පතල් ගැන කතා කරනවිට ඔස්ට්‍රේලියාවට තියෙන්නේ සුවිශේෂී ඉතිහාසයක්.
ගල් අඟුරු පතල්වලට දැනටත් ප්‍රසිද්ධ ඔස්ට්‍රේලියාව අතීතයේදී රත්‍රන් පතල්වලටත් ප්‍රසිද්ධියක් ඉසිලුවා.
පතල් හෙවත් ආකරත් සමග ඔස්ට්‍රේලියාවේ ආකර නගර බිහිවුණා.
වික්ටෝරියා ප්‍රාන්තයේ BALLARAT, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ BROKEN HILL හා GULGONG, දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ COOBER PEDY හා MELROSE, ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ MT ISA, බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ KALGOORLIE හා PORT HEDLAND, Northern Territory හි ARLTUNGA ආකර නගර ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ ආකර නගරවලින් කිහිපයක් ලෙස හැඳින්වීමට පුළුවන්.
ඒ රත්‍රන් ආකර සියල්ලක්ම පාහේ දැන් අක්‍රියයි.
නමුත් ඔස්ට්‍රේලියාවේ පැරණිම ආකර නගරයේ රත්‍රන් අවසන් වුණත් මිනිසුන් තවමත් එය හැර ගිහින් නැහැ.
දැන් අපි සූදානම් වෙන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහත් එක්ක ඒ ආකර නගරයට යන්න.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ඉතා ප්‍රාදේශීය ප්‍රදේශයක් වන Sofala වෙතයි අපේ ගමනාන්තය.
සිඩ්නි නුවරින් ගමන් අරඹමු
සිඩ්නි නුවර සහ සිඩ්නි වෙරළ තීරයේ ඇති බහුතරයක් නගර ඉතා කාර්යබහුල සහ තදබදයෙන් පිරුණු නගරයි.
නමුත් සිඩ්නි නුවර සිට ඔස්ට්‍රේලියාව මැදට යනවිට විශේෂයෙන් කඳුකරය දෙසට යනවිට ඒ තත්ත්වය ශීග්‍රයෙන් වෙනස්වෙනවා.
Sofala යනු ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නුවර සිට කිලෝමීටර් 255ක් වයඹ දෙසින්, Bathurst ප්‍රාදේශීය සභාව තුළ කඳුකර නිම්නයක පිහිටි කුඩා ගම්මානයක්.
සිඩ්නි නුවර සිට Great Western මහා මාර්ගයේ ගොස් Sofala මාර්ගය ඔස්සේ Sofala වෙත යා හැකියි.
Sofala ගම්මානය Turon ගංගාව අසල පිහිටලා තියෙන අතර ගඟේ පාලම තරණය කරමින් Sofala වෙත පැමිණි විටම ගං ඉවුරේ උද්‍යානයක් ඇති බව ජනක වීරසිංහ පැවසුවා.
එතන Sofala ගම්මානය ගැන විස්තර සටහනක් තිබෙනවා.
Sofala ගම්මානයේ ඉදිකරලා තියෙන බොහොමයක් ගොඩනැගිලි ඉතා පැරණියි, ඒවගේම ඒවා ජාතික උරුම ලැයිස්තුවට ඇතුළත් කරලා තියෙන්නේ.
Sofala ගම්මානය හා රත්‍රන්
Sofala ගම්මානය බිහිවුණේ මීට වසර 170 කට පෙර Turon ගංගාවෙන් රත්‍රන් හමුවීම නිසා බව SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ පැහැදිලි කළා.
ඒත් සමගම Sofala ගම්මානයෙන් සොයාගත් රත්‍රන්වලට කිව්වේ Alluvial රත්‍රන් කියලත් ජනක පැවසුවා.
"Alluvial රත්‍රන් කියන්නේ ගඟේ වතුර පාර දිගේ ගහගෙන එන රත්‍රන්වලට. කොහෙහරි තියෙන රත්‍රන් නිධියක් ගඟේ වතුරෙන් හෝදගෙන එද්දී ඒ නිධියෙන් කුඩා කැබලි කඩාගෙන ගංවතුර ඈතට ගෙනියනවා. රත්‍රන්වල ඝනත්වය වැඩි නිසා ගං පතුලට ආසන්නයෙන් තමයි ඒවා ජල පහරෙන් අරන් යන්නේ. එහෙම ගිහින් ගඟේ නැමුම්වලයි, ජල පහර වේගය අඩුවන ස්ථානවලයි, ඉවුරුවලයි මේ රත්‍රන් කැබලි තැන්පත් වෙනවා." Sofala ගම්මානයට Turon ගංගාවෙන් රත්‍රන් ගෙනාපු විදිය ජනක ඒ ආකාරයට විස්තර කළා.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මේ විදියට ගසාගෙන එන රත්‍රන් අතර කුඩා කැබලිවල සිට Gold Nugets කියන විශාල ප්‍රමාණයේ රත්‍රන් කුට්ටි දක්වා ගසාගෙන එන බව ජනක පැවසුවා.
විශාල කැබලි අතින් ඇහිඳීමට හැකි අතර කුඩා කැබලි මැණික් ගරනවා වගේ ගරමින් එකතු කරගත යුතුයි.
1851 අවුරුද්දේ Sofala ගම්මානයේ රත්‍රන් තිබෙනවා කියලා දැනගත් විට gold rush එකක් එතන ආරම්භ වුණා.
ඔස්ට්‍රේලියාවේ හතර වටෙන්ම රත්‍රන් සොයාගෙන මිනිස්සු Sofala ගම්මානයට පැමිණියා.
ගඟේ රත්‍රන් ගසාගෙන එනවා කියන සිද්ධියෙන් තේරෙන්නේ Turon ගංගාව දෙපස කොහේ හෝ රත්‍රන් නිධියක් හෝ නිධි තියෙනවා කියලා.
ඉතිං ඒ නිධිවල රත්‍රන් කැනීමට යන්ත්‍ර සුත්‍රත් අරගෙන ව්‍යාපාරිකයෝ පවා එන්න පටන් ගත් බවක් ජනක පැවසුවා.
ඒ සමගම Sofala ගම්මානය බිහිවෙන්නට පටන් ගත්තා.
රත්‍රන් හමුවෙන විට Sofala ගම්මානයේ ගොඩනැගිලි ඉදිවෙන්නට පටන් ගත්තා.
ගෙවල්වලට අමතරව, හෝටල්, තැපැල් කන්තෝරුවක්, සිරගෙයක් පවා Sofala ගම්මානයේ ඉදි වුණා.
අදටත් Sofala ගම්මානයට ගියොත් පැරණි තැපැල් කන්තෝරුවයි, සිර ගෙදරයි, හෝටලෙයි නරඹන්නට හැකි බව ජනක සිහිපත් කළා.
Sofala ගම්මානයේ රත්‍රන් කැනීම
Sofala ගම්මානයේ රත්‍රන් කැනීම සඳහා විශාල පිරිසක් පැමිණි බවත් ඔවුන්ගෙන් විශාල ප්‍රමාණයක් චීන ජාතිකයින් බවත් වාර්තා වෙනවා.
සාමාන්‍යයෙන් රත්‍රන් හමුවීම නැවතුණු ගමන් ඒ නගර හෝ ගම්මාන ඉබේම වැහිලා යනවා, ඒක තමයි ආකාර ගමන් මගේ අතීතයේ සිරිත.
නමුත් Sofala ගම්මානය තාමත් Turon ගංගා ඉවුරේ ඉතා හොඳට තිබෙන බව SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ වාර්තාකරු ජනක වීරසිංහ පැවසුවා.
එනිසා තමයි ඔස්ට්‍රේලියාවේ පැරණිම ජීවත්වන රත්‍රන් නගරය ලෙස Sofala තවමත් හැඳින්වෙන්නේ.
Turon ගංගාව දිගේ පැමිණෙන රත්‍රන් හමුවේ දැයි වාසනාව උරගා බලන්න තවමත් Sofala වලට මිනිස්සු පැමිණෙන බවත් ජනක පැවසුවා.
රත්‍රන් හැරුණුවිට Sofala කියන්නේ ඉතාම නිස්කලංක සුන්දර ගම්මානයක්.
Turon ගංගාව Sofala ගම්මානයේ ඒ සුන්දරත්වය තවත් තීව්‍ර කරනවා.
ඉතින් වාසනාව උරගා බලන ගමන් තදබදයෙන් මිදිලා නිවිහැනහිල්ලේ නිවාඩුවක් ගත කරන්න ඔබටත් Sofala ගම්මානයට යන්න පුළුවන්.

