Key Points
- 2022-23 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ කෝටාව 195,000 දක්වා වැඩි කර තිබේ.
- Skill ධාරාව යටතේ ඇති Regional වීසා කෝටාව 25,000 සිට 34,000 දක්වා 9,000 කින් වැඩි කර ඇත.
- State and Territory වීසා කෝටාව 20,000 සිට 31,000 දක්වා ඉහළ දමා තිබේ.
වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණික කෝටාව 35,000 කින් ඉහළ දමා තිබේ.
ඒ අනුව මේ ගෙවී යන 2022-23 මුල්‍ය වර්ෂය සඳහා පෙර පැවති 160,000 කෝටාව 195,000 දක්වා වැඩි කළ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O'Neil, ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Andrew Giles සමග එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.
————————————————-
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
—————————————————
එම 35,000 ක වැඩිවීම මේ වන විට ඔස්ට්‍රේලියාව අත් විඳිමින් සිටින පුහුණු ශ්‍රම හිඟයට යම් විසඳුමක් ලබාදෙනු ඇතැයි මධ්‍යම රජය අපේක්ෂා කරයි.
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණ වැඩසටහන Skill, Family සහ Special Eligibility යනුවෙන් ප්‍රධාන ධාරා තුනක් යටතේ ක්‍රියාත්මක වේ.
ඒ අනුව 2022-23 වසර වෙනුවෙන් Skill ධාරාවේ කෝටාව සඳහා 142,400 ක්ද, Family ධාරාවේ කෝටාව 52,500 ක්ද Special Eligibility කෝටාව 100 ක් ලෙසද සංශෝධනය කර තිබේ.
එහි Skill ධාරාව යටතේ ඇති Regional වීසා කෝටාව 25,000 සිට 34,000 දක්වා 9,000 කින් වැඩි කර තිබේ.
එමෙන්ම State and Territory වීසා කෝටාව 20,000 සිට 31,000 දක්වා ඉහළ දමා තිබේ.
මේ වසරේ තවත් හෙදියන් සහ තාක්ෂණ සේවකයින් දහස් ගණනක් ඔස්ට්‍රේලියාවේ ස්ථාපිත වනු ඇතැයි මෙම දත්ත හරහා පුරෝකතනය කරයි.

වීසා අයදුම්පත් සලකා බැලීම සඳහා නව සේවකයින්
ඉදිරි මාස නවය තුළ වීසා අයදුම්පත් සලකා බැලීම සඳහා කාර්ය මණ්ඩලය 500 කින් ඉහළ නැංවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
මේ සඳහා රජය අතිරේක ඩොලර් මිලියන 36.1 ක් ලබා දෙන බව ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනි Clare O'Neil පැවසුවාය.
තම තමන්ගේ ප්‍රාදේශීය ප්‍රජාවන්ගේ අවශ්‍යතා හොඳින්ම දන්නේ ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් බවත් පුහුණු ශ්‍රමිකයින් ගේ හිඟයට ප්‍රතිචාර දැක්වීමට සහ ඔවුන්ගේ අනාගත අවශ්‍යතා සඳහා සැලසුම් කිරීමට අදාළ ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් වෙත ඉඩ සැලසීම මධ්‍යම රජයේ අරමුණ බව ද ඇය ප්‍රකාශ කළාය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
මෘදුකාංග ඉංජිනේරුවන්ගේ සිට සූපවේදීන් දක්වා, ඔස්ට්‍රේලියාව නැවත වරක් වෘත්තිකයින් සහ සේවකයින් ආකර්ෂණය කරගනු ඇති බවද ඇය සඳහන් කළාය.
පවතින කම්කරු රජය ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය පිළිබඳ පුළුල් සමාලෝචනයක් සිදුකර 2023 පෙබරවාරි අග වන විට ඒ පිළිබඳ වාර්තාවක් නිකුත් කරන බව ප්‍රකාශයට පත් කර ඇත.
මෙම සමාලෝචනය මගින් ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ අරමුණු ගෙනහැර දක්වන අතර අනාගත ප්‍රතිසංස්කරණ සඳහා මග පෙන්වනු ඇත.






