ඔස්ට්‍රේලියාවේ වත්මන් ලිබරල් සන්ධාන රජය 2022/23 මුල්‍ය වර්ෂය උදෙසා මධ්‍යම රජයේ අය වැය ඊයේ (29/03) පස්වරුවේ ඉදිරිපත් කළේය.
නමුත් ඔස්ට්‍රේලියාවේ අනාගතය සම්බන්ධයෙන් වත්මන් රජයට සැලැස්මක් නොමැති බව මෙම අයවැයෙන් පෙන්නුම් කරන බවට විපක්ෂ නායක Anthony Albanese චෝදනා කරයි.

2022/23 මුල්‍ය වර්ෂය උදෙසා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අය වැය
2022/23 මූල්‍ය වර්ෂය අවසානයේදී ශුද්ධ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 31.1% ක් වනු ඇතැයි අපේක්ෂා කරන බව මෙවර අයවැය අනාවැකි පෙන්වා දෙයි.
එය 2025/26 දී 33.1% (ඩොලර් බිලියන 864.7) දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.
2022/23 සඳහා අයවැය හිඟය ඩොලර් බිලියන 78 ක් හෝ දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.4% ක් වනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
එය පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ නිකුත් කරන ලද මාධ්‍ය වාර්ෂික අයවැය සමාලෝචනයේ ඇස්තමේන්තු කර ඇති ඩොලර් බිලියන 98.9 ට වඩා සුබවාදී අගයකි.
මේ අතර ඉදිරි වසර තුන තුළ අදාළ හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.6% දක්වා අඩකට වඩා අඩු වනු ඇතැයි පුරෝකථනය කර ඇත.
මෙම අය වැය ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයට පෙර එළඹෙන දේශපාලන සටනට පසුබිම සකසමින් තිබේ.
මෙම අය වැය මීළඟ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීම ඉලක්ක කරමින් වත්මන් ලිබරල් සන්ධාන රජය ඉදිරිපත් කළ එකක් බවට චෝදනා නගන පුද්ගලයින් මෙම අය වැයේ පළමු පිටුවට එහා ගොස් කියවිය යුතු බව ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison පැවසීය.

විපක්ෂ නායකගෙන් දැඩි චෝදනා
මෙම අය වැයෙන් ඔස්ට්‍රේලියාවේ අනාගතය සම්බන්ධයෙන් වත්මන් රජයට සැලැස්මක් නොමැති බව පෙන්වන බවත් ලිබරල් සන්ධාන රජයට ඇත්තේ ඔවුන් සඳහා සැලැස්මක් පමණක් බවත් විපක්ෂ නායක Anthony Albanese චෝදනා කරයි.
අඩු සහ මධ්‍යම ආදායම් ලබන්නන් මිලියන 10ක් සඳහා මෙවර අය වැයෙන් ඩොලර් 420ක එකවරක් පමණක් හිමිවන බදු සහනයක් ලබාදී තිබේ.
එමෙන්ම විශ්‍රාමිකයන්, carers, ප්‍රවීණයන්, රැකියා සොයන්නන් සහ අනෙකුත් සුදුසුකම් ලත් concession කාඩ්පත් හිමියන්ට සහ ඇතැම් ස්වයං අරමුදල් සහිත විශ්‍රාමිකයින්ට (self-funded retirees) ඩොලර් 250 ක එකවර පමණක් ගෙවනු ලබන දීමනාවක් ලැබෙනු ඇත.
මෙම එකවරක් පමණක් ගෙවනු ලබන දීමනාවලින් මැතිවරණයක් කැඳවීමට දින කිහිපයකට පෙර ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කර ඇති බව විපක්ෂ නායකවරයා පැවසීය.
යටිතල පහසුකම් සඳහා රජය සැලසුම් කර ඇති ආයෝජනය රජයට දිගුකාලීන සැලැස්මක් ඇතැයි පෙන්නුම් කරන බව අගමැති මොරිසන් පැවසීය.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපවල සංවර්ධනය උදෙසා ඩොලර් බිලියන 21 ක් යෙදවීමට ද ලිබරල් සන්ධාන රජය සැලසුම් කර ඇති බවත් ඔහු පැවසුවේය.
"අපගේ භාණ්ඩ අපනයනවලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් පැමිණෙන්නේ අපගේ ප්‍රාදේශීය කලාපවලින් වන අතර, මෙම අයවැය ඔස්ට්‍රේලියාවේ ධනය වර්ධනය කිරීම සඳහා අපගේ කලාපවල විශාලතම පරිවර්තනය කිරීමට කළ ආයෝජනය ප්‍රකාශ කර තිබෙනවා." යනුවෙන්ද අගමැති මොරිසන් වැඩිදුරටත් පැවසීය.
සුදුසුකම් ලත් concession කාඩ්පත් හිමියන්ට ඩොලර් 250 ක එකවර පමණක් ගෙවනු ලබන දීමනාවක් ලබාදීමෙන් ඉහළ යමින් ඇති ජීවන වියදම නිසා පීඩාවට පත්ව සිටින එම ජනතා ඛාණ්ඩවලට සහනයක් සැලසීමට මධ්‍යම රජය අපේක්ෂා කළ බව භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
රහස් මුල්‍ය කප්පාදුවක්
මේ අතර ඩොලර් බිලියන 3 ක රහස් කප්පාදුවක් සිදු වූ බව කම්කරු පක්ෂයේ භාණ්ඩාගාරික කටයුතු පිළිබඳ නියෝජිත Jim Chalmers ප්‍රකාශ කළේය.
මැතිවරණයට පෙර මෙම අය වැයෙන් තවමත් ප්‍රකාශයට පත් නොකළ වසර දෙකක වියදම් තිබෙන බවත් මැතිවරණයෙන් පසු වසර තුනක රහස් මුල්‍ය කප්පාදුවක් ඇති බවත් ඔහු ABC ගුවන් විදුලියට පැවසීය.
"Josh Frydenberg මෙහිදී සත්‍ය හෙළි කළ යුතුයි. මැතිවරණය අවසන් වන තුරු ඔහුට අවශ්‍ය නොවන ඔහුගේ ඩොලර් බිලියන 3ක රහස් කප්පාදුව කුමක්ද?" යනුවෙන් ද Jim Chalmers අවධාරණය කළේය.

