොත් ආරක්ෂාව සඳහා වේවා, මානව ශිෂ්ටාචාරයේ ප්‍රගතිය පුරාම, සුනඛයින් මිනිසුන්ට නිරන්තර මිතුරෙකු සහ සහයෝගයක් වී ඇත," ඔහු පැවසීය.
මිනිස් ඉතිහාසයේ ආරම්භයේ සිටම පැවත එන සුනඛයින් සහ මිනිස් වර්ගයා අතර සම්බන්ධතාවය මෙම දිනයේ දී සමරනු ලබනවා.භිම්සෙන් සප්කෝටා

ෆුර්සැන්ග්බු ෂර්පා යනු ඕස්ට්‍රේලියාවේ මෙම සම්ප්‍රදාය ක්‍රියාත්මක කරන බොහෝ නේපාල ජාතිකයන්ගෙන් කෙනෙකි.
2021 දී, ඔහු සූපවේදියෙකු ලෙස සේවය කරන ඩාවින් ට්‍රේලර් බෝට්ටු සමාජයේ ඔහුගේ සේවා ස්ථානයේදී කුකුර් තිහාර් සැමරීය.
"ඩාවින්හි සහ අපගේ සේවා ස්ථානයේ, නේපාල ජාතිකයන් විශාල පිරිසක් සිටිනවා. එබැවින් අපගේ සංස්කෘතිය අන් අයට හඳුන්වා දීමේ මාර්ගයක් ලෙස කුකුර් තිහාර් වැඩසටහනක් සංවිධානය කිරීමට අපි තීරණය කළා," 33 හැවිරිදි ඔහු පැවසීය.
එයට නේපාල ජාතිකයන් පමණක් නොවේ, බොහෝ ඕස්ට්‍රේලියානුවන් ද සහභාගී වුනු අතර මල් මාලා සමඟ ඔවුන්ගේ සුරතල් බල්ලන් ද රැගෙන ආවා.ෆුර්සැන්ග්බු ශ්‍රෙපා
තුන් වන දිනය: ගයි තිහාර්
තිහාරයේ තුන්වන දිනය "ගයි තිහාර්" ලෙස හැඳින්වේ. නේපාල භාෂාවෙන් "ගයි" යන්නෙහි තේරුම "ගව" යන්නයි.
මෙම දිනයේ දී, ගවයින්ට ටිකා සහ මල්මාලා පැළඳවීමෙන් වන්දනාමාන කරනු ලබන අතර, අමතර ආහාර ද පිරිනමනු ලැබේ.

නේපාලයේ මෙන් සාමාන්‍යයෙන් ගවමඩු නේවාසික ප්‍රදේශවලට ආසන්නව පිහිටා නොමැති බැවින්, සිඩ්නි නගරයේ පදිංචිකරුවෙකු වන ඕම් ධුන්ගල් පවසන්නේ ගව වන්දනාව සඳහා තම පවුල සිඩ්නි නගරයට උතුරින් පිහිටි ගව ගොවිපලකට [New Gokula Farm] ගිය බවයි.
අපි අපේ දෙමව්පියන්ව හන්ටර් නිම්නයේ ගව ගොවිපලකට එක්කගෙන යනවා. අපි ගවයින්ට එහිදී නමස්කාර කරනවා, ඒ වගේම එතන කෝවිලක් තියෙනවා, ඒ නිසා ඒක අපේම ගමේ වගේ දැනෙනවා.ඕම් ධුන්ගල්
"ගයි තිහාර් දිනයේදී ම අපිට යන්න ලැබෙන්නේ නැහැ, මොකද ඒක දුර ගමනක් නිසා, නමුත් අපි ඒ ආසන්න දවසක එතනට යනවා," 65 හැවිරිදි ඔහු පැවසීය.
සප්කෝටා පවසන්නේ මෙම දිනය ගව සංරක්ෂණය සඳහා ද උපකාරී වන බවයි. ගවයින් පිළිකා සුව කිරීම සඳහා දායක වන බව විශ්වාස පවතින අතර ඔක්සිජන් පිට කරන එකම සතුන් ගවයින් බවත් ඔහු පවසයි.
තිහාරයේ තුන්වන දිනය ගව වන්දනාව සමඟ ගෙවී යන විට, තුන්වන රාත්‍රිය සාමාන්‍යයෙන් නේපාල භාෂාවෙන් "නමස්කාරය" යන අර්ථය ඇති "පුජා" සහිත ලක්ෂ්මි පූජාව පැවැත් වේ.

හින්දු ඇදහිලි අනුව ලක්ෂ්මි ධනයේ සහ සමෘද්ධියේ දේවතාවිය ලෙස විශ්වාස කෙරේ.
ලක්ෂ්මි පූජාව සඳහා සූදානම් වීම ආරම්භ වන්නේ ධනයේ දේවතාවිය පිළිගැනීම සඳහා නිවැසියන් තම නිවෙස් පිරිසිදු කිරීමෙනි.
පිරිසිදු පරිසරයක් පවත්වා ගැනීම සාමය හා ප්‍රගතිය සඳහා අඩිතාලමක් සපයන බව විශ්වාස කෙරේ.
නිවෙස් වල දල්වනු ලබන්නේ සාම්ප්‍රදායික "ඩියෝ" ලෙස හඳුන්වන තෙල් ලාම්පු වන අතර එය මඩෙන් සාදා ඇති අතර කපු තිරය තෙල්වල ගිල්වා ඇත.

පවුලේ අය එකතුවී, ආභරණ සහ මුදල් වැනි මූල්‍යමය වටිනාකමක් ඇති භාණ්ඩ සමඟ ලක්ෂ්මිගේ පිළිම හෝ පින්තූර වන්දනාමාන කරන්නේ, මූල්‍යමය බහුලත්වය සහ සමෘද්ධිය ලබා ගැනීමේ විශ්වාසයෙනි.
ක්වීන්ස්ලන්ත පදිංචිකරුවෙකු වන නිටේෂ් රාජ් පාන්ට් පවසන්නේ පවුලේ අය අසල නොමැතිව තිහාර් දිනය නේපාලයේ තරම් ප්‍රීතිමත් නොවුනත් ලක්ෂ්මි පූජා දිනය යනු කෙසේ වෙතත් විශේෂ දිනයක් බවයි.
"ලක්ෂ්මි පූජා දිනයේ සෑම දෙයක් ගැනම මමත් මගේ බිරිඳත් සතුටින් විඳිනවා," ඔහු පැවසීය.
"දවසේ සූදානමේ සිට පසුදා පූජාව සහ පහන් දැල්වීම දක්වා සියල්ල ඉතාම ප්‍රියජනකයි."
තිහාර්හි මෙම ආලෝකයෙන් පිරුණු රාත්‍රිය සාම්ප්‍රදායික ආහාර සහ සංගීතයෙන් තවදුරටත් ඔප් නංවයි.
පවුල් අය එකතු වී සෙල් රොටි සාදයි. එය ප්‍රධාන වශයෙන් සහල් පිටි, ජලය, සීනි සහ බටර් වලින් සාදන ලද පැණි රසැති, ගැඹුරු තෙලේ බැද සාදන කැවිලි වර්ගයකි.

ලක්ෂ්මි පූජාවේ සිට තිහාර් මාසයේ අවසාන දිනය දක්වා, මිනිසුන් කණ්ඩායම් වශයෙන් රැස් වී සාම්ප්‍රදායික ඩියුසි සහ භයිලෝ ගීත ගායනා කරන අතර, සාමාන්‍යයෙන් සවස් කාලයේ සිට රාත්‍රිය දක්වා නැටුම් නටමින් ගෙයින් ගෙට යයි.
බර්ෂා භන්දාරි යනු නර්තන ශිල්පිනියක් වන වික්ටෝරියා හි නේපාල සංවිධානයක් වන ගුල්මි සමාජ් හි හිටපු ලේකම්වරියකි.
23 හැවිරිදි ඇය පවසන්නේ ඇය නේපාලයෙන් පිටත හැදී වැඩුණත්, මෙම උත්සව නේපාල සංස්කෘතිය ඇගේ හදවතට සමීපව තබා ගැනීමට හේතු වන බවයි.
"වාර්ෂිකව, අපි බස් රථයක් වෙන්කරවාගෙන, ඩියුසි බයිලෝ නර්තන ඉදිරිපත් කිරීමට නිවෙස්වලට යනවා," ඇය පැවසුවාය.
මේ දේවල් මාව මගේ සංස්කෘතික මුල්වලට සමීප කරනවා. විශේෂයෙන් නේපාල සංස්කෘතියත් සමඟ සංගීතය සහ නැටුම් සැමවිටම බද්ධ වෙලා තියෙනවා කියලා මම හිතනවා. ඒක අපිට එකට එකතු වී සැමරීමට හොද මාර්ගයක්.බර්ෂා භණ්ඩාරි

සිව් වන දිනය: ගෝවර්ධන් පූජා සහ ම්හා පූජා
ගෝවර්ධන පූජාව යනු උතුරු-මැද ඉන්දියාවේ මථුරා නගරයේ පිහිටි කන්දක් වන ගෝවර්ධන කන්දට නමස්කාර කිරීමේ දිනයයි.
හින්දු පුරාවෘත්තයන්ට අනුව, ක්‍රිෂ්ණා දෙවියන් තම කුඩා ඇඟිල්ලෙන් ගෝවර්ධන කන්ද ඔසවා ගම්වැසියන්ට ධාරානිපාත වර්ෂාවෙන් ආරක්ෂාව සැලසූ බව කියැවේ.
මිනිසුන් ගව ගොම භාවිතයෙන් ගෝවර්ධන කන්දේ හැඩය නිර්මාණය කර ටිකා යොදාගෙන එයට නමස්කාර කරති.
සාමාන්‍යයෙන්, "ගෝරු තිහාර්" ද මෙම සිව්වන දිනයේ සමරනු ලබන අතර, නේපාල භාෂාවෙන් "ගෝරු" යන්නෙහි තේරුම "ගොනා" යන්නයි.
"පුරාණ කාලයේ සිටම ගොවිතැනට සහ වතු වගා කිරීමට ගවයන් දැක්වූ දායකත්වයට ස්තූති කිරීමට මිනිසුන් ගවයන්ට නමස්කාර කරනවා," සංස්කෘතික විශේෂඥ සප්කෝටා පැවසීය.
නේපාලයේ ප්‍රමුඛ ජනවාර්ගික ප්‍රජාවක් වන "නෙවාර්" සඳහා තිහාර්හි සිව්වන දිනය වෙනස් වැදගත්කමක් දරයි.
මෙම දිනයේ දී, ඔවුන් ස්වයං නමස්කාර උත්සවයක් වන "මහා පූජා" සමරයි.
නෙවාරි භාෂාවෙන් "ම්හා" යන්නෙහි තේරුම "ශරීරය" යන්නයි.

සිටු ශ්‍රෙස්තා පසුගිය වසර අටක කාලය තුළ මෙල්බර්න් හි ජීවත් වන අතර සෑම වසරකම මෙම චාරිත්‍රයට දායක වී ඇත.
"මගේ පවුලේ සාමාජිකයන් සමඟ ම්හා පූජා සැමරුමට දැන් අවුරුදු අටක් වෙනවා, නමුත් මගේ මිතුරන් සමඟත් මෙය සැමරීමට ලැබීම මට සතුටක්," ඇය පැවසුවාය.
අපි මෙහි (ඕස්ට්‍රේලියාවේ) ම්හා පූජාව ආරම්භ කරන සෑම අවස්ථාවකම, මම ගෙදර සිටින මගේ අම්මා සමඟ කතා කරනවා. ඇයට මට පූජාව කරන විදිහ කියාදිය හැකි වන පරිදි අපි වීඩියෝ සංවාද පවත්වනවා.සිටු ශ්‍රෙස්තා
ම්හා පූජා යනු නේපාලයේ ජාතික චාරිත්‍රානුකූල දින දර්ශනය වන නේපාල සම්බාත් දින දර්ශනයට අනුව නව වසරේ ආරම්භය ද දක්වයි.
පස් වන දිනය: බායි ටිකා
තිහාරයේ අවසාන දිනය සහෝදර සහෝදරියන් වෙනුවෙන් කැප කර ඇති අතර එය "භායි ටිකා" හෝ "භායි පූජා" ලෙස හැඳින්වේ.
නේපාල භාෂාවෙන් "භායි" යනු "බාල සහෝදරයා" හෝ පොදුවේ "සහෝදරයා" යන්නයි.
සහෝදරයන් වාඩි වී සිටියදී සහෝදරියන් තෙල් හා වතුර රැගෙන ඔවුන් වටා පැදකුණු කරයි. එය නරක පෙර නිමිති වලින් ඔවුන්ව ආරක්ෂා කරන බව විශ්වාස කෙරේ.
සහෝදරියන් තම සහෝදරයන්ගේ නළල මත රතු, සුදු, කහ, නිල්, රෝස, තැඹිලි, කොළ සහ තවත් බොහෝ වර්ණවලින් යුත් වර්ණ ටීකා හතක් හෝ වැඩි ගණනක් ගල්වයි. ඉන්පසු සහෝදරයන් තම සහෝදරියන් සඳහා ද එසේ ම සිදු කරයි.

සහෝදරියන් තම සහෝදරයන් සඳහා රසවත්, සාම්ප්‍රදායික ආහාර පිසින අතර ඒවාට පොඩිකල බත්, මාළු, බිත්තර, ව්‍යංජන සහ සලාද ඇතුළත් වන අතර, සහෝදරයන් ඒ වෙනුවෙන් ඔවුන්ට තෑගි ලබා දෙයි.
ඔවුන් "මක්මාලි" ලෙස හඳුන්වන ග්ලෝබ් අමරන්ත් මල් වලින් සාදන ලද මල්මාලා පළඳිති.
සහෝදරයන්ට "මසාලා" නමින් පෝෂ්‍යදායී කෙටි ආහාර පැකට්ටුවක් ද පිරිනමනු ලබන අතර එයට කජු, ආමන්ඩ්, වෝල්නට්, මුද්දරප්පලම්, සූකිරි සහ චොකලට් ඇතුළත් වේ.
භූතාන සරණාගතයෙකු වන සිඩ්නි හි ඕම් ධුන්ගල් 2022 දී SBS නේපාල සේවයට අදහස් දක්වමින් පැවසුවේ එම වසරේ භායි ටිකා සඳහා තමන් ඉතා උනන්දුවෙන් බලා සිටි බවයි.
"මේ අවුරුද්ද හරිම විශේෂ වෙයි මොකද මම දශක කිහිපයකට පස්සේ මගේ නංගි එක්ක බායි ටිකා කරනවා," ඔහු පැවසීය.
මම 1992 දී භූතානයෙන් පිටව ගියා. මගේ සහෝදරියන් එහි නැවතුනා. අපි මේ අවුරුද්දේ (එකට) සමරන්න යන්නේ බොහෝ කලකට පසුවයි.ඕම් ධුන්ගල්

නව පරම්පරාවන්ට සංස්කෘතිය දායාද කිරීම
ක්වීන්ස්ලන්තයේ නේපාල ගුවන් විදුලි නිවේදකයෙකු වන කේෂබ් ෂර්මා දශක දෙකකට ආසන්න කාලයක් බ්‍රිස්බේන් හි ජීවත් වේ.
සම්ප්‍රදායන් අනුගමනය කිරීම සහ නව පරම්පරාවන්ට ඒවා ලබා දීම නේපාල ප්‍රජාවේ යුතුකම බව ඔහු පවසයි.
"අපි මීට වසර 20 කට පමණ පෙර බ්‍රිස්බේන් වෙත පැමිණෙන විට, නේපාල පවුල් ඉතා ස්වල්පයක් සිටි අතර සෑම කෙනෙකුම පාහේ එකිනෙකා දැන සිටියා. නමුත් දැන් එය එසේ නොවේ," ඔහු පැවසීය.
නවීකරණය සහ සමාජ මාධ්‍ය සමඟ, සැමරුම් වඩාත් බහුල ලෙස සිදුවෙමින් පවතිනවා. නමුත් ඒ සමඟම, වෙනත් සංස්කෘතීන් වලින් මුහුවුනු චාරිත්‍ර වාරිත්‍ර ත් අනුගමනය කරමින් සිටිනවා.කේෂබ් ෂර්මා
"නේපාල සංස්කෘතිය සහ සම්ප්‍රදායන් අනාගත පරම්පරාවන්ට නිසි ආකාරයෙන් ලබා දීම සඳහා ප්‍රජාව සහ වාර්ගික නායකයින් විශාල උත්සාහයක් දැරිය යුතු යැයි මම සිතනවා." ඔහු වැඩිදුරටත් පැවසීය.
දීපවාලි, දීපවාලි, බන්ඩි චෝර් දිවාස් සහ තිහාර් සැමරුම් පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා, sbs.com.au/Diwali වෙත පිවිසෙන්න.

