ඔස්ට්‍රේලියාවේ කොවිඩ් බූස්ටර් එන්නත ලෙස Pfizer එන්නත ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
ඒ අනුව සුදුසුකම් ලත් ඔස්ට්‍රේලියානුවාසීන්ට නොවැම්බර් 8 වනදා සිට Pfizer බූස්ටර් එන්නත ලබාගැනීමට හැකියාව පවතී.
කොවිඩ් බූස්ටර් එන්නතක් යනු කුමක්ද, එය ඔස්ට්‍රේලියාවේ ලබාගත හැක්කේ කාහටද, එය ලබාගැනීමෙන් අතුරු ආබාධ ඇතිවනවාද යන්න පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකස් කර තිබේ.
Highlights
- ඔස්ට්‍රේලියානුවාසීන්ට නොවැම්බර් 8 වනදා සිට Pfizer බූස්ටර් එන්නත ලබාගැනීමට හැකියාව පවතී.
- ප්‍රථමික කොවිඩ් එන්නත්කරණයේ දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා මාස 6 කින් පසුව වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට මෙම කොවිඩ් බූස්ටර් එන්නත ලබාගත හැකිය.
- නමුත් දැනට ඔස්ට්‍රේලියාවේ පුද්ගල ඛාණ්ඩ දෙකකට පමණක් මේ වන විට මෙම කොවිඩ් බූස්ටර් එන්නත ලබාගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිර්දේශ කර තිබේ.
කොවිඩ් බූස්ටර් එන්නතක් යනු කුමක්ද?
කොවිඩ් වයිරසයට එරෙහිව සටන් කිරීමට අපගේ ප්‍රතිශක්තීකරණය වර්ධනය කිරීමක් කොවිඩ් එන්නත හරහා සිදු කෙරේ.
ඒ හරහා එම රෝගය වැළඳීම වළක්වා ගැනීම හෝ රෝගය වැළදී බරපතල අතට පත්වීම වැළක්වීම හෝ සිදුවනු ඇත.
කාලය ගතවෙත්ම එන්නතත් සමග ලැබෙන ප්‍රතිශක්තිය ක්‍රමිකව අඩුවෙමින් යන බව මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
එනිසා එලෙස ප්‍රතිශක්තිය ක්‍රමිකව හීන වන කාලය පර්යේෂණ මගින් අනාවරණය කරගෙන එම ප්‍රතිශක්තිය යළි වර්ධනය කිරීමට ප්‍රාථමික කොවිඩ් එන්නත්කරණයෙන් පසුව තුන්වන එන්නත් මාත්‍රාවක් ලබා දීම කොවිඩ් බූස්ටර් එන්නත ලෙස හඳුන්වන බව ද ඔහු පැවසීය.
මෙය කොවිඩ් එන්නත සම්බන්ධයෙන් පමණක් නොව ලෝකයේ අනෙකුත් එන්නත් සම්බන්ධවද බහුලව ක්‍රියාත්මක වන කාර්යයකි.

ඔස්ට්‍රේලියාවේ මෙම Pfizer බූස්ටර් එන්නත ලබාගත හැක්කේ කා හටද?
සරළව ගත් කළ ප්‍රථමික කොවිඩ් එන්නත්කරණයේ දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා මාස 6 කින් පසුව වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට මෙම කොවිඩ් බූස්ටර් එන්නත ලබාගත හැකි බව වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා පැවසීය.
නමුත් දැනට ඔස්ට්‍රේලියාවේ පහත සඳහන් පුද්ගල ඛාණ්ඩ දෙකට පමණක් මෙම කොවිඩ් බූස්ටර් එන්නත ලබාගත හැකි බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිර්දේශ කර තිබේ.
01. වයස අවුරුදු 50 ට වැඩි, නිධන්ගත රෝග පවතින, Aged Care හෝ Disabaility Care මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් හා ඇබෝර්ජීනියානු ජනතාව
02. කොවිඩ් වයිරසය වැළඳීමේ වැඩි අවධානමක් තිබෙන රැකියා කරන පුද්ගලයින් (රෝහල් සේවකයින්, ආරක්ෂක අංශයේ පුද්ගලයින් වැනි අය)
ඔස්ට්‍රේලියාවේ දැනට ලබා දී ඇත්තේ Pfizer, AstraZeneca සහ Moderna කොවිඩ් එන්නත් පමණි.
ඒ අනුව එම කුමන හෝ එන්නතක් ලබා ගත් අයෙකුට තම කොවිඩ් බූස්ටර් එන්නත ලෙස Pfizer බූස්ටර් එන්නත ලබාගත හැකි බවද වෛද්‍ය බණ්ඩාර මහතා පැවසීය.
නමුත් ප්‍රාථමික එන්නත්කරණයේදී Pfizer එන්නත ලබා යම් ආසත්මිකතාවක් ඇතිවූ අය වෙතොත් ඔවුන්ට බූස්ටර් එන්නත ලෙස AstraZeneca එන්නත ලබාගැනීමටද හැකි බව ඔහු පැහැදිලි කළේය.

කොවිඩ් බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් අතුරු ආබාධ ඇතිවනවාද?
දැනට ඇති දත්ත අනුව ප්‍රාථමික කොවිඩ් එන්නත් මාත්‍රා ලබාගැනීමේදී ඇතිවන එන්නත ලබාගත් ස්ථානයේ වේදනාව, ඉදිමුම, සුළු උණ ගතිය, ශරීරයේ වේදනාව, දින කිහිපයක් යනතෙක් ශක්තිය නැති ස්වාභාවය වැනි අතුරු ආබාධ කොවිඩ් බූස්ටර් එන්නත ලබා ගැනීමෙන් අනතුරුවද පැමිණිය හැකි බව වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
නමුත් ඒවා ප්‍රාථමික එන්නත්කරණයේදී ඇතිවූවාට වඩා අඩු ප්‍රමාණයකින් ඇති වන බව ද ඔහු සඳහන් කළේය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

