ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබාගන්නා පුද්ගලයින්ට මුදල් ප්‍රදානයක් දිය යුතු බවට කම්කරු පක්ෂය යෝජනා කර තිබේ.
නත්තල වන විට මෙම lockdown තත්ත්වයන් සහ කොරෝනා නීති ලිහිල් කිරීමේ අරමුණින් මෙම ක්‍රමය ඉදිරි මාස හතර තුළ ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් පවසයි.
Highlights
- 2021 දෙසැම්බර් 01 දිනට පෙර කොවිඩ් එන්නත ලබාගන්නා සෑම පුද්ගලයෙකු හටම එක් වරක් පමණක් ගෙවනු ලබන $300 ක මුදල් ප්‍රදානයක් ලබා දිය යුතු බව කම්කරු පක්ෂය යෝජනා කරයි.
- මෙම යෝජිත මුදල් ප්‍රදාන ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 6 ක පිරිවැයක් වැයවන බව සඳහන්.
- නමුත් lockdown කිරීමෙන් ආර්ථිකයට සිදුවන හානිය ඊට වඩා බොහෝ සෙයින් වැඩි බව කම්කරු පක්ෂය පෙන්වා දෙයි.
කොවිඩ් එන්නත ලබාගන්නා උදවියට මුදල් ප්‍රදානයක්
ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත ලබා ගැනීමට සුදුසු පුද්ගලයින්ගෙන් අවම වශයෙන් 70% ක් කොවිඩ් එන්නතේ මාත්‍රාවන් ද්විත්වයම ලබාගත් විට ඇතැම් කොරෝනා නීති ඉවත් කළ හැකි බවට සැලසුමක් ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison පසුගිය සිකුරාදා (30/07) පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව ප්‍රකාශ කළේය.
එමෙන්ම එම ප්‍රමාණය 80% ක් වූ පසු පුළුල් පරිමාණයේ lockdown කිරීම් අවසන් කළ හැකි බවට මධ්‍යම රජය එහිදී සැලසුම් කර ඇත.
මේ අතර 2021 දෙසැම්බර් 01 දිනට පෙර කොවිඩ් එන්නත ලබාගන්නා සෑම පුද්ගලයෙකු හටම එක් වරක් පමණක් ගෙවනු ලබන $300 ක මුදල් ප්‍රදානයක් ලබා දිය යුතු බව කම්කරු පක්ෂය යෝජනා කරයි.
මෙම යෝජිත මුදල් ප්‍රදාන ව්‍යාපෘතිය සඳහා ඩොලර් බිලියන 6 ක පිරිවැයක් වැයවන බවත් lockdown කිරීමෙන් ආර්ථිකයට සිදුවන හානිය ඊට වඩා බොහෝ සෙයින් වැඩි බවත් කම්කරු පක්ෂය පෙන්වා දෙයි.
මේ වන විටත් කොවිඩ් එන්නත ලබාගෙන ඇති උදවියට පවා මෙම මුදල් ප්‍රදානය ලබාගත හැකි බව ඔවුහු පවසති.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
70% ක පිරිසක් කොවිඩ් එන්නත ලබාගත් පසු කොරෝනා නීති ලිහිල් කිරීම වැනි දිරි දීමනා තුළින් එන්නත් අනුපාතය ඉහළ නැංවීමට ජාතික කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා විය.
නමුත් මෙම එන්නත් ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ලබාදෙන දිරි දීමනා වැඩි කළ යුතු බවට කම්කරු පක්ෂය තර්ක කරයි.
2021 දෙසැම්බර් 1 වන විට ඔස්ට්‍රේලියාවේ 80% ඉලක්කය සපුරාලීමට අවශ්‍ය තරම් කොවිඩ් එන්නත් ලබා ගත හැකි බවට මාධ්‍ය රජය සහතික වී ඇති බව කම්කරු පක්ෂය තම ප්‍රකාශයේ දක්වා තිබේ.
වේගයෙන් එම ඉලක්ක කෙරේ යාමට හැකිනම් වේගයෙන් ප්‍රකෘතිමත් තත්ත්වයට පත්විය හැකි බවත් මෙම lockdown කිරීම් නිසා රටේ මුදල් මිලියන ගණනක් වැයවන බවත් ඔවුහු පෙන්වා දෙති.
මේ දක්වා ඔස්ට්‍රේලියාවේ 40% ක පිරිසක් කොවිඩ් එන්නත් මාත්‍රා ද්විත්වයෙන් එක් මාත්‍රාවක් ලබාගෙන ඇති අතර මාත්‍රා ද්විත්වයම ලබාගෙන ඇත්තේ 20% ක් පමණ පිරිසකි.

කොවිඩ් එන්නත් ලබාගත් අයට අන් රටවල් ලබාදුන් දීමනා
කොවිඩ් එන්නත් ලබා ගැනීම පිණිස මිනිසුන් දිරිමත් කිරීම සඳහා ලොව පුරා බොහෝ රටවල් දිරි දීමනා ලබා දෙයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ් එන්නත ලබාගන්නා පුද්ගලයින්ට මුදල්, නොමිලේ සංචාර, උපාධි පාඨමාලා හැදෑරීම මෙන්ම කංසා සහ බියර් වැනි සම්ප්‍රදායික නොවන ත්‍යාග ද පිරි නැමේ..
කොවිඩ් එන්නත් මාත්‍රා ද්විත්වයම ලබාගත් අයට ඩොලර් මිලියනයක ත්‍යාගයක් සහිත ලොතරැයියක් පිරිනැමීමෙන් පසු Ohio හි කොවිඩ් එන්නත් ලබාගැනීම 6% කින් ඉහළ ගොස් තිබේ.
එමෙන්ම කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයින්ට ඩොලර් මිලියන 5 ක් දිනාගැනීමට හැකි "Vax and Scratch" නම් ලොතරැයියක් New York නුවර ලබාදේ තිබේ.
මේ අතර New Jersey නුවර ත්‍යාග ලෙස බීර, වයින් සහ cocktails ලබාදී ඇති අතර Washington නුවර "joints for jabs" නැමති ප්‍රවර්ධන ව්‍යාපාරය හරහා කංසා සිල්ලර වෙළෙඳුන්ට ප්‍රවේශය සලසා දී තිබේ.
එක්සත් රාජධානියේ Uber සහ Deliveroo හරහා ඉතා අඩු මුදලට කුලී රථ සේවාවන් සහ ආහාර වට්ටම් ලබාදීමට කටයුතු කර ඇත.
තරුණ පුද්ගලයින් අතර කොවිඩ් එන්නත ජනප්‍රිය කිරීමේ අරමුණින් මෙය ආරම්භ කර තිබේ.
මේ අතර තමන් කොවිඩ් එන්නත ලබාගන්නා ඡායාරුප සමාජ ජාල මාධ්‍ය තුළ බෙදාහරින පුද්ගලයින්ට ඉන්දීය රුපියල් 5,000 ක ත්‍යාගයක් ලබාගත හැකිය.

