ඔස්ට්‍රේලියාවේ කොවිඩ් එන්නත්කරණ ඉලක්කවලට ළඟා වූ පසුව lockdown නිසා රැකියා හෝ සේවා පැය අහිමිවූ පුද්ගලයින්ට සහ ව්‍යාපාර සඳහා ගෙවනු ලබන COVID-19 ආධාරක ගෙවීම් අවසන් කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කර තිබේ.
මෙම තීරණය ඔබට බලපාන අන්දම පිළිබඳ මෙම ලිපියෙන් විස්තර කෙරේ.
Highlights
- මේ වන විට lockdown නීති පනවා තිබෙන වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල මෙන්ම ACT හි රැකියා හෝ සේවා පැය අහිමිවූ පුද්ගලයින්ට සතිපතා COVID-19 ආපදා ගෙවීමක් ලබාදෙයි.
- අදාළ ප්‍රාන්තවල කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 70% මට්ටමට ළඟා වූ පසු COVID-19 ආපදා ගෙවීම ලබාගැනීම සඳහා සතිපතා අයදුම් කළ යුතුය.
- අදාළ ප්‍රාන්තවල කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 80% මට්ටමට ළඟා වූ පසු COVID-19 ආපදා ගෙවීම සති දෙකක් තුළදී මුළුමනින්ම අහෝසි වනු ඇත.
COVID-19 ආපදා ගෙවීම
මේ වන විට lockdown නීති පනවා තිබෙන වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල මෙන්ම ACT හි රැකියා හෝ සේවා පැය අහිමිවූ පුද්ගලයින්ට සතිපතා COVID-19 Disaster Payment හෙවත් COVID-19 ආපදා ගෙවීමක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලබාදෙයි.
මෙම ගෙවීම මේ වන විට ලක්ෂ 5 කට අධික පිරිසක් ලබන බව සඳහන්.
lockdown නීති නිසා සතියකට සේවා පැය 20 ක් හෝ ඊට වඩා අහිමිවූ පුද්ගලයින්ට $750 ක්ද සතියකට සේවා පැය 8 ත් 20 ත් අතර අහිමිවූ පුද්ගලයින්ට $450 ක්ද මෙම දීමනාව හරහා සතිපතා ගෙවයි.
සේවා පැය අටකට වඩා සේවා පැය අහිමි වූ සුභසාධන දීමනා ලබන්නන්ද සතියකට $200 ක ගෙවීමක් සඳහා සුදුසුකම් ලබයි.
අදාළ පුද්ගලයින් Services Australia හි එක් වරක් ලියා පදිංචි වූ පසු තමන්ගේ සේවා පැය ගණන යථා තත්ත්වයට පත්වන තෙක් එම COVID-19 ආපදා ගෙවීම සතිපතා ස්වයංක්‍රීයව ලැබෙනු ඇත.

නව තීරණය රැකියා හෝ සේවා පැය අහිමිවූ පුද්ගලයින්ට බලාපාන අයුරු
ඉහත සඳහන් ප්‍රාන්තවල කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 70% මට්ටමට ළඟා වූ පසු COVID-19 ආපදා ගෙවීම ලබාගැනීම සඳහා ඔබට සතිපතා අයදුම් කිරීමට සිදුවේ.
එනම් මේ වන විට ලැබෙන ස්වයංක්‍රීය ගෙවීම එම අවස්ථාව වන විට අහෝසි වනු ඇත.
අදාළ ප්‍රාන්තවල කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස 80% මට්ටමට ළඟා වූ පසු COVID-19 ආපදා ගෙවීම සති දෙකක් තුළදී මුළුමනින්ම අහෝසි වනු ඇත.
එහි පළමු සතියේදී සතියකට පැය අටකට වඩා සේවා පැය අහිමි වූ ඕනෑම අයෙකු සඳහා වන ගෙවීම $450 දක්වා අඩු කෙරේ.
සුබ සාධන දීමනා ලබන්නන් සඳහා එය සතියකට $200 සිට $100 දක්වා අඩු කෙරේ.
දෙවැනි සතියේදී සතියකට පැය අටකට වඩා සේවා පැය අහිමි වූ ඕනෑම අයෙකු සඳහා වන ගෙවීම $320 දක්වා තවත් අඩු කෙරේ.
මේ අතර සුබ සාධන දීමනා ලබන්නන් සඳහා දෙවැනි සතියේදී කිසිදු ගෙවීමක් නොලැබේ.
රැකියාවන් යථා තත්ත්වයට පත්වීමට පෙර මෙලෙස මෙම ගෙවීම් කප්පාදු කිරීම සහ නැවැත්වීම පිළිබඳ සුභසාධන කණ්ඩායම් සහ වෘත්තීය සමිති සිය කණස්සල්ල පළ කර ඇත.
එමෙන්ම රැකියාවන් යථා තත්ත්වයට පත්වීමට පෙර මෙලෙස මෙම ගෙවීම් අහෝසි කිරීමෙන් අදාළ පුද්ගලයින් ආර්ථික අවදානමකට ලක්වන බවද ඔවුහු පෙන්වා දෙති.

ව්‍යාපාර සඳහා පිරිනමන දීමනා
මෙවර lockdown කිරීම්වලදී lockdown කළ ප්‍රාන්ත හා ටෙරිටරිවල ආර්ථික පීඩාවට පත් ව්‍යාපාර සඳහා ගෙවන දීමනා වෙනමම විධි විධාන යටතේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ අදාළ ප්‍රාන්ත හෝ ටෙරිටරි රජය එක්ව ගෙවනු ලබයි.
මේ වන විට lockdown නීති පනවා තිබෙන වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල සහ ACT හි ආර්ථික පීඩාවට පත් ව්‍යාපාරවලට ගෙවන කොවිඩ් සහන දීමනා පිළිබඳව රජය ගත් නවතම තීන්දුව බලපාන අයුරු පහත පරිදි වේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
lockdown නීති නිසා බලපෑමට ලක් වූ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ව්‍යාපාරවලට ඔවුන්ගේ වැටුප් ගෙවීමේ ප්‍රමාණය මත පදනම්ව සතියකට ඩොලර් 1,500 සිට ඩොලර් 100,000 දක්වා ගෙවීම් ලබා ගත හැකිය.
එමෙන්ම ඒක පුද්ගල ව්‍යාපාරිකයින්ට (Sole traders) සතියකට ඩොලර් 1,000 ක් ලැබිය හැකිය.
නමුත් ඔක්තෝබර් 10 සිට 23 දක්වා මෙම ගෙවීම් 25% කින් ඩොලර් 1,125 ත් 75,000 ත් අතර ප්‍රමාණයකට අඩු කෙරේ.
එමෙන්ම ඒක පුද්ගල ව්‍යාපාරිකයින්ට (Sole traders) එය සතියකට ඩොලර් 750 දක්වා අඩු කෙරේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොව්ඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගන්නා පිරිස 80% මට්ටමට ළඟා වීම ඔක්තෝබර් 24 වන විට අපේක්ෂා කරන බැවින් එහිදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ සඳහා ලබාදෙන මුදල් ප්‍රතිපාදන නැවත්වීමට තීරණය කර ඇත.
නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය තම 50% දායකත්වය අඛණ්ඩව ලබාදෙන අතර සතිපතා වැටුප් ගෙවීමේදී අදාළ ගෙවීම් 30% සිට 15% දක්වා අඩු කෙරේ.
තවදුරටත් කොවිඩ් නීති ලිහිල් කිරීමට සමගාමීව මෙම ගෙවීම් නොවැම්බර් 30 දා අවසන් කෙරේ.
වික්ටෝරියා
lockdown නීති නිසා බලපෑමට ලක් වූ වික්ටෝරියා ප්‍රාන්තයේ ව්‍යාපාරවලට ඔවුන්ගේ වැටුප් ගෙවීමේ ප්‍රමාණය මත පදනම්ව සතියකට ඩොලර් 1,000 සිට ඩොලර් 8,400 දක්වා ගෙවීම් ලබා ගත හැකිය.
මෙම ගෙවීම් තවත් සති හයක් අඛණ්ඩව ලබාදෙනු ඇත.
hospitality ක්ෂේත්‍රයේ ව්‍යාපාර සඳහා ලැබෙන ගෙවීම් ද අඛණ්ඩව ලැබෙනු ඇති අතර සුදුසුකම් ලත් ව්‍යාපාර සඳහා ඩොලර් 5,000 ත් 20,000 ත් අතර ගෙවීම් ලැබේ.
නමුත් එන්නත්කරණ ඉලක්ක වෙත ළඟා වන විට මෙම ගෙවීම්, අදාළ ස්ථානය සහ පාරිභෝගික ධාරිතා සීමාවන් මත ක්‍රමයෙන් අඩු වනු ඇත.
මේ අතර ඩොලර් 20,000 ක ගෙවීමක් ලබා ගැනීමට ඉඩ සලසන සුළු ව්‍යාපාර දුෂ්කරතා අරමුදලක් තවත් ව්‍යාපාර 30,000 කට ලබාදීමට පියවර ගෙන තිබේ.
ඔක්තෝබර් 26 වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගන්නා පිරිස 70% මට්ටමට ළඟා වනු ඇති බවත් නොවැම්බර් 5 වනදා එය 80% මට්ටමට ළඟා වනු ඇති බවත් අපේක්ෂා කෙරේ.
ACT
lockdown නීති නිසා බලපෑමට ලක් වූ ACT හි ව්‍යාපාරවලට lockdown කර පළමු සතියෙන් පසුව $20,000 ක එකවරක් පමණක් ගෙවනු ලබන දීමනාවකට අයදුම් කළ හැකිය.
එමෙන්ම ඒක පුද්ගල ව්‍යාපාරිකයින්ට (Sole traders) $7,500 ක් සඳහා අයදුම් කළ හැකිය.
මේ අතර ඔක්තෝබර් මාසයේදී තවමත් තම පිරිවැටුම ළඟා කරගැනීමට නොහැකිවී සිටින ව්‍යාපාර සඳහා තවත් ඩොලර් 10,000 ක්ද ඒක පුද්ගල ව්‍යාපාරිකයින්ට ඩොලර් 3,750 ක්ද ලබාදේ.
මේවාට අමතරව මහා පරිමාන ව්‍යාපාර සඳහා අතිරේක මුල්‍ය ප්‍රදානයන් ද ලැබෙනු ඇත.
සංචාරක, events, hospitality, යෝග්‍යතාවය සහ නර්තන ක්ෂේත්‍රයේ ඒක පුද්ගල ව්‍යාපාරිකයින්ට ඩොලර් 5,000 ක් පිරිනැමීම සහ ඩොලර් මිලියන 5 ට වැඩි පිරිවැටුමක් ඇති ව්‍යාපාර සඳහා ඩොලර් 25,000 දක්වා පිරිනැමීම ඒ හරහා සිදු කෙරේ.

