ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට සහ නිපුණතා සංක්‍රමණික වීසා සඳහා අයදුම් කිරීමට සූදානමින් සිටින පුද්ගලයින්ට වසර 2020 ආරම්භ වීමත් සමග තම අනාගතය සම්බන්ධව අවිනිශ්චිතභාවයක් හටගෙන තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය පිරිනමන වාර්ෂික කෝටාව 30,000 කින් කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගැනීමත් සමග මේ තත්ත්වය උදාවී ඇත.

Source: Department of Home Affairs
ජාත්‍යන්තර සිසුන් ගේ සහ නිපුණතා සංක්‍රමණිකයින් ගේ අනාගතය
පසුගිය වසරේ අග භාගයේදී ඔස්ට්‍රේලියානු වීසා පද්ධතියට මධ්‍යම රජය විසින් සිදුකළ ප්‍රධාන සංශෝධන නිසා තමන්ගේ අනගාතය පිළිබඳ යම් අවිනිශ්චිතභාවයකට ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන් සහ නිපුණතා සංක්‍රමණිකයින් මුහුණ දී තිබේ.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකරදෙන නිපුණතා සංක්‍රමණික වැඩසටහන මූලික වශයෙන් මෙල්බර්න්, සිඩ්නි සහ බ්‍රිස්බේන් යන නගර වලින් බැහැරව ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීම නිසා මේ තත්ත්වය ප්‍රධාන වශයෙන් ඇතිවී ඇත.
එමෙන්ම ජාතික නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළව මාසිකව නිකුත් කරන ආරාධනා පත්‍ර සංඛ්‍යාව 250 දක්වා අඩු කිරීමෙන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකර ගැනීම සඳහාවූ ජාත්‍යන්තර සිසුන් ගේ සහ නිපුණතා සංක්‍රමණිකයින් ගේ සිහිනය බොඳ කරවීමක් පෙනෙන්නට තිබේ.
සාමාන්‍යයෙන් මාසිකව ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කිරීමට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මීට පෙර කටයුතු කර තිබුණද පසුගිය වසර මුළුල්ලේම එම ප්‍රමාණය 2000 ත් 2250 ත් අතර ප්‍රමාණයකින් මාසිකව කප්පාදු කෙරිණි.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය අපේක්ෂාවෙන් සිටින අයදුම්කරුවන්ගේ ප්‍රමාණය අධික ලෙස ඉහළ යන්නට විය.
එලෙස අඩු ආරාධනා පත්‍ර නිකුත් කිරීම නිසා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කිරීමේ EOI ලකුණු මට්ටමද දැවැන්ත ලෙස ඉහළ ගොස් තිබේ.
ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ප්‍රථම වරට EOI ලකුණු මට්ටම ලකුණු 100 දක්වා ළඟාවීම පසුගිය දෙසැම්බර් මාසයේදී සිදුවිය.
මේ තත්ත්වය ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ට සහ නිපුණතා සංක්‍රමණිකයින්ට සුබදායී නොවන බව සංක්‍රමණික ඒජන්තවරයෙකු වන Ben Watt, SBS පුවත් සේවයට පැවසීය.

Source: AAP
නව ප්‍රාදේශීය වීසා
ඔස්ට්‍රේලියාවේ නව Regional Visa හෙවත් ප්‍රාදේශීය වීසා පසුගිය නොවැම්බර් 16 දින නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව කටුයුතු කළේය.
ඒ අනුව 491 සහ 494 යන වීසා උප ඛාණ්ඩ ද්විත්වය මෙම නව ප්‍රාදේශීය වීසා යටතේ මේ වන විට නිකුත් කෙරේ.
මෙම නව ප්‍රාදේශීය වීසා අදාළ වන්නේ ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමට සහ සේවය කිරීමට අවශ්‍ය නිපුණතා සංක්‍රමණිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ උදවියට පමණි.
වසර 5 ක් දක්වා වූ වලංගු කාලයකට මෙම වීසා හිමිවන අතර මෙය පූර්ණ කාලීන රැකියා වීසාවක් වේ.
මෙම නව ප්‍රාදේශීය වීසා පහත පරිදි ප්‍රධාන ඛාණ්ඩ 2 කි.
Skilled Employer Sponsored Regional (Provisional) visa - subclass 494
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක ක්‍රියාත්මක සේවයෝජකයෙකුගේ (employer කෙනෙකුගේ) අනුග්‍රහය යටතේ මේ සඳහා අයදුම් කළ හැකිය.
Skilled Work Regional (Provisional) visa - subclass 491
අදාළ ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයේ නිර්දේශය මත හෝ ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක වාසය කිරීමට සහ සේවය කිරීමට සුදුසුකම් ලැබූ පවුලේ සාමාජිකයෙකු විසින් අනුග්‍රහය දැක්වීම මත මේ සඳහා අයදුම් කළ හැකිය.

Australian Prime Minister Scott Morrison and Immigration Minister David Coleman Source: AAP
ප්‍රාදේශීය වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය අවුල් ජාලාවක්
මෙම ප්‍රාදේශීය වීසා සඳහා සමස්ත ඔස්ට්‍රේලියාවම ආවරණය වන පරිදි 25,000 ක කෝටාවක් වෙන් කර ඇති බව මධ්‍යම රජය පවසයි.
කෙසේනමුත්, මෙම මුල්‍ය වර්ෂය සඳහා ඉහත 25,000 ක කෝටාව සම්පූර්ණයෙන් නිකුත් කිරීම සැක සහිත බව සංක්‍රමණික ඒජන්තවරයෙකු වන Kirk Yan පැවසුවේය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් මේ සම්බන්ධව විශාල වැඩ කොටසක් කර ඇති බව පෙනෙන්නට ඇති නමුත් ප්‍රාන්ත මට්ටමින් මෙයට නියම සම්බන්ධීකාරකත්වයක් පෙනෙන්නට නොමැති බව ඔහු පැහැදිලි කළේය.
උදාහරණයක් ලෙස ACT රජය මගින් නව ප්‍රාදේශීය වීසා 200 ක් පමණක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව වාර්තා වේ.
මේ අනුව මධ්‍යම රජය වීසා ඉලක්කම් පිළිබඳ කුමන ප්‍රකාශ කළද අවසානයේ ප්‍රාන්ත රජයන් හරහා ඒවා තීරණය වන බව ඉතා පැහැදිලිය.

Source: SBS
ප්‍රාදේශීය ප්‍රදේශ වල රැකියා හිඟය නිසා අර්බුදය තවත් උග්‍ර වෙයි
ඔස්ට්‍රේලියාවේ නව ප්‍රාදේශීය වීසා හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පෙන්වා දෙයි.
ඒ සඳහා පහත කොන්දේසි සැපිරිය යුතු වේ.
- තමන් ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල වාසය කරමින් සේවය කළ බවට සාක්ෂි සහිතව ඔප්පු කළ යුතුවේ.
- අවම වශයෙන් වසර 3ක් අදාළ ප්‍රාදේශීය කලාප වල වාසය කරමින් පූර්ණ කාලීනව රැකියා කළ යුතු වේ.
- එහිදී වාර්ෂික අවම වැටුප $53,900 ක් (බදු සහිතව) විය යුතුය.
$53,900 ක වාර්ෂික වැටුපක් ඉපයීම නගරබද පරිසරයක ඉටු කරගත හැකි වුවද ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල එම ඉලක්කම කරා යාම ඉතා අපහසු බව සංක්‍රමණික ඒජන්තවරු පවසති.
විශේෂයෙන්ම ප්‍රාදේශීය කලාප වල පවතින රැකියා හිඟය නිසා එම තත්ත්වය තවත් උග්‍ර අතට හැරෙන බව ද පැවසේ.
සංක්‍රමණිකයින්ව ප්‍රාදේශීය කලාප වෙතට යොමු කිරීමට පෙර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් එක්ව එම ප්‍රාදේශීය කලාප වල රැකියා අවස්ථා බිහි කර ආර්ථික වශයෙන් යම් සංවර්ධනයක් ඇති කළ යුතු බවට බොහෝ සංක්‍රමණික ඒජන්තවරු මෙන්ම නිපුණතා සංක්‍රමණිකයෝ පවසති.
එසේ නොමැතිව සංක්‍රමණිකයින්ව ප්‍රාදේශීය කලාප වෙතට යාමට සැලැස්වීමෙන් සිදුවන්නේ ඔවුන්ගේ ජීවිත තව තවත් දුක්ඛිත තත්ත්වයකට ඇද දැමීමක් පමණක් බවද ඔවුහු පෙන්වා දෙති.

Source: SBS Sinhala