ඔස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ ජෛව විවිධත්වය අතින් සුවිශේෂීම රටක්.
ටස්මේනියා ප්‍රාන්තය කියන්නේ ඔස්ට්‍රේලියාවේ තවත් එක් ප්‍රාන්තයක් වුවත් එහි පරිසරය සහ ජෛව විවිධත්වය අනෙක් ප්‍රාන්ත හා ටෙරිටරිවලට සාපේක්ෂව සුවිශේෂී තැනක් ගන්නවා.
2021 දෙසැම්බර් මාසයේ සිට මාස 2 ක් පුරාවට ටස්මේනියා ප්‍රාන්තය පුරාම යන්නට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර වෙසෙන Gutd Grip තරුණ ශ්‍රී ලාංකික ගවේෂක කණ්ඩායමක් ක්‍රියා කළා.
Highlights
- ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම කඳුකර මග වන Overland Track එකේ පළමුව සංචාරය කළ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාබාලතම ශ්‍රී ලාංකික ගවේෂක කණ්ඩායම බවට බ්‍රිස්බේන් නුවර GUTD GRIP ගවේෂක කණ්ඩායම හැඳින්වීමට හැකිය.
- Overland Track එක වැටී ඇත්තේ ලෝක උරුමයක් වන Tasmanian wilderness භූමිය හරහා.
- මේ ගමන ටස්මේනියාවේ Cradle Mountain උද්‍යානයෙන් ආරම්භ වෙලා ඔස්ට්‍රේලියාවේ ගැඹුරුම වැව වන Lake St Clair වලින් අවසන් වෙනවා.
එම සංචාරයේදී ඔවුන් වාර්තා කිහිපයක්ම තබන්නටත් සමත් වුණා.
මාස 2 ක් වැනි දීර්ග කාලයක් පුරාවට සමස්ත ටස්මේනියා ප්‍රාන්තයම ආවරණය වන පරිදි සංචාරය කිරීම, ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම Alpine Walk එක හෙවත් ප්‍රමුඛතම කඳුකර මගේ පළමුව සංචාරය කළ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාබාලතම ශ්‍රී ලාංකික ගවේෂක කණ්ඩායම බවට පත්වීම සහ එම කඳුකර මග පිහිටා ඇති ලෝක උරුමයක් ලෙස නම් කර ඇති Tasmanian Wilderness භූමිය හරහා පළමු වරට සංචාරය කළ ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාබාලතම ශ්‍රී ලාංකික ගවේෂක කණ්ඩායම බවට පත්වීම ලෙස එම වාර්තා දක්වන්නට පුළුවන්.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
Gutd Grip ගවේෂක කණ්ඩායම විසින් ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම Alpine Walk එක වන Overland Track එකේ සිදුකළ සංචාරය සුවිශේෂී සංචාරයක්.
එම සුවිශේෂී අත්දැකීම ඔබත් සමග බෙදාගැනීමට Gutd Grip ගවේෂක කණ්ඩායමේ නියමුවා වන දොන් මදුරංග SBS සිංහල ගුවන් විදුලියත් සමග සම්බන්ධ වුණා.

Overland Track
"Overland Track එක කියන්නේ ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම Alpine Walk එක. Lonely Planet කියන ලෝකප්‍රකට සඟරාවට අනුව ලෝකයේ තිබෙන හොඳම Alpine Walks 10 න් එකක් තමයි Overland Track එක කියන්නේ. ඒ තරම් සුවිශේෂීත්වයක් Overland Track එකට ලැබිලා තියෙන්නේ මේ ගමන් මග වැටිලා තියෙන Tasmanian wilderness භුමිය නිසා. එම පරිසර පද්ධතියේ තියෙන ජෛව විවධත්වය, භූ විෂමතා, කාලගුණික වෙනස්වීම් තමයි ඒ සුවිශේෂීත්වයට හේතුවෙලා තියෙන්නේ. අනික Tasmanian wilderness භුමිය ලෝක උරුමයක්." තම කණ්ඩායමේ මේ සුවිශේෂී සංචාරය ගැන මදුරංග SBS සිංහල ගුවන් විදුලියට සිය හඬ මුලින්ම අවදි කළේ ඒ අයුරින්.
Overland Track එකේ සම්පුර්ණ දුර කිලෝ මීටර් 65 යි.
“මේ ගමනට මාත් සමග මේනක රාජපක්ෂ සහ සිරිනි එක් වුණා. මේ ගමන ටස්මේනියාවේ Cradle Mountain උද්‍යානයෙන් ආරම්භ වෙලා ඔස්ට්‍රේලියාවේ ගැඹුරුම වැව වන Lake St Clair වලින් අවසන් වෙනවා.” යනුවෙන්ද මදුරංග SBS සිංහල ගුවන් විදුලියට පැවසුවා.

Tasmanian wilderness
Overland Track එකේ සම්පුර්ණ ගමන් මග වැටී ඇත්තේ ලෝක උරුමයක් බවට නම් කර ඇති Tasmanian wilderness භුමිය හරහා.
Tasmanian wilderness භුමිය ඔස්ට්‍රේලියාවේ විශාලතම සංරක්ෂණ ප්‍රදේශවලින් එකක්.
එය ටස්මේනියාවෙන් 25%ක් පමණ ආවරණය කරන අතර එය ලෝකයේ අවසන් සෞම්‍ය කලාපීය වනාන්තර 7 න් එකක්.

ලෝක උරුමයක් ඇගයීමට ලක් කිරීමේදී යුනෙස්කෝව නිර්ණායක 10 ක් සලකා බලන බවත් Tasmanian Wilderness භුමිය එයින් නිර්ණායක 7 ක් සපුරා ඇති බවත් මදුරංග SBS සිංහල ගුවන් විදුලියට පැවසුවා.
ඒ අනුව එය පෘථිවියේ ලෝක උරුම අඩවියක් සඳහා ඉහළම මිනුම ලබාගත් ලෝක උරුමයක් වන අතර මේ හා සම තැන් ගන්නේ චීනයේ ඇති Mount Tai පමණි.
මෙය ටස්මේනියාවට ආවේණික සත්ත්ව හා ශාක විශේෂ සඳහා සැලකිය යුතු වාසස්ථානයක් බවත් මදුරංග පැවසුවා.
දැනට ලේඛනගත කර ඇති මෙහි තිබෙන ඇල්පයින් වෘක්ෂලතාවලින් 40-55%ක් ආවේණික ඒවා බව සඳහන්.

ගමන සඳහා සූදානම් වීම
Overland Track එක යන්න මාස ගණනකට පෙර සිටම සූදානම් වීමට අවශ්‍ය බව මදුරංග අපිට කිව්වා.
මේ Track එකේ යන්න Booking එකක් දාගන්න විශාල කාලයක් බලා සිටීමට සිදුවීම ඊට හේතුව ලෙස ඔහු පැවසුවා.
"ඇත්තටම කිව්ව්වොත් මේ Overland Track එකේ යන්න Booking එකක් දාගන්න අපිට අවුරුදු 3 ක් විතර බලන් ඉන්න උනා. මොකද අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ ඉඳන් මැයි මාසය වෙනකම් විතරයි මේ Track එකේ යන්න අවසර දෙන්නේ. ජුනි මාසයේ තමයි Bookings විවෘත කරන්නේ. ඒ විවෘත කරලා පැය 12 ක් ඇතුළත වගේ සම්පුර්ණයෙන්ම Bookings අවසන් වෙනවා. මොකද මේ Track එකේ යන්න විදෙස් රටවල ඉඳන් පවා බොහෝ පිරිස් එනවා." මදුරංග Overland Track එක යන්න මුලින්ම සූදානම් වුණ විදිය ගැන අපිට කිව්වේ එහෙමයි.
ඒ ආකාරයට Booking එකක් දාගත් පසුව Parks & Wildlife Service Tasmania විසින් ගමනට අවශ්‍ය සියලුම තොරතුරු එවන බවද මදුරංග පැවසුවා.

මේ ගමනේදී මදුරංග ප්‍රමුඛ Gutd Grip ගවේෂක කණ්ඩායම ගෙන ගිය ප්‍රධාන භාණ්ඩ පිළිබඳ ලැයිස්තුවක්ද ඔහු අපිට ඉදිරිපත් කළා.
- කඳු නගින්නන් ගන්නා විජලනය කළ හෝ freeze dried ආහාර
- 3 season කූඩාරමක්
- Sleeping Bags
- Camping මෙට්ට
- ඇඳුම් පැළඳුම් ලෙස Shorts, T-shirts, Thermals, Fleece jackets, Down jackets, Rain jackets, Rain Pants, Gore-tex සපත්තු
- personal beacon එකක්
- ප්‍රථමාධාර කට්ටලයක්
- Camping cooking set එකක්

ගමන අතරේ නැරඹිය හැකි වැදගත් පාරිසරික ස්ථාන සහ නැරඹුම් ස්ථාන
"ඇත්තම කියනවනම් Overland Track එකේ පළවෙනි අඩිය තියෙන තැන ඉඳන් අවසන් අඩිය වෙනකම්ම බලන්න තියෙන දේවල්ම තමයි තියෙන්නේ. හැබැයි ඇතැම් විශේෂ ස්ථාන කිහිපයක් තියෙනවා මේ Tasmanian wilderness භුමියේ. ඒවාට Overland Track එකේ සිට විහිදෙන අතුරු මාර්ග ඔස්සේ ගමන් කළ යුතුයි." Overland Track එකේ නැරඹිය හැකි වැදගත් පාරිසරික ස්ථාන සහ නැරඹුම් ස්ථාන පිළිබඳ කතා කිරීම ආරම්භයේදීම මදුරංග ඒ විදියට හඬ අවදි කළා.
ඒ ආකාරයෙන් අතුරු මාවත් ඔස්සේ යන විට ටස්මේනියා ප්‍රාන්තයේ උසම කන්ද වන Mount Ossa මුණ ගැසෙන බවත් තම කණ්ඩායම Mount Ossa කඳු මුදුනටද ගිය බවත් මදුරංග පැවසුවා.

ඊට අමතරව West Pillion සහ East Pillion කඳු, Barn Bluff කන්ද, Cradle Mountain, Lake Will යන සුවිශේෂී ස්ථාන වලටද ගිය බව ඔහු සඳහන් කළා.
එමෙන්ම Overland Track එකේ අවසානය සටහන් කරන්නේ ඔස්ට්‍රේලියාවේ ගැඹුරුම වැව වන Lake St Clair වලින් බවත් මදුරංග අපට පැවසුවා.
"මේ ගමන් මග වැටිලා තියෙන්නේ ලෝක උරුමයක් ලෙස නම් කරලා තියෙන Tasmanian wilderness භුමිය හරහා. එහි ඇති විශේෂත්වය අනුව මිනිත්තු 10 න් 10 ට පමණ අපි පිවිසෙන්නේ එකිනෙකට වෙනස්ම වූ පරිසර පද්ධතිවලටයි. ඒ තරම් ඒ පරිසරය විවිධත්වයෙන් පිරිලා." ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ටස්මේනියාවටම ආවේනික වූ සත්ත්ව විශේෂ බොහොමයක් තම ගමන අතරේ දක්නට ලැබුණු බවද මදුරංග අපට පැවසුවා.
Tasmanian devil, quoll, Tasmanian pademelon වැනි සතුන් සහ ටස්මේනියාවටම අවේණික කුරුළු විශේෂ 11 ක් ඒ අතර වන බව සඳහන්.
ඔස්ට්‍රේලියාවේ පිරිසිදුම වතුර තියෙන තැන් වලින් නොම්මර එකට මේ භුමිය හඳුන්වන්න පුළුවන් කියා මදුරංග අපිට අවසාන වශයෙන් පැවසුවා.

