SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවට පැමිණි ශ්‍රී ලාංකික දමිළ සරණාගතයෙකු මානුස් දූපතේදී සිය දිවි නසා ගනියි. (SBS සිංහල/වාර්තා)

32 හැවිරිදි මෙම ශ්‍රී ලාංකික දමිළ ජාතිකයා අද (02/10) උදෑසන ඔහු විසින්ම ඔහුගේ ජීවිතය නැති කරගත් බවට විශ්වාස කෙරේ.

Dead refugee in PNG
Source: AAP

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News



Skip to article content

ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණ මානුස් දූපතේ රඳවා සිටි ශ්‍රී ලාංකික දමිළ ජාතිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව පසුගිය වසර 4 ක කාලයක් ඇතුළත මානුස් දූපතේ රඳවාගෙන් සිටියදී මිය ගිය සයවැන්නා ලෙස මොහු වාර්තා වේ.

මානුස් දූපතේ රඳවා සිටින කාලයේදී ඔහුට විරුද්ධව ස්ත්‍රී දූෂණ චෝදනාවක්ද එල්ල වී තිබුණි.

Lorengau රෝහලේදී ඔහු මියගොස් ඇති බවත් පැපුවා නිව් ගීනියා බලධාරීන් ගෙන් මේ පිළිබඳ විමසන බවත් ඕස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසා ඇත.

32 හැවිරිදි මෙම ශ්‍රී ලාංකික දමිළ ජාතිකයා අද (02/10) උදෑසන ඔහු විසින්ම ඔහුගේ ජීවිතය නැති කරගත් බවට විශ්වාස කෙරේ.

මෙම වසර මුල භාගයේදී හෝටලයකදී එරට කාන්තාවක් හා සම්බන්ධ ස්ත්‍රී දූෂණ චෝදනාවකට ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබූ බව සරණාගත ක්‍රියාකාරී සන්ධානයේ නියෝජිත Ian Rintoul තහවුරු කළේය.

එම නඩුව අධිකරණය වෙත ගෙන යාමට සූදානමින් පැවතුණු බවත් අදාළ දමිළ ජාතිකයා තමන් එහි නිවැරදි කරු බවට දැඩි විශ්වාසයකින් පසුවූ බවත් Rintoul පැහැදිලි කළේය.

මීට මාස 4 කට පෙර මිය ගිය පුද්ගලයා රැඳවුම් මධ්‍යස්ථානයෙන් වෙනත් ස්ථානයකට ගෙන යාමට පෙරාතුව ඔහුගේ කාමරයේ සිටි අනෙක් පුද්ගලයා Abdul Aziz නමැති සුඩාන ජාතික සරනාගතයෙකි.

තමන්ගේ සගයා ඇමෙරිකාවේ ස්ථාපිත වීමට අයදුම් පත් භාරදී තිබූ බවත් මේ වන තෙක් ඒ සම්බන්ධ කිසිදු පිළිතුරක් නොලැබුණු බවත් Aziz පවසයි.

“ඔහු ඉතා නිෂ්ශබ්ද, හොඳ මනුස්සයෙක්. පසුගිය මාස කිහිපය තිස්සේ ඔහුට මානසික සෞඛ්‍ය ගැටළු පැවතුනා.” යනුවෙන් Aziz වැඩි දුරටත් පැවසුවේය.

මිය ගිය පුද්ගලයා මෑතකදී ඔහුගේ මනෝ චිකිත්සකවරයා මුණගැසීමෙන් පසුව   Lorengau රෝහලට ඇතුළත් කිරීමට පෙර රැඳවුම් මධ්‍යස්ථානයේ දින 4 – 5 ත් කාලය තුළ හුදකලාව තැබූ බව ද Aziz පැවසුවේය.

“ඔහුට නිසි පරිදි සෞඛ්‍ය රැකවරණයක් හා සහයක් ලැබුණා නම් ඔහු සිය දිවි නසා ගැනීමට පෙලඹෙන්නේ නැහැ. ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් සහ සැලකිය යුතු ප්‍රතිකාරද තිබුනේ නැහැ.” යනුවෙන්ද Aziz පැහැදිලි කළේය.

මිය ගිය පුද්ගලයාට අමතරව තවත් පුද්ගලයින් 5 දෙනෙකු දරුණු මානසික රෝග වලින් පෙළෙමින් සිටි බවත් ඉන් දෙදෙනෙකු නිරුවතින් මහමග ඇවිද යන තත්ත්වයේ පසුවූ බවත් Aziz වැඩි දුරටත් පැවසුවේය.

“එය සිය දිවි නසා ගැනීමක් ලෙස පෙනෙන්නට තිබෙන නමුත් එය තවමත් සනාථ වී නැහැ. ඉදිරි දින කිහිපයේදී මානුස් දූපතේ මහේස්ත්‍රාත් වරයා මරණ පරීක්ෂණය පවත්වනවා.” යනුවෙන් මානුස් දූපතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී Ron Knight පැවසුවේය.

මානුස් දූපතේ සහ නාවුරු දූපතේ රඳවා සිටි සරණාගතයින් 50 දෙනෙකු ඇමෙරිකාවේ ස්ථාපිත වීම සඳහා පසුගිය සතියේ පිටව ගිය බවද වාර්තා වේ.

ඉදිරි මාස කිහිපය තුළ තවත් පිරිසක් ඇමෙරිකාවට යාමට අපේක්ෂාවෙන් සිටියි.

ඔස්ට්‍රේලියාව තුළ මානසික සෞඛ්‍ය සහන ලබා ගැනීම පිණිස 13 11 14 යන දුරකථන අංකයෙන් Lifeline ඇමතිය හැකිය.

ඊට අමතරව www.mmha.org.au යන වෙබ් අඩවියෙන් Multicultural Mental Health Australia වෙබ් අඩවියට පිවිසීමට ද ඔබට හැකිය.


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now