Key Points
- ඕස්ට්‍රේලියාව යනු සියලුම ජනාවාස වූ මහාද්වීපවලින් වියළිම රට වේ, මෙහි නියඟ කාල බහුලව පවතින අතර එය උණුසුම් කාලගුණය සහ ලැව්ගිනි අවදානම තිබේ.
- ඔස්ට්‍රේලියාව පුරා විවිධ දේශගුණික කලාප තිබේ ඒවා උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය, වෘක්ෂලතා සහ සෘතුමය වර්ෂාපතනයේ වෙනස්කම් අනුව වර්ගීකරණය කර ඇත.
- දේශගුණික විපර්යාස, ස්වාභාවික විපත්, ඉඩම් එළි පෙහෙළි කිරීම සහ අනෙකුත් දැඩි මානව ක්‍රියාකාරකම් වලින් තර්ජනයට ලක්ව ඇති පරිසර පද්ධති සහිත ඕස්ට්‍රේලියාවේ ජලය ඉතා ඉහල අගයක් ගනී.
නිවර්තන උතුරු කලාපයේ සිට සෞම්‍ය කාලගුණයක් සහිත දකුණු ප්‍රදේශ දක්වා ඕස්ට්‍රේලියාව නිවර්තන සුළි සුළං, ගංවතුර, තාප තරංග සහ නියඟය ඇතුළුව බොහෝ දරුණු කාලගුණික තත්ත්වයන්ට මුහුණ දීම සිදු කරයි.
ඕස්ට්‍රේලියාවේ දේශගුණය ඕස්ට්‍රේලියාව පුරා දක්නට ලැබෙන පරිසර පද්ධතිවල විවිධත්වයට බලපායි.
ජලය මෙහි ඉතා වටිනා සම්පතක් වීමත් සමඟම ඕස්ට්‍රේලියාවේ බොහෝ පරිසර පද්ධති ශක්තිමත් නොවන අතර දේශගුණික විපර්යාසවලට ගොදුරු වේ.
ලැව්ගිනි සහ නියඟය වනි කරුණු හේතුවෙන් මෙම සියුම් වූ පරිසරය සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වේ.
1900 ගණන්වල මුල් භාගයේදී ඕස්ට්‍රේලියානු කිවිඳියක් වන Dorothea Mackellar ඇගේ සුප්‍රසිද්ධ උපහාරයක් වන My Country ලියා තිබේ, එය මෙම පුළුල් භූමියේ සුන්දරත්වය සහ පාළු බව ග්‍රහණය කරගෙන තිබේ.
ඇය ලියා ඇත්තේ
“I love a sunburnt country,
A land of sweeping plains,
Of ragged mountain ranges,
Of droughts and flooding rains…”
ලෙසයි...
කාලගුණ විද්‍යා කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ දේශගුණ විද්‍යාඥවරියක වන Catherine Ganter පවසන්නේ ඕස්ට්‍රේලියාව පිළිබඳව තිබෙන නාමය එදා සිට අද දක්වා සත්‍ය ලෙස තිබෙන බවයි.
ඕස්ට්‍රේලියාව නියඟ සහ ගංවතුර වැසි ඇති දේශයක් ලෙස හැඳින්වේ.
ඕස්ට්‍රේලියාවේ වසර ගණනාවක් නියඟයක් ඇති විය හැකි අතර එමගින් ගිනි අවදානම ඉහල දැමීමත් සමග පසුව එය පුළුල් ගංවතුරකට තුඩු දෙන අධික වර්ෂාපතනයක් ඇති කල හැකි බව Catherine කියා සිටී.
දරුණු කාලගුණික සිදුවීම්
ඕස්ට්‍රේලියාවට අත්විඳිය හැකි දරුණු කාලගුණික තත්ත්ව සඳහා සාධක කිහිපයක් දායක විය හැකි බව Catherine පවසයි.
එමෙන්ම දේශගුණික විපර්යාස ද අපගේ දරුණු කාලගුණික අවස්ථා වෙනස් කරන බව ඇය කියා සිටී.
ඕස්ට්‍රේලියාව යනු පෘථිවියේ හයවන විශාලතම රටයි.
කෙසේ වෙතත්, වර්ග කිලෝමීටර් මිලියන හතහමාරකට වඩා වැඩි භූමි ප්‍රමාණයකින් යුක්ත වන ඕස්ට්‍රේලියාවට හිමිවන්නේ ලෝකයේ මුළු භූමි ප්‍රමාණයෙන් 5%ක් පමණි.

ඕස්ට්‍රේලියාව යනු සමකයට ආසන්න උණුසුම් නිවර්තන කලාපවල සිට සිසිල් මධ්‍ය අක්ෂාංශ දක්වා විහිදෙන විශාල භූමියකි
හිරු එළිය, කාලගුණික රටා, වර්ෂාපතනය සහ භූ විෂමතාව රට පුරා බෙහෙවින් වෙනස් වේ.
මේත් සමග රට පුරා විවිධ දේශගුණික කලාප රාශියක් නිර්මාණය වී තිබෙන බව Catherine පෙන්වා දෙයි.
උෂ්ණත්වය හා ආර්ද්‍රතාවය, වෘක්ෂලතා සහ සෘතුමය වර්ෂාපතනයේ වෙනස්කම් මෙම දේශගුණික කලාප වර්ගීකරණය සඳහා බලපායි.
ඔස්ට්‍රේලියාවේ කාලගුණය රටෙහි විවිධ ප්‍රදේශවල වෙනස් වේ.
උතුරු ඇමරිකාවේ, යුරෝපයේ සහ ආසියාවේ උතුරු අර්ධගෝලයේ සිටින පිරිසට වැඩ ඕස්ට්‍රේලියාවේ සෘතු ප්‍රතිවිරුද්ධ බව මින් අදහස් වන බව Catherine සඳහන් කරයි.
දකුණු ඕස්ට්‍රේලියාවේ ගිම්හානය, සරත්, ශීත සහ වසන්ත සමය පවතින අතර ඕස්ට්‍රේලියාවේ ගිම්හාන කාලය දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා විහිදේ.
කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියාවේ නිවර්තන උතුරු ප්‍රදේශයට ඇත්තේ සෘතු දෙකක් පමණි, ඒවා ඔක්තෝබර් සිට අප්‍රේල් දක්වා තෙත් සමය සහ මැයි සිට සැප්තැම්බර් දක්වා වියළි සමය වශයෙන් හැඳින්වේ.

ඕස්ට්‍රේලියාවේ ස්වදේශික වැසියන් පරිසරය පිළිබඳ සංකීර්ණ අවබෝධයක් වර්ධනය කර ගෙන තිබේ.
කාලගුණය සහ ස්වභාවධර්මයේ දේශීය වෙනස්කම් පිළිබිඹු කරමින් ඕස්ට්‍රේලියාවේ ඔවුන්ගේ භූගෝලීය පිහිටීම මත පදනම්ව විවිධ සෘතුමය දින දර්ශන පවතී.
කාලගුණය, උෂ්ණත්වය - සහ විශේෂයෙන්ම වර්ෂාපතනයේ තිබෙන දේශීය වෙනස්කම් දේශීය දේශගුණික තත්ත්වයන් කෙරෙහි බලපෑම් ඇති කරන බව දේශගුණ විද්‍යාඥ Catherine සඳහන් කරයි.
සමකයට ආසන්නව, ඕස්ට්‍රේලියාවේ නිවර්තන උතුරු ප්‍රදේශය පිහිටා තිබේ. එම ප්‍රදේශය දැඩි හිරු රශ්මිය, අධික සෘතුමය වර්ෂාපතනය සහ නිවර්තන සුළි කුණාටු අත්විඳී.
දකුණු ඕස්ට්‍රේලියාව පුරා, සිසිල් මහද්වීපික කාලගුණයක් දක්නට ලැබේ. එමෙන්ම උණුසුම් වියළි ගිම්හාන තත්වයක් ඇති නිරිතදිග හරහා මධ්යධරණී දේශගුණයක් දැකිය හැක.
නැඟෙනහිර වෙරළ තීරයේ සෞම්‍ය දේශගුණයක් පවතී.
නමුත් සමස්තයක් ලෙස ඕස්ට්‍රේලියාව ඉතා වියළි රටක් වන අතර ඕස්ට්‍රේලියාවේ අභ්‍යන්තරයේ බොහෝ ප්‍රදේශවලට වර්ෂාපතනය අඩුවෙන් දක්නට ලැබේ.
ජලය ලබා ගැනීමේ හැකියාව සහ නියඟ, කෘෂිකර්මාන්තයට, ප්‍රජාවන්ට සහ ඕස්ට්‍රේලියාවේ පරිසරයේ සෞඛ්‍යයට බලපායි.
ඕස්ට්‍රේලියාවේ ජලය ඉතා වටිනා අතර රටෙන් අඩකට වඩා සාමාන්‍යයෙන් වසරකට මිලිමීටර් 350කට වඩා අඩු වර්ෂාපතනයක් ලැබේ.
කෙසේ නමුත් නියඟය යනු හුදෙක් අඩු වර්ෂාපතනයක් පමණක් නොවේ.
ඕස්ට්‍රේලියාව යනු ලෝකයේ වියළිම ජනාවාස සහිත මහාද්වීපය වන අතර මෙරට බොහෝ පරිසරයන් ජලයෙන් සීමා වී තිබේ.
නමුත් අපගේ ජෛව විවිධත්වය, මෙම ජල සම්පතෙහි සමතුලිතතාවය කළමනාකරණය කිරීම සඳහා මනාව සකස් වී ඇත.

ආචාර්ය Blair Parsons, Greening Australia හි බලපෑම් පිළිබඳ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරයි.
එය පුද්ගලයින් සහ සොබාදහම සමෘද්ධිමත් වන සෞඛ්‍ය සම්පන්න සහ ඵලදායී භූමියක් නිර්මාණය කිරීමට උත්සාහ කරන සංවිධානයකි.
ඕස්ට්‍රේලියාවේ එක් කොටසක් ගංවතුර වර්ෂාපතනයක් අත්විඳින අතරතුර තවත් කොටසක් ජලය ලබා ගැනීම වෙහෙසෙයි.
නිරිතදිග ඕස්ට්‍රේලියාව ගෝලීය වශයෙන් වියලුන සහ උණුසුම් ස්ථානයක් වශයෙන් සඳහන් වන අතර වර්ෂාපතනය 1970 සිට සියයට 20 ට වඩා අඩු වී තිබේ.
වසර බිලියන ගණනක් පුරා විකාශනය වූ පුරාණ භූ දර්ශනවල විවිධත්වය සමඟින්, ඕස්ට්‍රේලියාවේ පරිසරය මේ වනවිට තර්ජන රාශියක් අත්විඳිමින් සිටින බව ආචාර්ය Blair කියා සිටි.
අපගේ අද්විතීය හා බිඳෙනසුලු පරිසර පද්ධති දේශගුණික විපර්යාස, ස්වාභාවික විපත්, ඉඩම් එළිපෙහෙළි කිරීම සහ අනෙකුත් දැඩි මානව ක්‍රියාකාරකම් වලින් තර්ජනයට ලක්ව ඇති බව ඔහු පවසයි.
දේශගුණික විපර්යාස පිළිබඳ හදිසි පියවර ගැනීමට අප අපොහොසත් වුවහොත් 2100 වසර වන විට, ලොව අපගේ වඩාත්ම කැපී පෙනෙන ස්වාභාවික ආශ්චර්යයන්ගෙන් එකක් වන The Great Barrier Reef කොරල් පරය සම්පුර්ණයෙන් අහිමි වීම සිදු වන බව ආචාර්ය Blair සඳහන් කරයි.
ජලයේ ගුණාත්මකභාවහි තිබෙන දුර්වල බව මෙම The Great Barrier Reef කොරල් පරය විනාශ වී යාමට සෘජු ලෙසම බලපායි.
සෑම වසරකම ගොඩබිම ඛාදනය වීම හේතුවෙන් ජලයට එක්වන අපද්‍රව්‍ය ටොන් මිලියන ගණනක් නිසා මෙම කොරල් පරයේ මාළු, මුහුදු තණකොළ වැනි දේ විනාශයට පත් වේ. එමෙන්ම එමගින් කොරල් පරයට නැවත ලියලීමට තිබෙන හැකියාවද අඩු කරයි.

Greening Australia මගින් දේශීය ඉඩම් හිමියන් සහ ස්වදේශික ප්‍රජාව සමඟ එක්ව වෙරළබඩ තෙත්බිම් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරයි.
සාගරයට ගලා යාමට පෙර ජලය පෙරීමෙන් මෙම කොරල්පරය, මනුෂ්‍ය වකුගඩු මෙන් ක්‍රියා කරයි.
Greening Australia හි Reef Aid වැඩසටහන 2016 දී ආරම්භ වූ දා සිට, ජල දූෂක අපද්‍රව්‍ය ටොන් 44,000 කට වැඩි ප්‍රමාණයක් කොරල් පරයට පැමිණීම වැලැක්වීමට හැකි වූ බව ආචාර්ය Blair කියා සිටී.
එමෙන්ම ආචාර්ය Blair පවසන්නේ ඕස්ට්‍රේලියාව ලෝකයේ ජෛව විවිධත්වයෙන් සියයට 10 කට ආසන්න ප්‍රමාණයකට නිවහන වන අතර එයින් වැඩි ප්‍රමාණයක් වෙනත් තැනක දක්නට නොලැබෙන බවයි.
එහෙත් එය ලෝකයේ වැඩිම විශේෂ විනාශ වීමේ අනුපාතවලින් එකක් වේ.
අලුත්ම Environment Report යන වාර්තාවට අනුව ඕස්ට්‍රේලියාවේ පරිසර පද්ධති 19 ක් බිඳවැටීමේ සලකුණු පෙන්නුම් කර තිබේ.
ඉක්මන් පියවර මේ සම්බන්ධයෙන් නොගතහොත් අපගේ වටිනා ස්වාභාවික විශේෂ සහ පරිසර පද්ධති සදහටම අහිමි වීමේ අවදානමක් තිබේ.
දේශගුණික විපර්යාස සහ පාරිසරික සංරක්ෂණ සම්බන්ධයෙන් වන අභියෝගවලට මුහුණ දීම සඳහා දේශීය, ජාතික හා ගෝලීය මට්ටමින් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය වේ.
කෙසේ නමුත් ආචාර්ය Blair කියා සිටින්නේ ඕස්ට්‍රේලියානුවන් හටත් මේ සඳහා වෙනසක් කල හැකි බවයි.

නාගරික ප්‍රදේශවල, උද්‍යාන තිබෙන පිරිසට දේශීය, නියඟයට ඔරොත්තු දෙන ශාක තබා ගත හැකි අතර එමඟින් ඒවාට ජලය දැමීමේ අවශ්‍යතා අවම කර දේශීය සතුන් සඳහා වාසස්ථාන ලබා දිය හැකිය.
උද්‍යානවලට උදේ හෝ සවස ජලය දැමීම ඔස්සේ වාෂ්පීකරණය අඩු කිරීමෙන් ජල පරිභෝජනය අඩු කරගත හැක.
ග්‍රාමීය ප්‍රදේශවල මිනිසුන්ට දේශීය වෘක්ෂලතා සිටුවීමෙන් සහ ස්වාභාවික ජල ප්‍රවාහයන් සැකසීමෙන් භුමියට අවශ්‍ය ජලය ලබා දිය හැක.
ඕස්ට්‍රේලියාවේ දරුණු කාලගුණික සිදුවීම් මිනිසුන්ට සහ යටිතල පහසුකම්වලට අනතුරුදායක විය හැකි බැවින් සූදානම් වීම වැදගත් වේ.
දරුණු කාලගුණය සඳහා සූදානම් වීම
- Know your weather, know your risk’ වෙබ් අඩවියෙන් වැඩි විස්තර දැනගැනීම
- නවතම BOM කාලගුණ අනාවැකි සහ අනතුරු ඇඟවීම් සමඟ යාවත්කාලීනව සිටීම
- BOM කාලගුණ App එක Download කරගැනීම
- ඔබගේ ප්‍රාදේශීය හදිසි සේවා වලින් ලැබෙන උපදෙස් අනුගමනය කිරීම
SBS On Demand ඔස්සේ භාෂා පහකින් ලබා ගත හැක: සරල චීන, අරාබි, සම්ප්‍රදායික චීන, වියට්නාම සහ කොරියානු.
මෙම කතා මාලාව අන්ධ හෝ පෙනීමේ දුර්වල ප්‍රේක්ෂකයින් සඳහා ශ්‍රව්‍ය විස්තර/උපසිරැසි සමඟද ලබා ගත හැක.
මෙම අන්තර්ගතය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 2022 සැප්තැම්බර් මාසයේදීය.





