ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමන අනුපාතය 2001 වසරේ සිට එහි ඉහළම මට්ටම දක්වා ඉහළ ගොස් තිබේ.
වාර්තාගත පෙට්‍රල් මිල සහ වැඩිවන නිවාස ඉදිකිරීමේ පිරිවැය එයට මූලිකව රුකුල් දී ඇත.
Highlights
- ඔස්ට්‍රේලියාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය 5.1% දක්වා ඉහළ ගොස් තිබේ.
- එනිසාම ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව මේ පිළිබඳ ඉක්මනින් පියවරක් ගැනීමට සූදානම් වේ.
- වාර්තාගත පෙට්‍රල් මිල සහ වැඩිවන නිවාස ඉදිකිරීමේ පිරිවැය මෙලෙස ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන හේතු ලෙස දැක්වේ.
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළට
ඔස්ට්‍රේලියාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය 5.1% දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය වසරට සාපේක්ෂව 2022 මාර්තු මාසයෙන් අවසන් වූ කාර්තුවේදී එය තවත් 2.1% කින් ඉහළ ගොස් ඇත.
වසර 2010 මුල සිට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ සියයට 2 සිට 3 දක්වා වූ ඉලක්කයට වඩා උද්ධමන අනුපාතය ඉහළ ගිය පළමු අවස්ථාව මෙය වේ.
මෙහි ප්‍රතිඵලයක් ලෙස මැයි මස 03 වන දා පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුවේ මාසික අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී උද්ධමනය පහත හෙලීම මූලික කරගනිමින් පොලී අනුපාතික ඉහළ දැමීමට සාකච්ඡා කළ හැකිය.
එවැනි පියවරක් ගැනීමට පෙර සාධාරණ වැටුප් වැඩිවීමක් දක්නට ලැබෙනු ඇතැයි මධ්‍යම බැංකුව අපේක්ෂා කරයි.
නමුත් ගෝලීය උද්ධමනය ද චලනය වෙමින් පවතින අතර, අනෙකුත් රටවල මහ බැංකු ද මෙම තත්ත්වයට මුහුණ දෙමින් සිටී.
එනිසාම ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව මේ පිළිබඳ ඉක්මනින් පියවරක් ගැනීමට සූදානම් වේ.
ඒ අනුව පොලී අනුපාතිකයේ ඉහල යාම හරහා ඒක පුද්ගල සහ ව්‍යාපාර සඳහා ණය ගැනීමේ පිරිවැය ඉහල දැමීමට බැංකුවලට බල කෙරෙනු ඇත.

ප්‍රධාන හේතු
වාර්තාගත පෙට්‍රල් මිල සහ වැඩිවන නිවාස ඉදිකිරීමේ පිරිවැය මෙලෙස ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන හේතු ලෙස දැක්වේ.
භාණ්ඩ හා සේවා බද්ද (GST) හඳුන්වා දීමෙන් පසුව වසර 2000 සැප්තැම්බර් මාසයේ සිට නව නිවාස මිල ගණන් නිවාස ක්ෂේත්‍රයේ විශාලතම ඉහල යාම වන 5.7% දක්වා වාර්තා කර ඇත.
අදාළ වාර්තාවට අනුව, අඛණ්ඩව පවතින ගොඩනැගිලි ද්‍රව්‍ය හා ශ්‍රම හිඟය සමඟ ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා ඇතිවූ ඉහළ ඉල්ලුම හේතුවෙන් මෙලෙස මිල ඉහළ යාමට හේතු විය.
රුසියානු - යුක්රේන යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිලද වාර්තාගත ලෙස ඉහළ යාම සහ කොවිඩ් නීති ලිහිල් කිරීම නිසා ගෝලීයව ඉන්ධන සඳහා ඉහළ ඉල්ලුමක් ඇතිවීම ද මෙම උද්ධමනය ඉහළ යාමට ප්‍රධානව බලපා ඇති බව පැවසේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
මිනිසුන් මෝටර් රථ තුළ ජීවත් වෙයි
ඉහළ යන උද්ධමනය අඩු ආදායම්ලාභීන්ගේ ජීවිතවලට විනාශකාරී බලපෑමක් ඇති කරන බව ඔස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලයේ (ACOSS) ප්‍රධාන විධායක නිලධාරීනි Cassandra Goldie පැවසුවාය.
"දිනකට ඩොලර් 70 ට වඩා අඩුවෙන් ජීවත් වන මිලියන 2.4 ක ජනතාවක් සිටින අතර ඔවුන්ගෙන් දිනකට ඩොලර් 46 ක JobSeeker දීමනාවක් ලබන බොහෝ දෙනෙක් සිටින බව ඇය සඳහන් කළාය.
විශේෂයෙන් නිවාස කුලිය වැඩිවීමත් සමඟ ඔවුන්ගේ ජීවිත මුළුමනින්ම විනාශ වී තිබෙන බව Cassandra Goldie, ABC පුවත් සේවයට පැවසුවාය.
ජාතික වශයෙන් කොවිඩ් වසංගතයේ ආරම්භයේ සිට ඔස්ට්‍රේලියානු ප්‍රාදේශීය කලාපවල 20% ක් දක්වාත් නගරවල 14% ක් දක්වාත් නිවාස කුලිය වැඩිවීමක් සිදුවූ බව ඇය පැහැදිලි කළාය.
වැඩිවන ජීවන වියදම හේතුවෙන් කුලිය ගෙවීමට නොහැකිව නිවෙස්වලින් නෙරපා හැරීමට මුහුණ දෙන පුද්ගලයින් පිළිබඳව ACOSS කනස්සල්ලට පත්ව සිටින බවද ඔස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලයේ (ACOSS) ප්‍රධාන විධායක නිලධාරීනි Cassandra Goldie පැවසුවාය.
ඇතැම් පුද්ගලයින් මෝටර් රථවල ජීවත්වන බවත් ඔස්ට්‍රේලියාව වටා මිලියනයකට අධික ජනතාවක් food banks හෙවත් ආහාර බැංකු වෙත පැමිණෙන බවත් එය සැබවින්ම ඛේදනීය තත්ත්වයක් බවත් ඇය සඳහන් කළාය.

