පසුගිය ජූලි 09 වනදා කොළඹදී පැවති අති දැවැන්ත ජන අරගලයෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි 13 වන දින ඉල්ලා අස්වන බව එදිනම රාත්‍රියේ කතා නායකවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.
ඒ අනුව ජූලි 13 න් පසුව ශ්‍රී ලංකාවේ ජනාධිපතිධුරය පුරප්පාඩු වීමට නියමිතය.
Highlights
- පුරප්පාඩු වන ජනාධිපති ධුරයට සජිත් ප්‍රේමදාස සහ ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇත.
- නව ජනාධිපතිවරයෙකු පත් කරන අයුරු නීතීඥ සංගමය පැහැදිලි කරයි.
- ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා පෙරට ගෙන යාමට ඉදිරියේදී ලැබෙන දේශපාලන විසඳුම පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි.
එමෙන්ම වත්මන් ශ්‍රී ලංකා අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ද ඉල්ලා අස්වීමට බල කෙරෙන අතර ඔහුද ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කර තිබේ.
මේ හේතුවෙන් අගමැතිධුරය ද පුරප්පාඩු වීමට නියමිතය.
මේ තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ මීළඟට කුමක් සිදුවේද?
SBS සිංහල ගුවන් විදුලියට ලද තොරතුරුවලට අනුව ජූලි 11 උදෑසන වන විට ශ්‍රී ලංකාවේ තත්ත්වය සහ ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳ මෙම ලිපියෙන් විමසීමක් කරමු.

ජනපති ධුරයට ඩලස් ගේ සහ සජිත් ගේ නම්
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජූලි 13 ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව පුරප්පාඩු වන ජනාධිපති ධුරයට පත් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම යන මහත්වරුන්ගේ නම් යෝජනා වී ඇති බව SBS සිංහල ගුවන් විදුලියට වාර්තා වී තිබේ.
පාර්ලිමේන්තුවේ තවමත් වැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බහුතරයක් මන්ත්‍රීවරුන් ඩලස් අලහප්පෙරුම මහතා හට මෙහිදී සහය දීමට එකඟ වී ඇති බව ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා පවසා ඇතැයි SBS සිංහල ගුවන් විදුලියේ අද (ජූලි 11) ප්‍රචාරය වූ "සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමෙන්" හෙළි කෙරිණි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
මේ අතර පාර්ලිමේන්තුවේ බෙදීමක් ඇති නොවී මේ දෙදෙනාගෙන් එක් අයකු ජනාධිපතිවරයා ලෙස එකඟතාවකින් පත්කර ගැනීම සම්බන්ධයෙන් දේශපාලන නායකයන් අතර මේ වන විට සාකච්ඡාවක් ද ආරම්භ වී ඇති බව වාර්තා වේ.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ගේ නම තවමත් මෙහිදී ඉදිරියට පැමිණ නැති බවද සඳහන්.
පාර්ලිමේන්තුවෙන් පිටත ඔහු සඳහා සැලකිය යුතු හඬක් තිබුණද පාර්ලිමේන්තුව තුළ ජාතික ජන බලවේගයට ඇත්තේ මන්ත්‍රී ආසන තුනක් පමණක් වීම ඊට ප්‍රධානතම හේතුව බව SBS සිංහල ගුවන් විදුලියට හෙළිවිය.
මේ තත්ත්වය ඉදිරියේදී වෙනස් වීමට ඉඩ ඇති බවද මෙහිදී සඳහන් කළ යුතුය.
මේ අතර,නව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ විශේෂ සාකච්ඡාවක් ද කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කතානායක නිල නිවසේ දී ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද එනම් ජූලි 11 වනදා පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

නව ජනාධිපතිවරයෙකු පත් කරන අයුරු නීතීඥ සංගමය පැහැදිලි කරයි
ජූලි 13 වන දින ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ශ්‍රී ලංකවේ ව්‍යවස්ථාවට අනුව නව ජනාධිපතිවරයෙකු පත් කරන ආකාරයේ නීතිමය තත්ත්වය ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඊයේ (ජූලි 10) පැහැදිලි කළේය.
ඔවුහු විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ඒ පිළිබඳ පැහැදිලි කළහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බව දැනුම්දී ඇති නිසා ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සඳහා අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු ඉතා කඩිනමින් පත් කරන ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා එහිදී පැවසීය.

ශ්‍රී ලංකවේ ව්‍යවස්ථාවට අනුව වත්මන් ජනාධිපතිවරයා ගේ ඉල්ලා අස්වීම සිදු විය යුතු ආකාරයේ පටන් නව ජනාධිපතිවරයෙකු පත් කරන ආකාරය දක්වා පියවර නීතිඥ සාලිය පීරිස් මහතා එහිදී විස්තර කළේය.
එම පියවර පහත පරිදි වේ.
- වත්මන් ජනාධිපතිවරයා ඉල්ලා අස් වනවා නම් ඔහුගේ අත්සන සහිත ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට බාර දිය යුතුය.
- එවිට ජනාධිපති ධූරය පුරප්පාඩු වේ.
- ජනාධිපති ධුරය පුරප්පාඩු වූ විගස අගමැතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වේ.
- අගමැතිවරයාට එසේ කළ නොහැකිනම් කතානායකවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස පත් වේ.
- ඊට පසු මාසයක කාලයක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් සුදුසුකම් ඇති මන්ත්‍රීවරුන් අතරින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් තෝරා පත් කරගත යුතුය.
- අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා එක් පුද්ගලයෙකුට වඩා ඉදිරිපත් වුවහොත් ඒ සඳහ ඡන්දයක් පැවැත්විය යුතුය.
- එම ඡන්දයෙන් ජය ගැනීමට නම් නිර්දේශ කෙරෙන මන්ත්‍රීවරයකු ප්‍රකාශ කරන මුළු ඡන්ද වලින් 50% කට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත යුතුය.
- පුද්ගලයින් දෙදෙනෙකුට වඩා ඉදිරිපත් වුවහොත් ඡන්දය භාවිත කිරීමේදී මනාප ක්‍රමයට ඡන්දය භාවිතා කර වැඩිම මනාප ගත් දෙදෙනා තෝරාගෙන දෙවැනි මනාප ගණන් කර ජයග්‍රාහකයා තෝරා ගැනේ.
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරාගත් පසුව නව අගමැතිවරයෙක් තෝරාගන්නා ලෙස ඔහු පාර්ලිමේන්තුවට ආරාධනා කළ යුතුය.
එහිදී පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය දිනාගත හැකි පුද්ගලයෙකු අගමැති ලෙස තෝරා ගැනීමට පාර්ලිමේන්තුවට බලය හිමිවේ.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයට ජාත්‍යන්තරයේ ප්‍රතිචාර
ශ්‍රී ලාංකික ජනතාවට සෑහීමකට පත් විය හැකි දිගු කාලීන ආර්ථික සහ දේශපාලනික විසඳුම් ළඟා කර ගැනීම සඳහා ඉක්මණින් කටයුතු කරන ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින දේශපාලන තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි Julie J. Chung පවසා තිබේ.
මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ අවදානම් හා තර්ජනාත්මක මෙන්ම වැදගත් මොහොතක් බවත් ඇය සඳහන් කර තිබේ.
සමස්ත ශ්‍රී ලංකාවේ ම යහපත වෙනුවෙන් කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉඩ සලසන ලෙසත් ඒ සඳහා සියලු පාර්ශව සංයමයෙන් කටයුතු කරන ලෙසත් ඇය අවාධරණය කළාය.
මේ අතර ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා පෙරට ගෙන යාමට මේ වන විට ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වයට ලැබෙන දේශපාලන විසඳුම පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ප්‍රකාශ කරයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ පවතින තාක්ෂණික සාකච්ඡා කටයුතු තවදුරටත් කරගෙන යෑමට බලාපොරොත්තු වන බවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසා තිබේ.
ඊට අමතරව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සිව්වන ණය සහනාධාරය සඳහා එළඹෙන අගෝස්ස්තු මාසයේදී අත්සන් කිරීමටත් ඉන්දියාව අපේක්ෂාවෙන් සිටින බව ඉන්දීය පාර්ශවයෙන් වාර්තා වේ.

