ඔස්ට්‍රේලියාවේ shopping centres හෙවත් සාප්පු සංකීර්ණ යන සංකල්පය ජන ජීවිතයට ඉතා සමීපතම එකකි.
තමන්ට අවශ්‍ය ආහාර පාන, ඇඳුම් පැළඳුම්, මෙන්ම විවිධ පාරිභෝගික සේවාවන්ද එකම වහලක් යටින් පිරිමසා ගැනීමට මෙම සාප්පු සංකීර්ණ වලින් අවස්ථාව ලැබේ.
කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ සාප්පු සංකීර්ණ වල ක්‍රියාත්මක 80% කට අධික වෙළෙඳ සැල් වසා දමන්නට සිදු විය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
විශේෂයෙන්ම අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා සපයන වෙළෙඳසල් 3 වන මට්ටමේ නීති හා සීමා පැනවීමේදී වසා දැමීමට සිදුවීම ඊට හේතුවය.
නමුත් දැන් දැන් සාප්පු සංකීර්ණ පාරිභෝගිකයින්ගෙන් ගහන වන්නට පටන් ගෙන ඇත.
වර්තමාන වසංගත තත්ත්වයත් සමග සාප්පු සංකීර්ණ ඇත්තටම සෞඛ්‍ය අතින් ආරක්‍ෂිතද?

සාප්පු සංකීර්ණ ක්‍රමිකව යථා තත්ත්වයට
පසුගිය මාර්තු මාසයේ අග සිට ඔස්ට්‍රේලියාවේ සාප්පු සංකීර්ණ වල Food Court සම්පූර්ණයෙන්ම වසා දැමීමට නියෝග කෙරුණි.
එමෙන්ම ඒවායේ ආහාර පාන වෙළෙඳසල් වල කටයුතු Take Away සේවාවන්ට පමණක් සීමා කෙරිණි.
එළවලු, පළතුරු, මස්, මාළු සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය වෙළෙඳ සැල් මෙන්ම බැංකු, ඖෂධාගාර වැනි අත්‍යවශ්‍ය සේවා පමණක් සාප්පු සංකීර්ණ වල විවෘත කිරීමට අවස්ථාව සලසා තිබුණි.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරාම සාප්පු සංකීර්ණ ඉතා පාළු ස්වභාවයක් ගත්තේය.
නමුත් පසුගිය සතියේ පටන් විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි තම ප්‍රාන්ත වලට පනවා ඇති කොරෝනා නීති කෙමෙන් ලිහිල් කිරීමට පටන් ගැනීමත් සමග සාප්පු සංකීර්ණ වල වෙළෙඳසල් ද ක්‍රමිකව විවෘත වෙමින් පවතී.
මෙනිසාම පාරිභෝගිකයින්ද වැඩි වශයෙන් ඒවාට යාම ආරම්භ කර ඇත.
පසුගිය සති අන්තයේ දී මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බේන් ඇතුළු ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රධාන නගර වල පිහිටි සාප්පු සංකීර්ණ පාරිභෝගිකයින්ගෙන් පිරී ඉතිරී ගිය බව වාර්තා විය.

සාප්පු සංකීර්ණ වල මීටර් 1.5 දුර තබා ගැනීම ප්‍රමාණවත්ද?
කුමන අන්දමින් කොරෝනා නීති ලිහිල් කළද මීටර් 1.5 පුද්ගල දුරස්ථභාවය සැමවිටම තබාගත යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඇතුළු සෞඛ්‍ය අංශ ජනතාවට අවධාරණය කරයි.
නමුත් සාප්පු සංකීර්ණ වල එම මීටර් 1.5 දුර තබාගැනීම පමණක් ප්‍රමාණවත්ද?
සාප්පු සංකීර්ණ වල මීටර් 1.5 දුරස්ථභාවය තබාගැනීම ප්‍රයෝගිකව අපහසු බව බෝවන රෝග පාලනයට සහ වැළක්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට උපදේශකත්වය සපයන බෝවන රෝග පිළිබඳ විශේෂඥ Mary-Louise McLaws, ABC පුවත් සේවයට පවසයි.
මේ හේතුවෙන් කොරෝනා වයිරසය සාප්පු සංකීර්ණ වල ඉතා පහසුවෙන් පැතිරී යාමේ වැඩි ඉඩක් ඇති බව ඇය පෙන්වා දෙයි.
මීටර් 1.5 ක පරතරයක් තබා ගන්නා ලෙස උපදෙස් දුන්නද ඇත්තෙන්ම සාප්පු සංකීර්ණ තුළ මීටර් 2 -3 අතර පරතරයක් තබා ගැනීම වඩා වැදගත් බව ඇය පවසයි.
යම් කිසි පුද්ගලයෙකු මහ හඬින් කතා කරන විට හෝ සිනාසෙන විට හෝ වේගයෙන් දුවන විට හෝ ඔහුට වයිරසය ආසාදනය වී ඇත්නම් ඔහුගෙන් එය මීටර් 4 ක් දක්වා දුරකට පැතිරීමේ වැඩි ඉඩක් ඇති බව බෝවන රෝග පිළිබඳ විශේෂඥ Mary-Louise McLaws පැහැදිලි කරයි.

ඉක්මනින් සාප්පු සවාරියේ යෙදීම උචිතය
කොරෝනා වයිරසය පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වන්නේ මිනිත්තු 15ක් වැනි අවම කාලයක් අදාළ පුද්ගලයින් දෙදෙනා ඉතා සමීපව ගැවසීම නිසා බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ඒ අනුව බලන කල කොරෝනා වයිරසය සාප්පු සවාරියේ යෙදෙන පාරිභෝගිකයින්ට සම්ප්‍රේශනය වන්නේ ඔවුන් ඉතා දිගු කාලයක් සාප්පු සංකීර්ණ වල රැදී සිටියහොත් යන අවස්ථාවේදී පමණක් බව මහාචාර්ය Paul Glasziou පවසයි.
සාප්පු සංකීර්ණ වල ඉතා ඉක්මණින් තම පාරිභෝගික අවශ්‍යතා ඉටු කරගත ගෙන පිටව ගියහොත් එම අවදානම තුරන් වන බව ඔහු පෙන්වා දෙයි.

කොරෝනා මඩින්න සාප්පු සංකීර්ණ අවශ්‍ය ක්‍රියා මාර්ග ගෙන තිබේද?
කොරෝනා වයිරසය සාප්පු සංකීර්ණ තුළ සම්ප්‍රේෂණය නොවීම සඳහා ඒවායේ පාලනාධිකාරින් මේ වන විටත් අවශ්‍ය පියවර රාශියක් ගෙන ඇති බව සාප්පු සංකීර්ණ වෙත යන ඕනෑම පුද්ගලයෙකුට දැකගත හැකිය.
ප්‍රධාන දොරටු සහ වැසිකිලි ආශ්‍රිතව hand sanitiser යන්ත්‍ර සවි කර තිබීම මේ වන විට ඔස්ට්‍රේලියාවේ සෑම සාප්පු සංකීර්ණයකම දක්නට හැකිය.
ඊට අමතරව පුද්ගල දුරස්ථභාවය තබාගන්නා ලෙසට උපදෙස් සපයන ස්ටිකර්, පොළොවෙහි අලවා ඇති අතර බිත්තිවලද දැන්වීම් පුඅවරු වලද ප්‍රදර්ශනය කර තිබේ.
තම සාප්පු සංකීර්ණ වල ක්‍රියාත්මක සෑම වෙළෙඳ සැලකටම එකවර පාරිභෝගිකයින් ඇතුල් කරගත හැකි උපරිම ප්‍රමාණය පිළිබඳවද ඔවුන්ව දැනුවත් කර තිබේ.
ඊට අමතරව Chemist Warehouse, Apple වැනි විවිධ සාප්පු තම පරිශ්‍රයට ඇතුළුවීමට පෙර පාරිභෝගිකයින්ගේ ශරීර උෂ්ණත්වය මැනීමක් සිදු කරන බව ද වාර්තා වේ.


