ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂාවෙන් චීනයට ගොස් සිටින 11 සහ 12 වසර වල පාසල් සිසුන්ට කොරෝනා වයිරසය හේතුවෙන් පනවා තිබූ ගමන් තහනම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉවත් කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව ඔස්ට්‍රේලියානු පාසල් වල අධ්‍යාපනය ලබන 11 සහ 12 වසර වල පාසල් සිසුන්ට චීනයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට දැන් අවස්ථාව ලැබේ.

හුබෙයි පළාතේ වාසය කළ අයට තහනම තවදුරටත්
චීනයේ සිටින ඔස්ට්‍රේලියානු පාසල් වල අධ්‍යාපනය ලබන 11 සහ 12 වසර වල පාසල් සිසුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමට තිබූ තහනම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ඉවත් කළද එය හුබෙයි පළාතේ වාසය කළ අයට වලංගු නොවන බව වාර්තා වේ.
ඒ අනුව හුබෙයි පළාතේ වාසය කළ සිසුන්ට තවමත් ඔස්ට්‍රේලියාවට පැමිණීමේ එම සංචාරක තහනම බල පැවැත්වේ.
11 සහ 12 වසර යනු පාසල් අධ්‍යාපනයේ තීරණාත්මක වසර දෙකක් වන බැවින් එහි වටිනාකම සහ අවශ්‍යතාව අවබෝධකරගත් නිසා මෙම ගමන් තහනම ඉවත් කළ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
ඔස්ට්‍රේලියානු පාසල් වල ලියාපදිංචිව සිටින 12 වසරේ සිසුන් 400 ක් පමණ ද 11 වසරේ සිසුන් 360 ක් පමණද මේ වන විට මෙම ගමන් තහනම හේතුවෙන් චීනයේ සිරවී සිටින බව වාර්තා වේ.
කෙසේවෙතත්, එම තහනම ඉවත් කිරීම මත ඔවුන්ට චීනයේ සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටීමට දැන් හැකියාව ලැබේ.
එසේ පැමිණෙන සිසුන් පූර්ණ නිරෝධායන කටයුතු වලට ලක්කොට ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා වයිරසය පැතිරීමට වැට බැඳීම සඳහා ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂක බලකාය ඇතුළු සියලු අංශ කටයුතු කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසුවේය.

විශ්ව විද්‍යාල සිසුන්ට ඔස්ට්‍රේලියාවට පැමිණීමේ තහනම තවදුරටත්
චීනයට ගොස් සිටින ඔස්ට්‍රේලියානු පාසල් වල අධ්‍යාපනය ලබන 11 සහ 12 වසර වල සිසුන්ට පනවා ඇති ගමන් තහනම ඉවත් කෙරුණද චීනයේ සිරවී සිටින ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන සිසුන්ට එම තහනම තවමත් එලෙසම පවතින බව වාර්තා වේ.
නමුත් එම විශ්ව විද්‍යාල සිසුන් පිළිබඳවද මෙම සතිය ඇතුළත සලකා බැලීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇතැයි සඳහන්.
ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල අධ්‍යාපනය ලබන ජාත්‍යන්තර සිසුන්ගෙන් බහුතරයක් චීන සිසුන් වන අතර සෑම වසරකම පාහේ දෙසැම්බර් ග්‍රීෂ්ම නිවාඩුවට එයින් බොහොමයක් සිසුන් නිවාඩුව ගත කිරීම පිණිස චීනයට යයි.
එලෙස චීනය වෙත ගිය විශ්ව විද්‍යාල සිසුහු බොහොමයක් කොරෝනා වයිරසය සම්බන්ධ ගමන් තහනම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට නැවත පැමිණීමට නොහැකිව චීනයේ සිරව සිටිති.


