තම බැංකු ගිණුම වෙන අයෙකුගේ භාවිතය සඳහා ණයට දීම, විකිණීම හෝ බෙදා ගැනීම නීති විරෝධී බව පිළිබඳ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් පසුගිය සතියේ දී අනතුරු අඟවා තිබෙනවා. අපරාධයක් සඳහා ඔබගේ ගිණුම භාවිත කරන බවට ඔබ දන්නේ නැති වුවත් බරපතල අපරාධයකට ඔබ වරදකරු විය හැකි බව එම නිවේදනයේ තවදුරටත් සඳහන් වී තිබෙනවා.
බොහෝ අවස්ථාවල දී, පුද්ගලයන්ට ඩොලර් 200 සිට 500 දක්වා හෝ ගිණුමට බැර කරන මුදලින් කොටසක් ලබා දෙන්නේ ඔවුන්ගේ පෞද්ගලික ගිණුම් හරහා අරමුදල් ලබා ගැනීමට සහ මාරු කිරීමට පමණයි. එම මුදල් බොහෝ විට ක්‍රිප්ටෝ වැනි ඩිජිටල් මුදල් ඒකක හරහා යවනු ලැබීම හෝ සොයා ගැනීම අපහසු කිරීමට මුදල් නෝට්ටු ලෙස බැර කර ගැනීම සිදු කරනවා. අපරාධකරුවන් තම මුදල් මාරු කිරීම් සඳහා පොදු ජනතාව මත යැපෙන බව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිස් රහස් පරීක්ෂක අධිකාරි මාරි ඇන්ඩර්සන් පවසනවා. බැංකු ගිණුම් කුලියට ගැනීම, මිලදී ගැනීම හෝ විකිණීම නීති විරෝධී බවත් එය අපරාධකරුවන්ට උපකාර කරන බවත් ඇය අනතුරු අඟවමින් කියා සිටියා. මුදල් වංචා, තර්ජන කිරීම්, මත්ද්‍රව්‍ය ආශ්‍රිත අපරාධ හෝ ත්‍රස්ත ක්‍රියාවලට පවා මුදල් රඳවා ගැනීමට ඔබේ බැංකු ගිණුම භාවිත කළ හැකි බව ඇය තවදුරටත් කියා සිටියා.
මුදල් විශුද්ධිකරණ කණ්ඩායමකට සම්බන්ධ වී කටයුතු කිරීම වෙනුවෙන් 26 හැවිරිදි කාන්තාවක් අප්‍රේල් මාසයේදී සිරගත කරන ලද බව ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය පැවසුවා. අපරාධ ක්‍රියාවලින් ලැබෙන බවට විශ්වාස කෙරෙන මුදල් එකතු කර තැන්පත් කිරීම සඳහා මෙම කණ්ඩායම සිඩ්නි සහ මෙල්බර්න්හි බැංකු ගිණුම් හිමි පුද්ගලයන්ව භාවිත කර තිබෙනවා. නීති විරෝධී මුදල් ඩොලර් මිලියන 3.8ක් විශුද්ධිකරණයට ලක් කිරීමට මෙම ගිණුම් භාවිතා කර ඇති අතර, අවසානයේ එම මුදල් විදේශ රටවලට යවා තිබෙනවා.
කොමන්වෙල්ත් බැංකුවට අනුව මෙලෙස සිය පෞද්ගලික ගිණුම් ලබා දෙන්නන්ට තමන් වරදක් සිදු කරන බවට අවබෝධයක් නැහැ. සමහරු පහසුවෙන් මුදල් ඉපයීම කළ හැකි ව්‍යාජ රැකියා අවස්ථා හෝ සමාජ මාධ්‍යයේ පළ කරන දැන්වීම්වලට රැවටෙන අතර අනෙක් අය මිතුරන් විසින් සම්බන්ධ කර ගනු ලබනවා. නව යොවුන් වියේ පසුවන්නන්, ශිෂ්‍යයන් සහ ඔස්ට්‍රේලියාවට මෑතක දී සංක්‍රමණය වූ අය නිතරම මේ සඳහා ඉලක්ක කරගනු ලබනවා.
Australian Banking Associationහි ප්‍රධාන විධායක නිලධාරී ඇනා බ්ලයි පවසා සිටියේ මෙලෙස පෞද්ගලික ගිණුම් භාවිත කිරීම මූල්‍ය වංචාකරුවන් විසින් මුදල් වංචා සිදු කරන ක්‍රමවේදයේ එක් විශාල කොටසක් බවයි. එවැනි ගිණුම් හඳුනා ගෙන ඒවා වසා දැමීමට බැංකු අවධානය යොමු කරන බව ද ඇය කියා සිටියා. තම බැංකු ගිණුම් කුලියට දීමට හෝ විකිණීමට පළ කර ඇති දැන්වීම්වලට හසු නොවන ලෙස ඇය ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවූ අතර, එවැනි දැන්වීම් අපරාධවලින් මුදල් සැඟවීමේ සැලැස්මක කොටසක් වීමේ හැකියාව ප්‍රබල බව ඇය කියා සිටියා.
ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ බැංකු විසින් ආරක්ෂාව වෙනුවෙන් ඔබ ගතයුතු පියවර ලෙස දක්වා ඇති නිර්දේශ පහත දැක්වෙනවා.
- ඔබගේ බැංකු ගිණුම හෝ ඒ වෙත ප්‍රවේශ විය ගැකි login කේත කිසිවකු සමඟ බෙදා නොගැනීම
- මුදල් සංසරණය කිරීම පැවරෙන රැකියා අවස්ථා මග හැරීම
- සැකකටයුතු සිදුවීම් ඔබගේ බැංකුවට, Scamwatch වෙත හෝ ReportCybe වෙතට වාර්තා කිරීම
Source: SBS
—————————————————————————————————————-
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන් දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.