Key Points
- ඕස්ට්‍රේලියානු යුද්ධ පිළිගත හැකි වූයේ 'Terra Nullius' ප්‍රකාශය නීත්‍යානුකූලව අභියෝගයට ලක් කර එය අවලංගු කිරීමෙන් පසුව පමණි.
- 1788 දී පළමු බලඇණිය පැමිණීමේ සිට සහ 1930 ගණන්වල මැද භාගය දක්වා ඕස්ට්‍රේලියානු යුද්ධ මහාද්වීපය පුරා පැවතින
- විශේෂඥ කණ්ඩායම් විසින් අනාවරණය කරගත් යටත් විජිත වාර්තා සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි මගින් ගැටුම් වල බිහිසුණු බව පෙන්නුම් කරයි.
අවවාදයයි: මෙම ලිපියේ සහ podcast හි ඇතැම් පුද්ගලයන් පීඩාවට පත් කළ හැකි තත්වයේ ප්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරු අඩංගු වේ.
කපිතාන් James Cook පළමු වරට ඕස්ට්‍රේලියාව ලෙස වර්තමානයේ හඳුන්වන රටෙහි වෙරළ තීරයට පැමිණි විට, ඔහු මෙම විශාල භූමිය 'Terra Nullius' හෙවත් කිසිවෙකුගේ ඉඩමක් නොවන භූමියක් ලෙස ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත්, දූපත් මහාද්වීපයේ විවිධ ඇබොරිජිනල් සහ ටොරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන් සිය ගණනක් සහ ගෝත්‍ර - ලක්ෂ සංඛ්‍යාත ස්වදේශික ජනයා බ්‍රිතාන්‍ය කිරීටයේ 'යටත්වැසියන්' ලෙස ක්ෂණිකව සලකනු ලැබීය.
මෙය ඔස්ට්‍රේලියාවේ පදනම සනිටුහන් කළ ස්වදේශික ජනතාව සහ නව පදිංචිකරුවන් අතර ඇති වූ කුරිරු ගැටුම්, දේශසීමා යුද්ධ සඳහා ප්‍රධාන කරුණක් බවට පත් විය. නමුත් එම ඉතිහාසය හඳුනා ගැනීමට පටන් ගෙන ඇත්තේ වර්තමනයේදීයි.
චිත්‍රපට නිෂ්පාදක Rachel Perkins යනු යුරෝපීය උරුමයක් ඇති Arrernte සහ Kalkadoon කාන්තාවකි.
ඇය බ්‍රිතාන්‍ය නව පදිංචිකරුවන්ගෙන් තම ඉඩම් ආරක්ෂා කර ගැනීමට ස්වදේශික ජනයාගේ අරගලයේ ස්වභාවය විස්තර කරන "The Australian Wars" වාර්තා චිත්‍රපට මාලාවක් නිෂ්පාදනය කොට තිබේ.
මේවා ඕස්ට්‍රේලියාවේ සිදු වූ යුද්ධ වන අතර ඒවා සැබවින්ම නූතන ඕස්ට්‍රේලියානු රාජ්‍යය බවට පත් කළ යුද්ධ වූ බව Rachel කියා සිටී.
වසර 1788 දී පළමු බලඇණිය පැමිණීමේ සිට 1930 ගණන්වල මැද භාගය දක්වා ඕස්ට්‍රේලියානු යුද්ධ මහාද්වීපය පුරා පැවතින, කෙසේ නමුත් මෙම ගැටුම්, 20 වන සියවසේ අගභාගය වන තෙක් ඕස්ට්‍රේලියානු පාසල් තුල උගන්වනු ලැබුවේ හෝ යුද්ධයක් ලෙස පිළිගත්තේ නැත.
මහාචාර්ය Henry Reynolds ඕස්ට්‍රේලියාවේ වඩාත්ම ගෞරවනීය ඉතිහාසඥයෙකු වන අතර යුධ කටයුතු පිළිබඳ විශේෂඥයෙකි.
1966 දී ඔහු ඉතිහාසය ඉගැන්වීම ආරම්භ කරන විට, ඉතිහාස පොත්වල ස්වදේශික ප්‍රජාව පිළිබඳ සඳහනක් නොතිබූ තරම්ය.
මහාචාර්ය Henry Reynolds පවසන්නේ මෙම ගැටුම් ගරිල්ලා යුද්ධයට සමාන වූ බැවින්, 20 වැනි සියවසේ මැද භාගයේ දී පෙරටුගාමී යුද්ධ, පූර්ණ පරිමාණයේ යුද්ධයක් ලෙස නොසැලකීම නිසා මෙවැනි තත්වයක් ඇති වූ බවයි.
මෙම යුද්ධ කුඩා ගැටුම් ලෙසට සලකනු ලැබූ අතර නිල ඇඳුම්, සහ සොල්දාදුවන් නොසිටි බව Henry කියා සිටී.
කෙසේ වෙතත්, එය පැහැදිලිවම යුද්ධයේ ආකාරයක් ගත් බව ඔහු පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියානු Frontier Wars පිළිබඳ තවත් විශේෂඥයෙකු වන ඉතිහාසඥ ආචාර්ය Nicholas Clements මේ සම්බන්ධයෙන් තම එකඟතාවය පල කරයි.
ඔහු පවසන්නේ මෙම වැරදි වැටහීම පළමු හා දෙවන ලෝක යුද්ධවල ප්‍රතිඵලයක් වන අතර එය යුද්ධයක් යනු කුමක්ද යන්න පිළිබඳ ලොව තුල තිබූ අවබෝධය වෙනස් කළ බවයි.
කෙසේ නමුත් එවැනි මහා පරිමාණ යුද්ධ, මානව වර්ගයාගේ ඉතිහාසයේ අසාමාන්‍ය යුද්ධ වේ.
ආචාර්ය Nicholas කියා සිටින්නේ එදා ඔවුන් එය යුද්ධයක් ලෙස දැන සිටි අතර කෙසේ නමුත් 20 වන සහ 21 වන සියවසේදී අපට ඕස්ට්‍රේලියාවේ පැවති ගැටුම යුද්ධයක් බවට තිබු පෙනීම නැති වී ගිය බවයි.
මෙලෙස බොහෝ දෙනෙකුට මේවා යුද්ධ ලෙස නොපෙනීමට දේශපාලන හේතු කිහිපයක් ද ඇතැයි තමා සිතන බව ආචාර්ය Nicholas පවසයි.
එම දේශපාලන හේතු ‘Terra Nullius’ ප්‍රකාශ කිරීම සහ බ්‍රිතාන්‍ය නීතිය අතර නීතිමය පරස්පරතාවයක් දක්වා දිව යයි.
ස්වදේශික ජනතාව බ්‍රිතාන්‍යයේ යටත්වැසියන් ලෙස ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් අධිරාජ්‍යයට නිල වශයෙන් යුද්ධ ප්‍රකාශ කිරීමට ඔවුනට නොහැකි විය.
Rachel Perkins කියා සිටින්නේ එසේ කිරීමෙන් අදහස් වන්නේ ඔවුන් තම පුරවැසියන්ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීම වන බවයි.
කෙසේ වෙතත්, මෙම මහාද්වීපයේ ඔවුන්ගේ වාඩිලෑම සාර්ථක බව සහතික කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් තම හමුදා බලය දැඩි ලෙස භාවිත කොට තිබේ.

Mabo සහ 'Terra Nullius' පෙරළීම
ඕස්ට්‍රේලියානු යුද්ධ පිළිගත හැකි වූයේ 1990 දශකයේ මුල් භාගයේදී, Mabo තීරණය ලෙස හැඳින්වෙන 'Terra Nullius' ප්‍රකාශය නීත්‍යානුකූලව අභියෝගයට ලක් කර එය අවලංගු කිරීමෙන් පසුව පමණි.
මේ කාලය වන තුරු, ස්වදේශික ප්‍රජාවට මෙම භුමිය අයිති නැති බව මතය විය.
එබැවින් ඔවුන්ට ඉඩම් සඳහා නීත්‍යානුකූල අයිතියක් නොතිබූ අතර ඉඩම් පාලනය කිරීම සම්බන්ධයෙන් සටන් කිරීමට ඔවුනට නොහැකි විය.
ආචාර්ය Nicholas පවසන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ඕස්ට්‍රේලියාවේ ඉඩම්වල ස්වදේශික අයිතිය පිළිගැනීමට අසමත් වීම ඓතිහාසිකමය විෂමතාවයක් වන බවයි.
බ්‍රිතාන්‍යයන් ඕස්ට්‍රේලියාවේ ස්වදේශික ප්‍රජාවේත් ස්වෛරීභාවය පිළිගෙන නොමැත.
මේ නිසා ගිවිසුම් නොතිබූ අතර දේශීය ජනතාව සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ කොට නොමැත.
මේ හේතුවෙන් වර්තමානය තුලත්, ඉඩම් සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් මොනවාදැයි තේරුම් ගැනීමට නීතිමය අරගල තිබේ.
මෙම සාකච්චා වල අසාර්ථක වීම කුරිරු ලේ වැගිරීම් සඳහා හේතු වී තිබේ.
විශේෂඥ කණ්ඩායම් විසින් අනාවරණය කරගත් යටත් විජිත වාර්තා සහ පුරාවිද්‍යාත්මක සාක්ෂි එම ගැටුම් වල බිහිසුණු බව පෙන්නුම් කරයි.
ඕස්ට්‍රේලියානු ජාතික කෞතුකාගාරයේ පමණක් ආදිවාසී මුතුන් මිත්තන්ගේ නටබුන් 400කට වඩා වැඩි ප්‍රමාණයක් තබා තිබේ.
බොහෝ ඒවා මරණ දණ්ඩනය, හිස ගසා දැමීම සහ සමූලඝාතන මගින් මරණයට පත් වූ බවට සාක්ෂි පෙන්වයි.
දිවි ගලවා ගත් අයගෙන් පැවත එන්නන් සැමවිටම මතකයේ රැඳෙනු ඇතැයි Rachel Perkins පවසයි.
The Black War
ටස්මේනියාවේ The Black War හෙවත් කළු යුද්ධය (1824-1831) ඕස්ට්‍රේලියාවේ ඉතිහාසයේ දරුණුතම මායිම් ගැටුම විය.
මෙම Black War සමයේදී කොරියාවේ, මැලේසියාවේ, ඉන්දුනීසියාවේ, වියට්නාමයේ සහ සාම සාධක මෙහෙයුම්වලදී මිය ගිය ටැස්මේනියානුවන් සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක් ටැස්මේනියානුවන් මිය ගොස් තිබේ.
ආචාර්ය Nicholas පවසන්නේ දෙපාර්ශ්වයේම ප්‍රචණ්ඩත්වය තීව්‍ර වූ අතර යටත් විජිත බලධාරීන් සහ නව පදිංචිකරුවන්ද එම සමයේදී “බියපත්” වී සිටි බවයි.
ස්වදේශික ප්‍රජාවේ විරෝධය කැපී පෙනුණු අතර ඔවුන් මරාදැමූ හෝ තුවාල කල යම් අයකු හෝ එවකට සිටි සෑම කෙනෙකුම දැනසිටි බව සඳහන් වේ.
ලිංගික හිංසනය හේතුවෙන් ගැටුම තීව්‍ර විය.
ස්වදේශික කාන්තාවන් ක්‍රමානුකූලව දූෂණය කිරීම සහ පැහැර ගැනීම සිදු වූ අතර ඇතැම් ගෝත්‍ර වල පැවැත්මට කාන්තාවන්ට සිදු කරන ලිංගික අතවර හේතු වූ බව සඳහන් වේ.
මෙම සටන් හේතුවෙන් ටස්මේනියාවේ ස්වදේශික පරම්පරාවේ ඉරිස අතලොස්සක් පමණක් ඉතිරිව සිටින බව ආචාර්ය Nicholas පවසයි.

ගින්නට එරෙහිව ගින්නෙන් සටන් කිරීම
ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල ස්වදේශික ප්‍රතිරෝධය මැඩපැවැත්වීම සඳහා යටත්විජිතවාදීන් විසින් පුහුණු පැරාමිලිටරි බලකායක් වන ස්වදේශීය පොලිසිය නිර්මාණය කරන ලදී.
ස්වදේශික සොල්දාදුවන් බඳවා ගැනීම සහ ඔවුන්ව හමුදා බලකායක් ලෙස භාවිතා කිරීම නිසැකවම ස්වදේශික ප්‍රජාවේ ප්‍රතිරෝධය බිඳ දැමීමේ ප්‍රධාන බලවේගය වූ බව මහාචාර්ය Henry Reynolds කියා සිටී.
මෙහිදී මිනිසුන්ට නිල ඇඳුම්, තුවක්කු සහ අශ්වයන් ලබා දීම සිදු කොට තිබේ.
ඔවුන් සුදු නිලධාරීන් විසින් හසුරුවන ලද බවත්, ඔවුන් ඔවුන්ගේ සාම්ප්‍රදායික ආදිවාසී දැනුම සහ කුසලතා සඳහා ඔවුන් භාවිතා කළ බවත් ආචාර්ය Nicholas Clements විශ්වාස කරයි.
ක්වීන්ස්ලන්තයේ ස්වදේශික පොලිසියට සම්බන්ධ කරගත් පිරිස පමණක් දස දහස් ගණනක් විය.

Australian Wars වාර්තා චිත්‍රපට මාලාව සෑදීමේදී Rachel Perkins හට මේ සියලු ඉතිහාස කරුණු වලට මුහුණ දීමට සිදු විය.
තම ආච්චි අම්මා, ඇයගේ පවුල සමූලඝාතනය කිරීම ගැන සඳහන් කරන පටිගත කිරීමක් තමාට හමුවූ බවත් කෙසේ නමුත් වාර්තා චිත්‍රපට සිදු කරන තුරු එම ස්ථානය තමාට කිසි දිනක සොයාගැනීමට නොහැකි වූ බවත් Rachel සඳහන් කරයි.
ආචාර්ය Nicholas විශ්වාස කරන්නේ සියලුම ඕස්ට්‍රේලියානුවන් ලැජ්ජාව පිළිබඳව වන හැඟීම්වලින් මිදීම සහ අතීත අසාධාරණයන් පිළිබඳව දැනුම විහිදුවිය යුතු බවයි.
යමෙකුගේ මුතුන් මිත්තන් සම්බන්ධ වුවත් නැතත්, සියල්ලෝම සොරකම් කළ ආදිවාසී ඉඩමේ උරුමක්කාරයෝ වන බවත් අවම වශයෙන්, මෙම ඉතිහාසය හෙළිදරව් කිරීම, මෙම ඉතිහාසය සමඟ එකඟ වීම සහ ධනාත්මක අනාගතයක් සඳහා කාර්යභාරයක් ඉටු කිරීම සඳහා කැප වය යුතු බවත් ආචාර්ය Nicholas පවසයි.

ඉතිහාසය සැමරීමක් සිදු නොවන්නේ ඇයි?
මහාචාර්ය Henry විශ්වාස කරන්නේ ඔස්ට්‍රේලියාව, එහි බොහෝ යුධ ස්මාරකවල මියගිය සොල්දාදුවන්ට ගෞරව කරන ජාතියක් වන බවයි.
කෙසේ නමුත් එවැනි ජාතියක් දේශසීමා යුද්ධ සිදු කල බවත් එහිදී මනුෂ්‍යත්වයට එරෙහි සාපරාධී ක්‍රියාවන් රැසක් සිදු වූ බවත් විවෘතව හඳුනාගත යුතු බව මහාචාර්ය Henry පවසයි.
ඇමරිකාව එසේ නොවන අතර ඔවුන් ස්වදේශික ඇමරිකානුවන් සමඟ ඇති සියලුම ගැටුම් ඔවුන් නිල වශයෙන් යුද්ධ ලෙස හඳුනා ගෙන තිබේ.
එමෙන්ම නවසීලන්තයේ Maori යුද්ධ සැමවිටම ඉතිහාසයේ ඉතා වැදගත් කොටසක් විය.
Rachel Perkins පවසන්නේ මෙම විෂමතාවයට හේතුව සරල බවයි.
ඕස්ට්‍රේලියාව යනු යටත් විජිතවාදීන් ඉවත්ව නොගිය ලෝකයේ අද්විතීය ස්ථානවලින් එකක් වන බව ඇය පවසයි.
යටත් විජිතවාදීන් හෝ ඔවුන් සමඟ පැමිණි පදිංචිකරුවන් බලයේ රැඳී සිටී. මේ හේතුවෙන් යටත් විජිත ආක්‍රමණික බලවේගය ඉවත්ව ගොස් නැති නිසා රට ආරක්ෂා කළ අය පිළිගැනීම හෝ සැමරීම ජාතියට තරමක් අපහසු යැයි තමා සිතන බව Rachel Perkins පවසයි.
ආචාර්ය Nicholas විශ්වාස කරන්නේ, ඕස්ට්‍රේලියානු මියගිය සොල්දාදුවන්ට ගෞරව කිරීම සඳහා බහුලව භාවිතා වන වාක්‍ය ඛණ්ඩය වන ‘lest we forget’ යන්න බ්‍රිතාන්‍යයන්ගෙන් තම ඉඩම් ආරක්ෂා කර ගැනීමට සටන් කළ රණශූරයන් වෙතද ව්‍යාප්ත කළ යුතු බවයි.
මගේ රට තමන්ගේම අතීතය, එහි පූර්වගාමීන්ගේ වැරදි නිර්භීතව පිළිගෙන, අනාගතයේදී එම වැරදි නිවැරදි කිරීමට උපරිමයෙන් කැපවී සිටිනවා නම්, එය ආඩම්බරයක් වන බවත් ආචාර්ය Nicholas කියා සිටී.
The Australian Wars SBS On Demand ඔස්සේ භාෂා පහකින් ලබා ගත හැක: සරල චීන, අරාබි, සම්ප්‍රදායික චීන, වියට්නාම සහ කොරියානු.
මෙම කතා මාලාව අන්ධ හෝ පෙනීමේ දුර්වල ප්‍රේක්ෂකයින් සඳහා ශ්‍රව්‍ය විස්තර/උපසිරැසි සමඟද ලබා ගත හැක.
මෙම අන්තර්ගතය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ 2022 සැප්තැම්බර් මාසයේදීය.





