Key Points
- බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ට්‍රක් රථයකින් වැටී ඇති විකිරණශීලී කැප්සියුලයක් සෙවීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.
- 8මෙවැනි කැප්සියුල පතල් වල භාවිතා කරන විකිරණ මිනුම් උපකරණ වල අඩංගු වේ.
- මෙම කැප්සියුලයේ විකිරණවලින් සමේ පිළිස්සුම් හෝ විකිරණ විෂවීම් ඇතිවීමේ හැකියාව පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයේ රියෝ ටින්ටෝ සමාගමට අයත් පතලක සිට පර්ත් නගරය දක්වා ප්‍රවාහනය කරමින් තිබියදී කුඩා නමුත් මාරාන්තික විකිරණශීලී කැප්සියුලයක් අතුරුදහන් වූයේ කෙසේද යන්න තීරණය කිරීමට බලධාරීන් විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
නිව්මන් නගරයේ සිට පර්ත් නගරයට තදාසන්න ප්‍රදේශයක් වන මලගා හි ගබඩාවක් දක්වා කිලෝමීටර 1,400 ක ගමනකදී ට්‍රක් රථයක පිටුපසින් වැටෙන්නට ඇතැයි විශ්වාස කෙරෙන මිලිමීටර් 8 ත් 6 ත් අතර ප්‍රමාණයේ මෙම කැප්සුලය සොයා හදිසි මෙහෙයුමක් තවදුරටත් ක්‍රියාත්මක වේ.
මේ කැප්සියුලය කුමක්ද ? එයට නිරාවරණය වූවොත් ඇති අවදානම් මොනවාද?
විකිරණ මිනුම් උපකරණ වල බහුලව භාවිතා කරන මෙම කැප්සුලය (විකිරණශීලතාවය මනින අන්තර්ජාතික මිනුම් ඒකකය)බෙකරල් 19ක විකිරණශීලතාවයක් ඇති සීසියම් 137 නම් විකිරණශීලී මූල ද්‍රව්‍ය සහිත සෙරමික් ප්‍රභවයකි.
මෙම ඒකකය පැයක් තුළ එක්ස් කිරණ 10ක් ලබා ගැනීමට සමාන අගයක විකිරණ නිකුත් අතර මහජනතාව එයින් අවම වශයෙන් මීටර් පහක දුරින් සිටිය යුතු බව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි ඇන්ඩෲ රොබට්සන් පවසා තිබේ.

මෙම කැප්සුලයට ඔබ නිරාවරණය වූයේ නම් හෝ එය ඔබ සමීපයේ තිබේ නම් එමගින් ඔබේ සමේ පිළිස්සුම් ඇතුළු සමට හානි වීම සිදුවිය හැකි වන බවත් එය දිගු කලක් ඔබ අසල තිබේ නම් එමගින් ඔබට උග්‍ර විකිරණ විෂවීමේ රෝගය (Acute radiation sickness) ඇති විය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.
මෙම කැප්සුලයට,දිගු කාලීනව නිරාවරණය වීමෙන් පිළිකා ඇති විය හැකි අතර කෙසේ වෙතත්, විශේෂඥයින් පවසන්නේ කැප්සියුලය ආයුධයක් ලෙස භාවිතා කළ නොහැකි බවයි.
මෙම කැප්සුලය කුමක්දැයි නොදැන, එය සිත්ගන්නාසුළු දෙයක් බැවින් යම්කිසි කෙනෙක් එය ළඟ තබා ගැනීමට ඉඩ ඇති බවත් ඒ පිළිබඳ සැලකිලිමත් වන බව ආචාර්ය රොබට්සන් පැවසීය.
යම් කෙනෙක් විසින් එම කැප්සුලය ප්‍රමාණවත් තරම් කාලයක් ළඟ තබා ගැනීමෙන් ප්‍රමාණවත් තරම් විකිරණ වලට නිරාවරණය වුවහොත් , ඔවුන්ට ප්‍රතිශක්තිකරණ පද්ධතියට සහ ආමාශ ආන්ත්‍රික පද්ධතියට ඇති වන බලපෑම් ඇතුළු උග්‍ර බලපෑම් ඇති විය හැකි වේ.
බලධාරීන් කැප්සුලය සොයන්නේ කොහේද?
කැප්සුලය අස්ථානගත වූ භාණ්ඩ ප්‍රවාහන මාර්ගයේ කිලෝමීටර් 36ක් දිගේ ගිනි හා හදිසි සේවා දෙපාර්තමේන්තුවට අයත් කණ්ඩායම් විසින් විකිරණ හඳුනාගැනීමේ උපකරණ සහ ලෝහ අණාවරක (metal detectors) අතැතිව කණ්ඩායම් ස්ථාන ගත කර ඇත.
පර්ත් නගරයට උතුරින් Great Northern අධිවේගී මාර්ගයේ ජනාකීර්ණ ප්‍රදේශ වෙත ඔවුන් අවධානය යොමු කරන බව කණ්ඩායම් ප්‍රධානී ඩැරල් රේ පැවසුවේය.
පියවි ඇසින් මෙම කුඩා උපකරණය සොයා ගැනීමට උත්සාහ නොකරන බවත් විකිරණ අනාවරක භාවිතා කරමින්
ගැමා කිරණ සොයා ගැනීමට උත්සාහ කරන බවත් පසුගිය සෙනසුරාදා රේ මහතා මාධ්‍ය වෙත පැවසීය.
ජනවාරි 10 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී පතලෙන් පිටත් වූ පසු රියදුරු ගමන් කළ නිශ්චිත මාර්ගය සහ එය නැවැත්වූ ස්ථානය තීරණය කිරීමට බලධාරීන් ට්‍රක් රථයේ GPS දත්ත භාවිතා කරයි.
අවශ්‍ය උපකරණ නොමැතිකම හේතුවෙන් ඔවුන්ගේ උත්සාහයට බාධා ඇති වී තිබෙන අතර වාහනයකට සවි කළ හැකි ඒකක ඇතුළු තවත් බොහෝ දේ කඩිනමින් ලබා දෙන ලෙස මධ්‍යම රජයෙන් සහ අනෙකුත් ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලීම් කර තිබේ
මෙම කැප්සියුලය දැනටමත් වෙනත් වාහනයක ටයරයක තැන්පත් වී සෙවුම් ප්‍රදේශයෙන් කිලෝමීටර් සිය ගණනක් දුරින් තිබිය හැකි වීමටද ඉඩ ඇත.
කැප්සියුලය ට්‍රක් රථයෙන් වැටී ඇතැයි සිතන්නේ කොහොමද?
කැප්සුලය අඩංගු වූ විශාල ඊයම් මිනුම් උපකරණය තුළ ඉස්කුරුප්පුවක් ලිහිල් වී ගාංචුවෙන් ඉතිරි වූ සිදුරකින් එය වැටීමට ඇතැයි විශ්වාස කෙරේ.
“කැප්සියුලය ඇසුරුම් කර ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම” සඳහා විකිරණශීලී ද්‍රව්‍ය හසුරුවන සමඟ විශේෂඥයෙකු සමග ගිවිසුම් ගත වී සිටින බවත් ඔවුන් පසුගිය බදාදා වන තෙක් එය අතුරුදහන් වූ බව තමන්ට දැනුම් නොදුන් බවත් රියෝ ටින්ටෝ සමාගම පවසයි..
මෙම කැප්සුලය පැලට් එකක සවි කර ඇති පෙට්ටියක් තුළ විකිරණ ආරක්ෂණ ප්‍රවාහනය සහ රෙගුලාසිවලට අනුකූලව අසුරා ඇති බව ආචාර්ය රොබට්සන් පැවසුවේය.
ට්‍රක් රථයේ කම්පනය මිනුම් උපකරණයේ අන්තර්ගතයට බලපෑම හේතුවෙන් මෙසේ කැප්සුලය පිටතට පැමිණෙන්නට ඇති බව ඔහු විශ්වාස කරයි.
මිනුම් උපකරණයකින් මෙසේ එහි අන්තර්ගත ඒකකයක් පිටතට පැමිණීම අසාමාන්‍ය දෙයක් වේ.
පතලේදී මිනුම් උපකරණය සහ කැප්සියුලය හැසිරවීම, භාවිතා කරන ලද ප්‍රවාහන මාර්ගය සහ ජනවාරි 16 වෙනිදා පර්ත් වෙත මිනුම් උපකරණය ළඟා වීමෙන් පසු එය ගබඩා කරන ස්ථානයේදී අනුගමනය කළ ක්‍රියා පටිපාටි පිළිබඳව පරීක්ෂණයේදී අවධානය යොමු කෙරෙනු ඇති.
සිද්ධිය රිය අනතුරක් බවට පොලිසිය තීරණය කර ඇති අතර ඒ සඳහා අපරාධ චෝදනා එල්ල කර නැත.
විකිරණශීලී ද්‍රව්‍ය පිළිබඳ සෞඛ්‍ය අනතුරු ඇඟවීම තවමත් ක්‍රියාත්මකයි.e.

