ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති නවසීලන්ත පුරවැසියෙකු බවට නවසීලන්ත අගමැතිවරයා හෙළි කිරීමත් සමග ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව උණුසුම් වෙයි. (SBS සිංහල/වාර්තා)

පසුගිය බ්‍රහස්පතින්දා නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය තමන්ව අමතා තමන් හට නවසීලන්ත පුරවසිභාවය පරම්පරාවෙන් හිමිවී ඇති බවට බොහෝ දුරට ඉඩ ඇති බව දැනුම් දුන් බව Barnaby Joyce ඊයේ පෙරවරුවේ හෙළිදරව් කළේය.

Barnaby Joyce is a New Zealand citizen, NZ PM confirms.

Source: AAP

ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ අර්බුදයේ මීළඟ ගොදුර ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය, නැෂනල්ස් පක්ෂයේ සභාපති Barnaby Joyce වීමට ඉඩ ඇති බවට ඊයේ (14/08) වාර්තා විය.

ඔහුට නවසීලන්ත පුරවැසිභාවය හිමි බවට ඊයේ වාර්තා වූ අතර එය නවසීලන්ත අගමැතිවරයා විසින් ඊයේ පස්වරුවේ තහවුරු කළේය.

Barnaby Joyce ගේ පියා නවසීලන්තයේ උපත ලැබීම හේතුවෙන් ඔහුට නවසීලන්ත පුරවසිභාවය හිමිවී ඇති බව සඳහන්.

පසුගිය බ්‍රහස්පතින්දා නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය තමන්ව අමතා තමන් හට නවසීලන්ත පුරවසිභාවය පරම්පරාවෙන් හිමිවී ඇති බවට බොහෝ දුරට ඉඩ ඇති බව දැනුම් දුන් බව Barnaby Joyce ඊයේ පෙරවරුවේ හෙළිදරව් කළේය.



ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටළුව පසුගිය සති අන්තයේදී තමන්ට සැළවූ බවත් නවසීලන්ත නීතියට අනුව ඔහු නවසීලන්ත පුරවැසිභාවය හිමි අයෙකු බවත් නවසීලන්ත අගමැති Bill English ප්‍රකාශ කළේය.

මෙම කරුණ දැන් ඔස්ට්‍රේලියාවේ ගැටළුවක් බවත් ඔස්ට්‍රේලියානු නීතිය ඔහුට බලපාන අයුරු අනුව අවසන් තීරණය ගැනෙනු ඇති බවත්  නවසීලන්ත අගමැති Bill English මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කර ඇත.

නවසීලන්ත නීතියට අනුව නවසීලන්ත පුරවැසිභාවය හිමි පුද්ගලයන්ට දාව උපදින දරුවන් හට නිරායාසයෙන්ම නවසීලන්ත පුරවැසිභාවය හිමිවන බවත් එය සක්‍රීය කිරීමට අවශ්‍ය නැති බවත් පැවසේ.

මේ අනුව Barnaby Joyce, ඔස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ 44 වන වගන්තිය උල්ලංඝනය කර ඇත්දැයි සොයා බලා ඔහුට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ක්‍රියා කිරීමට තවදුරටත් හැකිද යන්න තීරණය කිරීම ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණය හට බාර වී ඇත.

මේ ඇතිවී ඇති තත්ත්වය පිළිබඳ තමන් අවංකව කණගාටු වන බවත් මෙවැනි සිද්ධි හදිසියේම ඇතිවිය හැකි බවත් නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා පවසා තිබේ.

Barnaby Joyce ඉවත් විය යුතු යැයි කම්කරු පක්ෂයෙන් ඉල්ලීමක්.

ඔස්ට්‍රේලියානු පහළ මන්ත්‍රණ සභාවේ ලිබරල් සන්ධානයට එක් අසුනක බහුතරයක් ඇති බැවින් Barnaby Joyce ගේ මෙම ද්විත්ව පුරවැසිභාව ගැටලුව  විපක්ෂයට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරන වටපිටාවක් ඇති කර ඇති බව දැකිය හැකිය.

ද්විත්ව පුරවැසිභාව අර්බුදය හේතුවෙන් මේ වන විට ග්‍රීන්ස් පක්ෂයට තමන්ගේ සෙනට් සභිකයින් දෙදනෙකු අහිමිවී ඇත.

මේ අතර ඔස්ට්‍රේලියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පැමිණෙන තෙක් ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති ධුරයෙන් Barnaby Joyce ඉවත් විය යුතු යැයි කම්කරු පක්ෂය පවසයි.

“පාර්ලිමේන්තු සාමාජිකයෙකු ද නැතිද යන්න නිශ්චිතව දන්නේ නැතුව කොහොමද රටක නියෝජ්‍ය අගමැතිධුරයක් හොබවන්නට ඒ පුද්ගලයාට අවස්තාව දෙන්නේ?” යනුවෙන් කම්කරු පක්ෂයේ ඉදිරි පෙළ මන්ත්‍රී Tony Burke ප්‍රශ්න කරයි.

නැෂනල්ස් පක්ෂයේ හිටපු සෙනට් සභික Matt Canavan වයස අවුරුදු 25 දී තමන් නොදැනුවත්ව තම මව විසින් ඔහුව ඉතාලි ජාතික පුරවැසිභාවය සඳහා ලියාපදිංචි කිරීම හේතුවෙන් මෑතකදී ඉල්ලා අස්වූ බවද Tony Burke එහිදී සිහිපත් කළේය.

කෙසේවෙතත්, තමන් පාර්ලිමේන්තුවෙන් ඉවත් වන්නේ නැති බව පවසන Joyce තමන්ට නවසීලන්ත පුරවසිභාවය හිමිව ඇත්තේ තමන් නොදැනුවත්ව බැවින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තමන්ට අහිතකර එකක් නොවන බව පවසයි.

Joyce ට අස්වන්නට සිදු නොවෙනු ඇතැයි ටර්න්බුල් දැඩි විශ්වාසයකින් පසුවෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව Barnaby Joyce හට අහිතකර එකක් නොවනු ඇති බව අගමැති ටර්න්බුල් මේ සම්බන්ධව එල්ලවූ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත.

මේ අතර මෙම ද්විත්ව පුරවැසිභාවයේ ඊළඟ ගොදුරු බවට කම්කරු පක්ෂයේ Susan Lamb, Tony Zappia, Justine Keay සහ Maria Vamvakinou පත්වීමට ඉඩ ඇති බවට ලිබරල් සන්ධානයේ Christopher Pyne අනතුරු ඇඟවීමක් සිදු කළේය.

නැෂනල්ස් පක්ෂයේ නායක Barnaby Joyce 1967 වසරේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Tamworth හි උපත ලබා ඇත.

ඔහුගේ පියා නවසීලන්තයේ උපත ලැබූ නමුත් බ්‍රිතාන්‍ය ක්‍රමවේදයට අනුව 1947 වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණුනු බව Joyce ප්‍රකාශ කළේය.

“මමවත් මගේ දෙමාපියන්වත් නවසීලන්ත පුරවැසිභාවය සඳහා ලියා පදිංචි වීමට අයදුම් කර නැහැ. මාව නවසීලන්ත පුරවැසියෙකු ලෙස හඳුනා ගැනීමට නවසීලන්ත රජයට කිසිදු ලියාපදිංචියක් නැහැ.” යනුවෙන් ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය, නැෂනල්ස් පක්ෂයේ සභාපති Barnaby Joyce ප්‍රකාශ කළේය.


Share

Published

Updated

By Madhura Seneviratne
Source: ABC Australia

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
ඔස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති නවසීලන්ත පුරවැසියෙකු බවට නවසීලන්ත අගමැතිවරයා හෙළි කිරීමත් සමග ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව උණුසුම් වෙයි. (SBS සිංහල/වාර්තා) | SBS Sinhala