ඔස්ට්‍රේලියාවේ ඇතිවෙමින් පවතින අඛණ්ඩ නිපුණතා හිඟය පිළිබඳ නවතම පාර්ලිමේන්තු වාර්තාවක් අනතුරු අඟවයි.
ඔස්ට්‍රේලියාවෙන් සංක්‍රමණිකයින් මිලියන භාගයක් පමණ මේ වන විට පිටත්ව ගොස් ඇති බැවින් මේ තත්ත්වය උද්ගතවී තිබේ.
Highlights
- කොවිඩ් වසංගතය ඔස්ට්‍රේලියාවට බලපෑ දා සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවෙන් සංක්‍රමණිකයින් මිලියන භාගයක් පමණ පිටව ගොස් ඇත.
- තාවකාලික වීසා බලපත්‍ර මත සිටින පුහුණු සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම පහසු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීම මෙම වාර්තාවේ ප්‍රධාන නිර්දේශයක් වේ.
- ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේදී ජාත්‍යන්තර සිසුන්ට පෙන්විය යුතු ඔවුන්ගේ ඔස්ට්‍රේලියානු රැකියා පළපුරුද්ද වසර 3 සිට 2 දක්වා අඩු කිරීම වැනි වට්ටම් ලබාදීම මෙයට ඇතුළත් තවත් නිර්දේශයකි.
සංක්‍රමණය පිළිබඳ නව පාර්ලිමේන්තු වාර්තාව
පසුගිය වසරේ මාර්තු මාසයේදී කොවිඩ් වසංගතය ඔස්ට්‍රේලියාවට බලපෑ දා සිට මේ දක්වා ඔස්ට්‍රේලියාවෙන් සංක්‍රමණිකයින් මිලියන භාගයක් පමණ පිටව ගොස් ඇත.
නව පාර්ලිමේන්තු කමිටු විමර්ශන වාර්තාවට අනුව එයින් බොහොමයක් දෙනා skilled workers හෙවත් පුහුණු සේවකයින් වේ.
එනිසාම ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණ පද්ධතිය වැඩිදියුණු කළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ මාලාවක් මෙම සංක්‍රමණය පිළිබඳ ඒකාබද්ධ ස්ථාවර කමිටුව සිය අවසන් වාර්තාව ලබාදෙමින් දක්වා තිබේ.
පුහුණු සංක්‍රමණිකයින්ගේ හිඟකම සහ වාර්තාගත අඩු රැකියා වියුක්තිය හේතුවෙන් විශාල ශ්‍රම හිඟයක් ඇති වී ඇති බවට එම වාර්තාව අනතුරු අඟවයි.
එම ශ්‍රම හිඟය ඉංජිනේරු සහ කෘෂි තාක්ෂණික ක්ෂේත්‍ර සඳහා වැඩි වශයෙන් බලපානු ඇතැයි සඳහන්.
2021/22 මූල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාව හැර යාමට තවත් සංක්‍රමණිකයින් 77,000 ක් අපේක්ෂා කරන බවත් ශුද්ධ විදේශ සංක්‍රමණයන් තවදුරටත් ඍණාත්මක තත්ත්වයක පවතින බවත් මෙම කමිටුවේ සභාපති ලිබරල් පක්ෂයේ මන්ත්‍රී Julian Leeser අදාළ වාර්තාවේ සටහන් කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා වසා දැමීම හේතුවෙන් නිපුණතා සංක්‍රමණික වැඩසටහන සඳහා විරාමයක් ලැබී ඇති බවත් එම නිසා නිපුණතා සංක්‍රමණ වැඩසටහන පිළිබඳ පුළුල් සමාලෝචනයක් කිරීමට අවස්ථාව නොලැබුණු බවත් ඔහු පැහැදිලි කළේය.

වාර්තාවේ නිර්දේශ
තාවකාලික වීසා බලපත්‍ර මත සිටින පුහුණු සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම පහසු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටීම මෙම වාර්තාවේ ප්‍රධාන නිර්දේශයක් වේ.
එයට අනුව temporary skills shortage වීසා හෙවත් 482 වීසාවල short-term ධාරාවේ වීසා කොන්දේසි සංශෝධනය කරන ලෙස අදාළ පාර්ලිමේන්තු වාර්තාව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියි.
සියලුම employer-nominated වීසා බලපත්‍ර මඟින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා අවස්ථාවක් ලබා දියයුතු බව මෙම වාර්තාව නිර්දේශ කරයි.
නමුත් එම අයදුම්කරුවන් වයස අවුරුදු 45 ට අඩු විය යුතු බවත් ඔවුන්ට ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වයක් තිබිය යුතු බවත් එම වාර්තාව අවධාරණය කරයි.
දිගු කාලීන ආර්ථික ගොඩ ගැනීමක් සඳහා ඔස්ට්‍රේලියාව තරුණ සංක්‍රමණිකයින්ට ඔවුන්ගේ ප්‍රමුඛතාව දිය යුතු බව මේ වසර මුලදී Grattan ආයතනයේ වාර්තාවක්ද පෙන්වා දුන්නේය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් සලකා බැලීමේ පද්ධතිය යාවත්කාලීන කරන්න
ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් සලකා බැලීමේ පද්ධතිය යාවත්කාලීන කරන ලෙසටද මෙම පාර්ලිමේන්තු වාර්තාව නිර්දේශ කර තිබේ.
අයදුම්කරුවන් හා employers හෙවත් සේවා යෝජකයන් සඳහා වඩාත් විධිමත් අයදුම්පත් සලකා බැලීමේ ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා එම නිර්දේශය යොමු කර ඇත.
අදාළ කර්මාන්ත හෝ ක්ෂේත්‍රවල සම්බන්ධතා නිලධාරින් හරහා පාරිභෝගික සේවාව වැඩි දියුණු කිරීම සහ වීසා අයදුම්පත් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා නිලධාරීන් යෙදවීම මෙම නිර්දේශ වලට ඇතුළත් තවත් කරුණු වෙති.
ඔස්ට්‍රේලියාවේ මෙම අඛණ්ඩ පුහුණු ශ්‍රම හිඟය පිරවීම සඳහා ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණ මෙහි රැඳී සිටීමට හැකි වන පරිදි පියවර ගැනීමට ද මෙම වාර්තාව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට නිර්දේශ කර ඇත.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේදී ජාත්‍යන්තර සිසුන්ට පෙන්විය යුතු ඔවුන්ගේ ඔස්ට්‍රේලියානු රැකියා පළපුරුද්ද වසර 3 සිට 2 දක්වා අඩු කිරීම වැනි වට්ටම් ලබාදීම මෙයට ඇතුළත් තවත් නිර්දේශයකි.









