ඔස්ට්‍රේලියාවේ COVID-19 එන්නත් ලබාගත හැකි සියලුම පුද්ගලයින් ට තමාගේ පවුලේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කර AstraZeneca එන්නත ලබාගැනීමට අවසර ඇති බවට පසුගිය සතියේ ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrisson ප්‍රකාශ කළේය.
නමුත් AstraZeneca එන්නත ලබාගන්නා ඇතැම් පුද්ගලයින් හට කලාතුරකින් රුධිරය කැටි ගැසීමේ අතුරු ආබාධයක් ඇතිවන බවට සොයාගැනුණු නිසා එය වයස අවුරුදු 60 ට වඩා අඩු පුද්ගලයින්ට ලබා නොදෙන ලෙස ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම නිර්දේශ කළේය.
ඒ අනුව වයස අවුරුදු 16 ත් 60 ත් අතරේ පසුවන ඔස්ට්‍රේලියානුවාසීන්ට Pfizer එන්නත ගැනීම සුදුසු බවට ඔවුහු නිර්දේශ කළහ. නමුත් එය තවමත් පුළුල් ලෙස ලබා ගැනීමට හැකියාවක් නොමැති බව වාර්තා වේ.
Highlights
- ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම, AstraZeneca එන්නත ලබාගැනීමේදී ඔස්ට්‍රේලියානුවන්ට නිකුත් කළ උපදේශයේ මූලධර්ම තුනක් අඩංගු වේ.
- ප්‍රමාණවත් තරම් තොග නොමැතිවීමෙන් Pfizer එන්නත ලබා ගැනීමට නොහැකිවීම පළමුවැන්න වේ.
- AstraZeneca එන්නතෙහි ප්‍රතිලාභ එහි අවදානම් ඉක්මවා යා යුතුය යන්න දෙවැන්න වන අතර එය ලබා ගන්නා පුද්ගලයා එම අවදානම් සහ ප්‍රතිලාභ පිළිබඳ අවබෝධකරගෙන තම දැනුවත් කැමැත්ත ලබා දිය යුතු වීම තුන්වැන්න වේ.
කෙසේනමුත් AstraZeneca එන්නත තරුණ තරුණියන්ට ලබාගැනීමට ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම තහනම් කර නැති බව අගමැති මොරිසන් පවසා තිබේ.
නමුත් AstraZeneca එන්නත වයස අවුරුදු 16 ත් 60 ත් අතරේ පසුවන ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබාගත හැකිය යන අගමැති මොරිසන්ගේ එම ප්‍රකාශයට ප්‍රාන්ත නායකයින් සහ සෞඛ්‍ය බලධාරීහු රැසක් සිය විරෝධය පළ කර ඇත.
මේ හේතුවෙන් එම වයස් ඛාණ්ඩයේ පසුවන බොහෝ දෙනෙකු මේ පිළිබඳ අවබෝධ කරගැනීමට දැඩි ගැටළු වලට මුහුණ පා සිටිති.
ඒ අනුව ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම මේ සම්බන්ධයෙන් ලබාදුන් උපදෙස් නොවෙනස්ව පවතින නමුත් ඒවා ඉතා සූක්ෂම වේ.
එනිසා එම උපදෙස් පහත පරිදි ලිහිල් කරගැනීමට SBS පුවත් සේවය උත්සහ කළේය.
AstraZeneca එන්නත ගන්නවාද යන්න තීරණය කිරීම සඳහා මූලධර්ම තුනක්
ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම, AstraZeneca එන්නත ලබාගැනීමේදී ඔස්ට්‍රේලියානුවන්ට නිකුත් කළ උපදේශයේ මූලධර්ම තුනක් අඩංගු වේ.
ඒ අනුව වයස අවුරුදු 60 ට වඩා අඩු පුද්ගලෙයකු AstraZeneca එන්නත ලබගන්නවානම් එම මූලධර්ම තුනම සත්‍ය විය යුතුය.

පළමු මූලධර්මය
ප්‍රමාණවත් තරම් තොග නොමැතිවීමෙන් Pfizer එන්නත ලබා ගැනීමට නොහැකිවීම.
මේ මොහොතේ බොහෝ දෙනෙකුට මෙම තත්ත්වය උදාවී ඇත.
ඔබට කොරෝනා එන්නත ලබාගැනීමට වේලාවක් වෙන්කරවා ගත හැකිනම් එය ලබාගැනීමට මාස තුනක් පමණ බලා සිටීමට සිදුවනු ඇත.
Pfizer එන්නත නුදුරේදීම ඔස්ට්‍රේලියාවේ බහුලව ලබාගත හැකිවනු ඇති බවට පැවසෙන නමුත් ඔක්තෝබර් වලට පෙර එය සිදු නොවනු ඇත.
දෙවැනි මූලධර්මය
AstraZeneca එන්නතෙහි ප්‍රතිලාභ එහි අවදානම් ඉක්මවා යා යුතුය.
AstraZeneca එන්නතෙහි අවදානම් සහ ප්‍රතිලාභ තක්සේරු කිරීම දුෂ්කර බැවින් මෙය ඉතා දැඩි නිර්ණායකයකි.
AstraZeneca එන්නතෙහි ප්‍රධාන අවදානම ලෙස සැලකෙන්නේ එය ලබාගත් පුද්ගලයින්ට රුධිරය කැටි ගැසීමේ අතුරු ආබාධයකට මුහුණ පෑමට සිදුවීමය.
එය කලාතුරකින් සිදුවන දෙයක් වන නමුත් මාරාන්තික වේ.
ඒ අනුව AstraZeneca එන්නතෙහි අවදානම් සහ ප්‍රතිලාභ අතර තුලනය රඳා පවතින්නේ අදාළ පුද්ගලයාගේ COVID-19 වයිරසයට නිරාවරණය වීමේ අවදානම මතය.
මෙම මෙම භයානක ප්‍රතිඵල සඳහා වඩාත්ම වැදගත් අවදානම් සාධකය ලෙස වයස ලෙස හැඳින්විය හැකිය.
නමුත් හෘද රෝග, පෙනහළු රෝග, අධික රුධිර පීඩනය, දියවැඩියාව සහ පිළිකා ඇතුළු වෙනත් තත්වයන් ද වැදගත් බව පෙනේ.
තුන්වන මූලධර්මය
AstraZeneca එන්නත ලබා ගන්නා පුද්ගලයා ඉහත අවදානම් සහ ප්‍රතිලාභ පිළිබඳ අවබෝධකරගෙන තම දැනුවත් කැමැත්ත (informed consent) ලබා දිය යුතුය.
අත්විය හැකි හානිය සහ ප්‍රතිලාභ
AstraZeneca එන්නත ලබාගැනීමෙන් ඒ ඒ වයස් ඛාණ්ඩ වලට අත්විය හැකි රුධිරය කැටි ගැසීමේ අවදානම සහ ප්‍රතිලාභය පිළිබඳ පහත වගුවෙන් නිරුපණය කෙරේ.

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)


