ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් ජාත්‍යන්තර සිසුන්ව ඉදිරි මාසවලදී බාරගැනීමට සූදානම් වෙයි.
කොවිඩ් වසංගතය පාලනය කෙරෙන අතරේ ජාත්‍යන්තර සිසුන්ව ගෙන්වා ගැනීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ඉදිරිපත් කළ සැලසුම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අනුමත කිරීමෙන් පසුව ඔවුහු මෙය ආරම්භ කර තිබේ.
Highlights
- කොවිඩ් වසංගතයෙන් පසුව මහා පරිමාණයෙන් ජාත්‍යන්තර සිසුන්ව ඔස්ට්‍රේලියාවට රැගෙන එන පළමු ප්‍රාන්තය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හැඳින්වේ.
- Sydney නුවර Redfern හි ඉදිකළ නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක් නිරෝධායනය කර ජාත්‍යන්තර සිසුන්ව බාරගැනීමට සැලසුම් කර තිබේ.
- ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කළ කොවිඩ් එන්නත්වලින් එකක මාත්‍රා දෙකම ලබාගත් සිසුන්ට පමණක් පැමිණිය හැකි බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.
ජාත්‍යන්තර සිසුන් යළි ගෙන්වා ගැනීම
ජාත්‍යන්තර සිසුන්ව යළි ගෙන්වා ගැනීම පිළිබඳ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (24/09) පෙරවරුවේ කරුණු හෙළි කළේය.
Sydney නුවර Redfern හි ඉදිකළ නිරෝධායන මධ්‍යස්ථානයේ දින 14 ක් නිරෝධායනය කර ජාත්‍යන්තර සිසුන්ව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බාරගැනීමට සැලසුම් කර තිබේ.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
මෙම නියමු ව්‍යාපෘතියේ පළමු අදියරේදී ජාත්‍යන්තර සිසුන් 500 ක් ගෙන ඒමට සූදානම් වන අතර එය දෙසැම්බර් මාසයට කලින් සිදුවනු ඇත.
ඔවුන් සියල්ල විශේෂ ගුවන් යානා මගින් සිඩ්නි නුවරට පැමිණෙනු ඇති අතර එම ගුවන් ගමන සඳහා අදාළ සිසුන් විසින් ගෙවිය යුතු වේ.
නමුත් මෙම පිරිස් අතරට එක්විය හැක්කේ ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කළ කොවිඩ් එන්නත්වලින් එකක මාත්‍රා දෙකම ලබාගත් සිසුන්ට පමණක් බවද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පැවසීය.
මේ වන විට Pfizer, AstraZeneca සහ Moderna එන්නත් පමණක් ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් අනුමත කර ඇත.
ඒ අනුව සිංගප්පූරුව, හොංකොං, මැලේසියාව, ජපානය, තායිලන්තය සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවලින් පැමිණෙන සිසුන්ට මුල් අදියරේදී ඔස්ට්‍රේලියාවට පැමිණීමට වැඩි ඉඩක් ඇති බව SBS පුවත් සේවය වාර්තා කරයි.
එහිදී ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් ගහනයෙන් වැඩි ප්‍රමාණයකට හිමිකම් කියන චීනයට සහ නේපාලයට අවස්ථාවක් හිමි නොවනු ඇති බවත් සඳහන්.

නියමු ව්‍යාපෘතියට සම්බන්ධ විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන
ජාත්‍යන්තර සිසුන්ව යළි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ගෙන්වා ගැනීමේ මෙම මෙම නියමු ව්‍යාපෘතියට පහත සඳහන් විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන සම්බන්ධ වේ.
- Western Sydney University
- Macquarie University
- University of Sydney
- UNSW
- UTS
- Australian Catholic University
- University of Newcastle
- University of Wollongong
- International College of Management Sydney
- Kaplan
- Navitas
- RedHill and Study Group

මාස 18 ක කැපවීමක ප්‍රතිඵලයක්
මාස 18 කටත් වැඩි කාලයක් සැලසුම් කිරීමෙන් පසු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය එක්ව ජාත්‍යන්තර සිසුන්ට ඔස්ට්‍රේලියානු දේශසීමා විවෘත කිරීමේ නියමු සැලැස්මට සහයෝගය දැක්වීම පිළිබඳ සතුටු වන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත විශ්ව විද්‍යාල උපකුලපති කමිටුවේ අධිපති මහාචාර්ය Barney Glover පැවසීය.
මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැසියන්ගේ සම්පුර්ණ කොවිඩ් එන්නත ලබාගත් ප්‍රමාණය වැඩිවෙත්ම ගෙන්වා ගන්නා ජාත්‍යන්තර සිසුන් ප්‍රමාණය ඉහළ නංවන බව නියෝජ්‍ය ප්‍රාන්ත අගමැති John Barilaro පැවසීය.
ජාත්‍යන්තර අධ්‍යාපන අංශය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රැකියා දහස් ගණනක් පවත්වා ගෙන යන බවද ඔහු හෙළි කළේය.
COVID-ආරක්ෂිත ප්‍රමිතීන් යටතේ ඉදිවුණු Redfern නිරෝධායන මධ්‍යස්ථානයේ සිසුන් 650 කට නිරෝධායනය වීමට ධාරිතාව සපයන අතර එය NSW Health සහ නිව් සවුත් වේල්ස් පොලීසිය විසින් අනුමත කර ඇති බවද නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය පවසයි.
ජාත්‍යන්තර සිසුන් නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලාපොරොත්තු වන බව ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය කවුන්සිලයේ සභාපති Belle Lim පැවසුවාය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

