කොවිඩ් වයිරසයේ නවතම ප්‍රභේදය වන Omicron ප්‍රභේදය ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය වැදගත් තීන්දු කිහිපයක් මේ වන විට ගෙන තිබේ.
එම තීරණ පිළිබඳ විස්තර මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
Highlights
- ජාත්‍යන්තර සිසුන්ට සහ ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රලාභීන්ට ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කිරීම පිළිබඳ නැවත සලකා බැලීමට තීරණය කර තිබේ.
- Omicron ප්‍රභේදය නිසා අප්‍රිකානු රටවල් 9කට ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළ වසා දැමෙයි.
- නව Omicron ප්‍රභේදය ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමග ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්තවල නිරෝධායන නීති ද සංශෝධනය කර තිබේ.
ජාත්‍යන්තර සිසුන් සහ සංක්‍රමණිකයින්ට දේශ සීමා යළි වැසෙයිද?
නව කොවිඩ් ප්‍රභේදය වන Omicron ඕස්ට්‍රේලියාවටත් පැමිණීම නිසා ජාත්‍යන්තර සිසුන්ට සහ ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රලාභීන්ට ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කිරීම නැවත සලකා බලනු ඇත.
ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂක කමිටුව මේ පිළිබඳ අවධානය යොමු කර තිබේ.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
දෙසැම්බර් 01 සිට පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ජාත්‍යන්තර සිසුන්ට, නිපුණතා සංක්‍රමණිකයින්ට මෙන්ම තාවකාලික වීසා හිමියන්ට ඔස්ට්‍රේලියානු දේශ සීමා යළි විවෘත කිරීමට තීරණය කර තිබේ.
නමුත් නියමිත පරිදි දෙසැම්බර් 01 දා සිට එය ක්‍රියාත්මක කිරීමට හැකිවෙත්දයි සොයා බැලීමට ජාතික ආරක්ෂක කමිටුව අද (29/11) පස්වරුවේ රැස්වේ.
මෙම නව ප්‍රභේදයට ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචාරය සලකා බැලීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය, ප්‍රාන්ත සහ ටෙරිටරි නායකයින් සමග ඉදිරි පැය 24 තුළ හමුවීමට ද අපේක්ෂා කෙරේ.
රටවල් 9කට ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළ වැසේ
අප්‍රිකාවේ සිට සිඩ්නි නුවරට පැමිණි ගුවන් යානයක සිටි මගීන් දෙදෙනෙකු හට මෙම Omicron ප්‍රභේදය ආසාදනය වී තිබූ බවට පසුගිය සති අන්තයේදී තහවුරු විය.
ඒ සමග අප්‍රිකාව ආශ්‍රිත රටවල් නවයක ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන අයට ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් තාවකාලිකව තහනම් කර තිබේ.
එමෙන්ම එම රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු පුරවැසියන් සහ ස්ථිර පදිංචිලාභීන් ඔස්ට්‍රේලියාවට පැමිණ දින 14 ක් නිරෝධායනය විය යුතුය.
අදාළ රටවල 9 පහත පරිදි වේ.
- දකුණු අප්‍රිකාව
- ලෙසෝතෝ
- බොට්ස්වානා
- සිම්බාබ්වේ
- මොසැම්බික්
- නැමීබියාව
- Eswatini
- මලාවි
- සීෂෙල්ස්
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තවල නිරෝධායන නීති ද වෙනස් වෙයි
මෙම නව Omicron ප්‍රභේදය ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමග ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්තවල නිරෝධායන නීති ද සංශෝධනය කර තිබේ.
ඒ අනුව ඉහත රටවලින් හැර වෙනත් විදෙස් රටවල සිට නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන සංචාරකයින් පැය 72 ක් තම නිවෙස්වල නිරෝධායනය විය යුතුය.
මේ අතර කොවිඩ් අවදානම ඉහළ රටවලින් දකුණු ඔස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින් දින 14 ක් නිරෝධායනය විය යුතු අතර අවදානම අඩු රටවලින් පැමිණෙන පුද්ගලයින් පැමිණීමට දින 3 කට පෙර කොවිඩ් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල ඍණාත්මක බව සනාථ කළ යුතුය.

කොවිඩ් බූස්ටර් එන්නත ගැනීමේ කාලය සමාලෝචනය කෙරේ
Omicron ප්‍රභේදයට එරෙහිව දක්වන ප්‍රතිචාර වශයෙන් කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා කොවිඩ් බූස්ටර් එන්නත ගත යුතු කාල සීමාව සමාලෝචනය කරන ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරියෙන් (ATAGI) ඉල්ලා සිටී.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt අද (29/11) මධ්‍යහනයේ මේ පිළිබඳ නිවේදනය කළේය.
ඔස්ට්‍රේලියානු ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරියට ස්වාධීනව ක්‍රියා කිරීමට සහ ඔවුන්ගේ උපදෙස් දිගටම අනුගමනය කිරීමට මධ්‍යම රජය ඉඩදෙන නමුත් බූස්ටර් එන්නත් සැපයීමට රජය සූදානම්ව සිටින බව ද ඔහු එහිදී පැවසීය.
ඊශ්‍රායලයට පසුව සමස්ත රටටම කොවිඩ් බූස්ටර් එන්නත් ලබාදීමේ ජාතික වැඩපිළිවෙලක් ඉක්මණින් දියත් කරන රටක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් සිටින බවද ඔහු සඳහන් කළේය.
ඔස්ට්‍රේලියාව තුළ කොවිඩ් බූස්ටර් එන්නත ලබාගනීමට වයස අවුරුදු 18 ඉක්මවිය යුතු අතර දෙවැනි මාත්‍රාව ලබා අවම වශයෙන් මාස 6 කින් පසුව බූස්ටර් එන්නත ගත යුතුය.
එම මාස හයේ කාල සීමාව තවත් අඩු කළ හැකිදැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සොයා බලමින් සිටියි.

