ඩිමෙන්ෂියා රෝගය ඇතිවීමේ අවධානම අවම කරන ජීවන රටාවේ වෙනස්කම් හතරක් ගැන ඕස්ට්‍රේලියාවෙන් අනාවරණයක්

pexels-marcus-aurelius-6787761.jpg

Photo by Marcus Aurelius/ pexels.com

ඕස්ට්‍රේලියාවේ ජනතාව මිය යාමට හේතුවන රෝග අතරින් ප්‍රමුඛතම රෝගය බවට ඉදිරියේදී ඩිමෙන්ෂියා රෝගය පත්වනු ඇති බවට වාර්තා වනවා. කෙසේඋවත් සිදුකෙරුණු නවතම පර්යේෂණයක් හරහා ජීවන රටාවේ අංශ හතරක සිදුකරන වෙනස් කම් හරහා වයස්ගත වීමේදී මෙම තත්වය ඇතිවීම වලක්වාගැනීමේ හැකියාවක් පවතින බවට තොරතුරු අනාවරණය වනවා.


Maintain Your Brain ලෙස හැඳින්වුණු මෙම අධ්‍යයනය හරහා ඕස්ට්‍රේලියාවේ නාගරික සහ දුෂ්කර ප්‍රදේශ වල ජීවත්වන පුද්ගලයින් 6000ක් පමණ අධ්‍යයනය කිරීම සිදුකෙරුනා. මේ සඳහා වයස අවුරුදු 55ත් 77ත් අතර වයසේ පසුවන පුද්ගලයින් යොදාගෙන තිබුනා.

ඩිමෙන්ෂියා රෝගී තත්වය ඇතිවීමේදී 45%ක පමණ ප්‍රමාණයක් සඳහා විවිද පාරිසරික හේතු බලපාන බව මෙම පරීක්ෂණය මෙහෙයවූ නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය හෙන්රි බ්‍රෝඩාටි පෙන්වා දෙනවා. මේ සඳහා මේවා සෞඛ්‍ය සම්පන්න නොවන ශාරීරික ක්‍රියාකාරකම්, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර ගැනීම්, අඩු අධ්‍යාපනයක් ලැබූ අය වීම, මොළයේ වර්ධනය අඩු වීම වැනි කාරනා බලපානු ලබනවා.

මෙම පර්යේෂණයට සහභාගී වූ අයට පහත අංශ හතරෙන් ජීවන රටාවේ වෙනස්කම් සිදුකරන ලෙසට ඉල්ලා තිබුනා.
  • ශාරීරික ක්‍රියාකාරකම්: ඇවිදීම, බයිසිකල් පැදීම, බර ඉසිලීමේ ව්‍යායාම සහ යෝගා වැනි සමබරතාවය රැකගැනීමේ ව්‍යායාම සිදුකිරීමට මෙහිදී උපදෙස් දී තිබුනා.
  • පෝෂණය: සහභාගී වුවන්ට ග්‍රීසිය ඉතාලිය වැනි රටවල බහුලව දක්නට ලැබෙන "Mediterranean diet" ආහාර වේලක් අනුගමනය කිරීමට උපදෙස් දී තිබුනා. මෙම ආහාරවේල සඳහා රතු මස් සහ සැකසූ ආහාර අවම වන අතරම පලතුරු, එළවළු, ධාන්‍ය, සෞඛ්‍ය සම්පන්න මේද (විශේෂයෙන් ඔලිව් තෙල්), මාළු බිත්තර වැනි ප්‍රෝටීන බහුල ආහාර මෙන්ම කිරි නිෂ්පාදනද යම් ප්‍රමාණයකට ඇතුලත් වන හෘද සෞඛ්‍යයට හිතකර ආහාර රටාවකි.
  • මොලයේ වර්ධනය සඳහා හේතුවන ක්‍රියාකාරකම්: දිනකට විනාඩි 45ක් මොලයේ වර්ධනයට හේතුවන ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා උපදෙස් දී තිබුනා. මෙහිදී රූපමය මතක ශක්තිය මෙන්ම වචන හරහා මතකය අවධි කිරීම සඳහා වන ක්‍රියාකාරකම් සෑම දිනකම විනාඩි 45ක් සිදු කිරීමට උපදෙස් දී තිබුනා.
  • මනසේ සුවතාවය: මානසික අවපීඩනය සහ කාංසාව වැනි තත්වයන් අවම කිරීමට ඩිජිටල් මානසික සෞඛ්‍ය වැඩසටහනක් සමග මෙම පිරිස සම්බන්ධ කරනු ලැබුවා.
මෙම පිරිසෙන් අඩකට මෙම ක්‍රියාකාරකම් සඳහා උපදේශන සේවා ලබාදුන් අතර අනෙක් පිරිසට අන්තර්ජාලය හරහා ලබාගැනීමට හැකි තොරතුරු ලබාදීම සිදුකෙරුනා.

වසරතුනක මෙම අධ්‍යයනයේදී ඩිමෙන්ශියා තත්වය ඇතිවීම ප්‍රමාද කරවන කාරනා මෙම කණ්ඩායම් දෙක තුලින්ම දක්නට ලැබුණු අතර උපදේශන සේවා ලබාදුන් පිරිසේ වැඩි සාර්ථකත්වයක් දක්නට ලැබුණු බව මහාචාර්ය හෙන්රි බ්‍රෝඩාටි පෙන්වා දෙනවා. මේ වනවිට මෙම අධ්‍යයනය හරහා ඩිමෙන්ශියා ඇතිවීමේ අවධානම වසරකින් පමණ ප්‍රමාද කිරීමට මේ හරහා හැකිබවට තමන්ට පෙනී යන බවත් ඔහු පවසනවා. කෙසේ උවත් මෙය සනාථ කිරීමට තවමත් නොහැකි අතර මෙම පරීක්ෂණය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීම හරහා මෙම තත්වය සනාථ කිරීමට හැකිවනු ඇතිබවට ඔහු විශ්වාස කරනවා.

මේ වනවිට 421000කට වඩා වැඩි ඩිමෙන්ශියා රෝගීන් පිරිසක් ඔස්ට්‍රේලියාව තුල ජීවත් වනවා. දැනට පවතින තත්වය අනුව හදවත් රෝග අභිබවා ඩිමෙන්ශියා රෝගය ඉදිරියේදී ඕස්ට්‍රේලියාවේ වැඩිම මරණ සංඛ්‍යාවකට හේතුවන රෝගය වනු ඇති බවට අනුමාන කෙරෙනවා

ප්‍රජාව තුල පවතින දැනුවත්භාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවය මෙම පර්යේෂණයෙන් අවධාරණය වන බව ඩිමෙන්ශියා ඕස්ට්‍රේලියා ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ඩේවිඩ් සයික්ස් පෙන්වා දෙනවා.

********************************************************************************



ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.




********************************************************************************

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service