Key Points
- ඕස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව මගින් පෙබරවාරි මාසයේදී පොළී අනුපාත ඉහල දමනු ඇත
- කෙසේ නමුත් උද්ධමනය ලොව පුරා පහත වැටෙන බව පෙනී යයි
- පෙබරවාරි මාසයේදී ඕස්ට්‍රේලියාවේ පොළී අනුපාතය තවදුරටත් ඉහල නොයනු ඇති බව විශේෂඥයකු පවසයි
ඕස්ට්‍රේලියාවේ උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා ඉහළයාමක් දක්නට ලැබෙන බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
AMP Capital හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Shane Oliver පැවසුවේ උද්ධමනය පිලිබඳ සංඛ්‍යාලේඛන මගින් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව (RBA) පොළී අනුපාතය යලිත් ඉහල නැංවීමට ඉඩ ඇති බවයි. මෙය ඇතැම් විට 0.25%කින් ඉහල දැමීමට ඉඩ ඇති බව Shane පෙන්වා දෙයි.
මේ අනුව සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 500,000 ක ණයක් තිබෙන පිරිසට මසකට අමතර ඩොලර් 80 ක් ගෙවීමට සිදු වේ, එය වසරකට අමතර ඩොලර් 900 කි.
පසුගිය වසරේ මැයි මාසයේ සිට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව මගින් පොළී අනුපාතය වාර්තාගත අවම සියයට 0.1 සිට ඉහල නැංවීම ආරම්භ කළේය. මේ හේතුවෙන් පොළී අනුපාත 3% න් ඉහල ගොස් තිබේ. මේ අනුව ඩොලර් 500,000 ක නිවාස ණයක් ඇති පිරිසට පෙර පැවතියාට වඩා, වසරකට වන ණය ගෙවීම් ඩොලර් 12,000 ක් දක්වා ඉහල ගොස් තිබේ.
නමුත් නිව් සවුත් වෙස්ල් ප්‍රාන්තයේ Sydney හි නිවාස ණය අනුපාතය මීටත් වඩා ඉහල අගයක් ගන්නා අතර, ඇතැම් පිරිසට මෙය වසරකට අතිරේක ඩොලර් 20,000 ක් දක්වා ඉහල ගොස් ඇතැයි Shane පවසයි.

මෙම පෙබරවාරි මාසයේ සිදු වනු ඇති බවට අපේක්ෂා කරන පොළී අනුපාත ඉහල දැමීම සිදු වුවහොත්, එය මෙම වසර සඳහා වන අවසාන පොලී අනුපාත ඉහල දැමීම වනු ඇති බවට Shane කියා සිටී.
කෙසේ නමුත් වනවිට ගෝලීය වශයෙන් උද්ධමන පීඩනය ලිහිල් වීමට පටන්ගෙන ඇති අතර, ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව ඇතැම් විට මෙවර පොළී අනුපාත ඉහල නොදමනු ඇතැයිද විශ්වාස කරන බව ආර්ථික විද්‍යාඥ Shane පවසයි.
ඇමරිකාව තුල උද්ධමනය පසුගිය වසරේ මැද භාගයේදී 9.1% දක්වා ඉහළ ගිය නමුත් මේ වන විට එය 6% දක්වා පහළ බැස තිබේ.
පසුගිය වසරේ භාණ්ඩ මිල ඉහළ ගිය කාලයට සාපේක්ෂව ඉහල සැපයුමක් ලැබීමත් සමඟ මේ වනවිට ගෝලීය වශයෙන් භාණ්ඩවල මිල ද පහත වැටී තිබේ. මේ අනුව ලොව පුරා භාණ්ඩ නැව්ගත කිරීමේ පිරිවැය ද පූර්ව වසංගත මට්ටමට පැමිණ ඇති අතර "තෙල්" වැනි සම්පත් සඳහා වන භාණ්ඩ මිලද පහත වැටී තිබේ.
උද්ධමනය සඳහා ප්‍රධාන හේතු
ආර්ථික විද්‍යාඥ Shane පෙන්වා දෙන්නේ පසුගිය කාලයේදී සංචාරය කිරීම සඳහා ඕස්ට්‍රේලියානුවන් සිදු කල ඉහල වියදම් සහ නවාතැන් වියදම්, පසුගිය කාර්තුවේ ඔස්ට්‍රේලියාවේ උද්ධමනය සඳහා විශාල බලපෑමක් සිදු කල බවයි. කෙසේ නමුත් මෙය නැවත සිදු නොවනු ඇති බවත් ඔහු පවසයි.

උත්සව සමයේදී දේශීයව සිදු වූ නිවාඩු සංචාර සහ නවාතැන් සඳහා මිල ගණන් 13.3% කින් සහ ජාත්‍යන්තරයේ සිදු වූ නිවාඩු සංචාර සහ නවාතැන් පහසුකම් සඳහා මිල ගණන් 7.6% කින් ඉහළ යාමත් සමඟ, දෙසැම්බර් කාර්තුවේදී බලාපොරොත්තු වූවාට වඩා ඉහල උද්ධමනයක් සිදුව තිබේ.
කෙසේ නමුත් සංචාරක කර්මාන්තය යලි යථා තත්වයට පත්වීමත් සමග ඕස්ට්‍රේලියානුවන් එම අධික මිල ගණන් ගෙවීමෙන් වැළකී සිටිනු ඇත.

පසුගිය වසරේ සිදු වූ පොළී අනුපාත ඉහල දැමීම බොහෝ ආර්ථික විද්‍යාඥයින් බලාපොරොත්තු වූවාට වැඩ ඉහල වූ බැවින්, පෙබරවාරි මසදී ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව මගින් සිදු කරනු ඇතැයි විශ්වාස කරන පොළී අනුපාත ඉහල දැමීම පිළිබඳව පුදුමයට පත් විය යුතු නැති බවත් ආර්ථික විද්‍යාඥ Shane Oliver කියා සිටී.
මෙම වසරේදී උද්ධමනය පහත වැටීමට පටන් ගතහොත් වසර අවසානයේදී උද්ධමනය ක්‍රමයෙන් පහල යාම සිදු වේ.
පුද්ගලයින්ට, ඔවුන්ගේ භාණ්ඩ සඳහා ගෙවීමට වන මුදල් ප්‍රමාණය එකම මට්ටමක පවතින අවස්ථාවකදී සිල්ලර භාණ්ඩ සැපයුම දුර්වල වීම සිදු වූ විට,එය උද්ධමනය උච්චතම අවස්ථාවට ආසන්න බවට වන සලකුණකි.
කෙසේ නමුත් මේ අතරතුර වැටුප් වැඩි වීම සිදු වුවහොත් තත්වය වෙනස් විය හැකි අතර, උද්ධමනය ඒ අයුරින්ම පැවතිය හැකි බවත් ආර්ථික විද්‍යාඥ Shane Oliver අවධාරණය කොට සිටී.

ඕස්ට්‍රේලියාවේ පොළී අනුපාත වාර්තාගත අවම අගයකට පැමිණේද?
පොළී අනුපාත කප්පාදුව නිවාස හිමියන්ට ශුභ ආරංචියක් වනු ඇති නමුත්, ආර්ථික විද්‍යාඥ Shane පැවසුවේ COVID-19 වසංගතය තුළ ඔවුන්ට පැවති ආකාරයේ අඩු මට්ටමට නිවාස ණය සඳහා වන පොළී අනුපාත නැවත පහත වැටෙනු ඇතැයි අපේක්ෂා නොකරන බවයි.
ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය බදාදා අනාවරණය කොට සිටියේ පසුගිය දෙසැම්බර් කාර්තුවේ උද්ධමනය වාර්ෂිකව 7.8%කින් ඉහළ ගිය බවයි. මෙය 1990 වසරේ සිට පාරිභෝගික මිල දර්ශකයේ ඉහළම වැඩිවීම වශයෙන් සැලකේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඕස්ට්‍රේලියානු භාණ්ඩාගාරික Jim Chalmers පසුගිය බදාදා සඳහන් කොට සිටියේ මේ වනවිට උද්ධමනය පිළිගත නොහැකි තරම් ඉහළ මට්ටමක පවතින නමුත් එය මේ වනවිට එහි උච්චතම අවස්ථාවේ හෝ ඊට ආසන්නයේ පවතින බවයි.

මාස තුනක කාලය තුළ විදුලි මිල 8.6% කින් ඉහළ යාම සම්බන්ධයෙන් ඔහු පුදුමයට පත් නොවන බව පැවසූ අතර, රජයේ මිල සීමාවන් සහ සෙසු මැදිහත්වීම් ඔස්සේ බලශක්ති මිල ඉදිරියේදී ස්ථාවරව තබා ගන්නා බවද පැවසීය.
මේ අතර ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ මිල සංඛ්‍යාලේඛන ප්‍රධානී Michelle Marquardt පෙන්වා දෙන්නේ බටහිර ඕස්ට්‍රේලියාව, විදුලි බිල්පත් සඳහා ඩොලර් 400 ක සහන ලබාදීම ඔස්සේ දෙසැම්බර් කාර්තුව සඳහා වූ දත්ත වලට බලපෑම් සිදු වූ බවයි.
- Additional reporting by AAP

