බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබා ශ්‍රී ලංකාව අද (04/02) සිය 70 වන නිදහස් දිනය සමරයි.
1948 වසරේ ප්‍රථම නිදහස් දිනයේ සිට ශ්‍රී ලංකාවේ නිදහස් දින සැමරුම් වල ප්‍රධානතම සිදුවීම් මෙම ලිපියෙන් දැක්වෙයි.
පළමු නිදහස් දිනය (1948)
1948 පෙබරවාරි 4 වැනිදා පැවති ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් උත්සවය පෙරවරු 7.30ට යෙදුන සුභ මොහොතින් කොළඹ නිදහස් චතුරස්‍රය ආසන්නයේ තාවකාලිකව නිමකරන ලද ශාලාවක පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ පළමු අග්‍රාණ්‌ඩුකාරවරයා ලෙස ශ්‍රීමත් හෙන්රි මේසන් මුවර් දිව්රුම් දීමත් සමග එම උත්සවය ආරම්භ විය.
ඉන්පසුව නිදහස් ශ්‍රී ලංකාවේ පලමු අග්‍රමාත්‍යවරයා ලෙස හැඳින්වෙන D.S. සේනානායක මහතා ජාතිය අමතා ප්‍රථම නිදහස් දින කතාව කළ බව වාර්තා වේ.

දෙවැනි නිදහස් දිනය (1949)
ලාංකේය කල කෙතේ කෘතහස්ත කලාවේදියෙකු වූ ආනන්ද සමරකෝන් සූරීන් විසින් ශ්‍රී ලංකාවේ ජාතික ගීය රචනා කරන ලදී.

නමුත් එය ආරම්භ වූයේ “නමෝ නමෝ මාතා” ලෙසට බැවින් එය හැඳින්වුයේ ද “නමෝ නමෝ මාතා” ජාතික ගීය ලෙසය.
නමුත් පසුකාලීනව විවධ හේතු මත එය “ශ්‍රී ලංකා මාතා” ලෙසට අද භාවිතා කෙරෙන ජාතික ගීතය බවට පරිවර්තනය විය.
කෙසේනමුත්, මෙම “නමෝ නමෝ මාතා” මුල් ජාතික ගීය ප්‍රථම වරට ගයා ඇත්තේ 1949 වර්ෂයේ පැවති නිදහස් උත්සවයේදීය.

සිව්වන නිදහස් සැමරුම (1952)
ශ්‍රී ලංකාවේ පැරණි ජාතික කොඩිය සමන්විත වූයේ සිංහ රුවකින් සහ කොත් හතරකින් පමණි.
1948 වසරේදී නිදහස ලබන විටදී පවා ඔසවනු ලැබුවේ එම කොඩිය බව වාර්තා වේ.
ඉන් අනතුරුව 1948 මාර්තු 06 වැනිදා අග්‍රාමාත්‍ය D.S. සේනානායක මැතිතුමා විසින් ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය නැවත වරක් නිර්මාණය කිරීම සඳහා කමිටුවක් පත් කරන ලදී.
එම කමිටුව හරහා “සුළු ජාතීන්” නියෝජනය කරනු ලබන ජාතික කොඩිය බිහි වෙයි.
මෙම නව ජාතික කොඩිය මුල් වරට එසවෙන්නේ 1952 වසරේ පැවති නිදහස් දින සැමරුම් උළෙලේදීය.

කොත් හතර වෙනුවට “බෝ පත්” හතරක් රැගත් ජාතික කොඩිය භාවිතයට ගැනෙන්නේ 1972 වසරේ සිටය.
1954 වසරේ අප්‍රේල් 21 වන දින පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නිල සංචාරය අතරතුරේදී බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබත් රැජිණ සහ ඇගේ වල්ලභයා වන පිලිප් කුමරු ශ්‍රී ලංකාවට ප්‍රථම වරට පැමිණියහ.

නව වන නිදහස් සැමරුම (1957)
1948 දී පළමු නිදහස සැමරුවේ නිදහස් චතුරශ්‍ර භූමියේ තාවකාලිකව සාදන ලද ශාලාවකය.
ඉන්පසුව ස්ථිර වශයෙන් නිදහස් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අවධානය යොමුවූ අතර විවධ හේතුන් මත එහි ඉදිකිරීම් කල් ගියේය.
කෙසේවෙතත්, S.W.R.D. බණ්ඩාරණායක මැතිතුමා යටතේ මෙහි ඉදිකිරීම් නැවත ආරම්භ කල අතර, 1957 නිදහස් සමරුව මහත් උත්කර්ෂයෙන් යුතුව මෙම නව නිදහස් චතුරශ්‍ර ගොඩනැගිල්ලේදී සමරන ලදී.

13 වන නිදහස් සැමරුම (1961)
1961 වසරේදී පැවති නිදහස් උළෙල මහනුවරදී පැවැත්වුණු අතර එය මහනුවර පැවති ප්‍රථම නිදහස් උළෙල ලෙස ඉතිහාසගත වෙයි.
සිරිමාවෝ බණ්ඩරණායක මැතිණියගේ ප්‍රධානත්වයෙන් එම නිදහස් උළෙල පැවැත්වුණු අතර එකල ජාතික ගීයේ සංශෝධන පිළිබද විවිධ මත ගැටුම් පැවතීම නිසාවෙන් නිදහස් උත්සවයේදී ජාතික ගීයේ අනුවාදනය පමණක් වාදනය කළ බව වාර්තා වේ.

30 වන නිදහස් දින සැමරුම (1978)
1978 වසරේදී පැවති නිදහස් දින සැමරුම ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවතීමද ඉතිහාසගත වන කරුණකි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වන්නේ J.R. ජයවර්ධන මහතා ය.

50 වන නිදහස් සැමරුම (1998)
1998 වසරේදී යෙදුනු ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් දින සැමරුම් උළෙල මහනුවරදී පවත්න්නට කටයුතු යොදා තිබුණි.
නමුත් 1998 ජනවාරි 25 වන දින ශ්‍රී දළදා මාලිගාවට එල්ල වූ LTTE කොටි ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් මහනුවර නිදහස් උළෙල පැවත්වීම අවලංගු කර එය කොළඹදී පවත්වන්නට විය.
ශ්‍රී ලංකාවේ 50 වන නිදහස් සැමරුමට බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරුද සහභාගි විය.

62 වන නිදහස් සැමරුම (2010)
30 වසරක් පුරාවට පැවති LTTE කොටි ත්‍රස්ත වාදීන් සමග පැවති යුද්ධය නිමා කිරීමෙන් අනතුරුව ත්‍රස්තවාදයෙන් තොරවූ රටක ශ්‍රී ලංකා වාසීන් නැවත නිදහස සමරනු ලැබුවේ 2010 වසරේදීය.
ඒ අනුව ශ්‍රී ලංකාවේ 62 වන නිදහස් දින සැමරුම් එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයන් යුතුව මහනුවර ශ්‍රී දළදා මාලිග පරිශ්‍රයේදී සිදු විය.

70 වන නිදහස් සැමරුම (2018)
ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් දින සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එංගලන්තයේ එඩ්වඩ් කුමරු සහ ඔහුගේ ආර්යාව සොෆී ජෝන්ස් පසුගිය ජනවාරි 31 වන දින ශ්‍රී ලංකාවට පැමිණියහ.
එඩ්වඩ් කුමරු බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණගේ සහ එඩින්බරෝ ආදිපාදවරයාගේ බාල පුත්‍රයා වන අතර ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ සොයුරෙකි.

--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------

