ඔහු නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ ඉදිකිරීම්, කළමනාකරණය සහ දේපළ පිළිබඳ උපාධිය හදාරමින් අවසාන වසරේ සිටින ශ්‍රී ලාංකික ජාත්‍යන්තර ශිෂ්‍යයෙකි.
ඔහු උපාධිය අවසන් කර තම ක්ෂේත්‍රයේ රැකියාවක් සොයාගැනීමේ සාම්ප්‍රදායික චින්තනයෙන් බැහැරවී උපාධිය හදාරන අතරේම තම විෂයය ක්ෂේත්‍රයට අදාළ රැකියාවක් සොයා ගැනීමට වෙහෙසුණු අයෙකි.
Cleaner කෙනෙක් හෙවත් පිරිසිදු කරන්නෙකු ලෙස අර්ධ කාලීන රැකියාවක් කරමින් සිටි ඔහු ජාත්‍යන්තර ශිෂ්‍යයෙක්ව සිටියදීම විවිධ අභියෝග වලට මුහුණ දෙමින් අවසානයේ තම සිහිනය ඉටු කරගෙන තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔහු මේ වන විට උපාධිය හදාරන අතරේ සිඩ්නි නුවර ප්‍රසිද්ධ සමාගමක Cadet Project Manager ලෙස රැකියාව කරමින් පසුවෙයි.
ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍යයෙක්ට වුවද තම ක්ෂේත්‍රයේ රැකියාවක් තම උසස් අධ්‍යාපනය හදාරන අතරේම සොයා ගැනීමට අපහසු නොවන බවත් අයදුම්පත් දැමීමෙන් පමණක් රැකියාවක් සොයා ගත නොහැකි බවත් ඔහු පවසයි.
මෙම තරුණයා නමින් ප්‍රකාශ් රොඩ්රිගෝ ය.

තමාගේ ක්ෂේත්‍රයේම ඔස්ට්‍රේලියාවේ රැකියාවක් සොයා ගන්නේ කෙසේද, ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ග, මෙන්ම ජාත්‍යන්තර සිසුන්ට ද සතියකට රැකියා කිරීමට අවසර ඇති පැය 20 සීමාව බාධාවක් නොකරගෙන තම ක්ෂේත්‍රයේම රැකියාවක් උසස් අධ්‍යාපනය හදාරන අතරේම සොයා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ප්‍රකාශ් SBS සිංහල ගුවන් විදුලියට පැවසුවේ මේ අයුරිනි.
"මම ඔස්ට්‍රේලියාවට ඇවිත් මුලින්ම අර්ධ කාලීන රැකියාවක් ලෙස කළේ Sales job එකක්. ඒකෙදි මගේ වැටුප ලෙස ලැබුණේ කොමිස් මුදලක් පමණයි. නමුත් පැය ගානක් වැඩ කළත් බොහෝ දවස් වලට මට හම්බ වෙන්නේ ඉතා අඩු මුදලක්. ඉතින් මම තීරණය කළා වෙන රැකියාවක් සොයාගන්න. එහිදී හිතවත් කෙනෙකු මට Cleaning රැකියාවක් ලබාදෙන්න පොරොන්දු වුණා."
නමුත් අදාළ පුද්ගලයා ප්‍රකාශ් වෙත මුලින්ම කියා සිටියේ මෙම Cleaning රැකියාව කිරීමට නම් වහනයක් තිබිය යුතු බවය.
එනිසා ප්‍රකාශ් ලහි ලහියේම භාවිත කරන ලද වාහනයක්ද මිලටගෙන නැවතත් එම පුද්ගලයාට කතා කළ නමුත් ඔහුව සම්බන්ධ කරගැනීමට නොහැකි විය.
ඉන් පසුව රැකියාවක් ද නොමැතිව වාහනයේ වියදම්ද දරාගෙන මාස දෙකක් පමණ ගතවන විට ඔහුට මිතුරෙකුගේ මාර්ගයෙන් නැවතත් Cleaning රැකියාවක් හිමි විය.
"ඒ Cleaning රැකියාව මගේ නවාතැනේ සිට කිලෝ මීටර් 50 ක් පමණ දුරකින් තමයි තිබුණේ. නමුත් මම ඒ රස්සාව බොහෝ කාලයක් කළා." යනුවෙන් ප්‍රකාශ් SBS සිංහල ගුවන් විදුලියට පැවසුවේය.

උපාධිය අවසන් නොකරන තම ක්ෂේත්‍රයේ රැකියාවක් සොයාගැනීමට සිතීම
ඔස්ට්‍රේලියාවේ බොහොමයක් ජාත්‍යන්තර සිසුන්ගේ අරමුණ වන්නේ තමන්ගේ උපාධිය හදාරා අවසන් කර තමා ඉගෙනගත් ක්ෂේත්‍රයෙන් රැකියාවක් සොයාගැනීම බව ප්‍රකාශ් අප වෙත පැවසුවේය.
එය බොහෝ විට එතරම් පහසු නොවේ.
නමුත් ප්‍රකාශ් එම චින්තනයට පටහැනිව ක්‍රියා කරමින් උපාධිය හදාරන අතරේම තම ක්ෂේත්‍රයේ රැකියාවක් සොයාගැනීමට පටන් ගත්තේය.
"ජාත්‍යන්තර සිසුවෙකුට තම උපාධිය හැදෑරීමෙන් පසුව රජයෙන් ලබාදෙන Post Graduate වීසා හෙවත් 485 වීසා එකේ කාල සීමාව වසර දෙකක්. ප්‍රාදේශීය කලාපයක ඉගෙන ගත් අයට ඊටත් වඩා වැඩි කාලයක් හිමිවෙනවා. එතකොට උපාධිය අවසන් කළ ගමන්ම රැකියාවක් හොයාගන්න ප්‍රයෝගිකව බැහැ. ඒ සඳහා අවම වශයෙන් මාස 6 කවත් කාලයක් ගතවෙනවා. එහෙම වුණොත් රැකියාව කරන්න තිබෙන්නේ තවත් මාස 18 ක කාලයක් පමණයි. ඒක ලොකු නාස්තියක් කියලා මම හිතුවා." යනුවෙන් ප්‍රකාශ් පැහැදිලි කළේය.
එනිසා උපාධිය හදාරන සමයේදීම තම ක්ෂේත්‍රයේ රැකියාවක් සොයාගැනීමට හැකි වුවහොත් 485 වීසා එක ලබාගන්නා විට තමන්ට රකියාක් තිබෙන අතරේ එම මාස 24 තුළ රැකියාව කරන අතරේම ස්ථිර පදිංචිය ලබා ගැනීම සඳහා මාවතක් ද සකස් කරගැනීමට අවශ්‍ය තරමේ කාලයක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

සතියකට පැය 20 සීමාව නිසා ඔස්ට්‍රේලියාවේ බොහෝ ආයතන රැකියා අවස්ථාවන් ජාත්‍යන්තර සිසුන්ට ලබා දෙනවාද?
ශිෂ්‍ය වීසාවක සිටින ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු හට සතියකට පැය 20 සීමාව නිසා ඔස්ට්‍රේලියාවේ බොහෝ ආයතන අවස්ථාවන් ලබා නොදෙනවා යනුවෙන් බොහෝ මැසිවිලි අදටත් ඔස්ට්‍රේලියාව තුළ අසන්නට ලැබේ.
මේ හේතුවෙන්ම බොහෝ ජාත්‍යන්තර සිසුන් තම උසස් අධ්‍යාපනය හදාරන අතරේ තමන්ගේ ක්ෂේත්‍රයේ නොවන රැකියාවන්වල නිරත වීමක් බහුලව දක්නට ලැබේ.
නමුත් ප්‍රකාශ් රොඩ්රිගෝ නැමති ජාත්‍යන්තර සිසුවා මේ පිළිබඳ වෙනස්ම ආකාරයකින් සිතූ නිසා අද වන විට ඔහු ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ සමාගමක Cadet Project Manager කෙනෙක් ලෙස රැකියාව කරමින් සිටියි.
"ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු හට සතියකට පැය 20 සීමාව කියන්නේ මධ්‍යම රජයෙන්ම පනවපු නීතියක්. එනිසා අපට ඒක වෙනස් කරන්න බැහැ. එනිසා අපි එම පැය 20 න් කරන්න පුළුවන් දේ ගැන පමණක් හිතන්න ඕනේ. පැය 20 සීමාව ගැන හිත හිත හිටියොත් තමන්ගේ ක්ෂේත්‍රයේ රැකියාවක් සොයාගන්න තිබෙන තරගයෙන් තමන් නිරායාසයෙන්ම ඉවත් වෙනවා." යනුවෙන් ප්‍රකාශ් පැවසීය.
ඔස්ට්‍රේලියාවේ ඇතැම් ආයතන රැකියාවක් සඳහා අයදුම් කිරීමේදී වීසා බලපත්‍රයේ විස්තර ඉල්ලන අතරේ ඇතැම් ආයතන මුලදීම ඒවා නොඉල්ලන බවත් ඔහු පැවසීය.
මෙම සාම්ප්‍රදායික චින්තනය නිසා ජාත්‍යන්තර සිසුන්ට පවා අයදුම් කරන්න හැකි රැකියාවන් සඳහා බොහෝ ජාත්‍යන්තර සිසුන් අයදුම් කිරීමට නොපෙළඹෙන බවක් ඇති බවත් බොහෝ සිසුන් ඒවාට අයදුම් කිරීමට තමන්ට හැකි බවක් නොදන්නා බවත් ප්‍රකාශ් පෙන්වා දුන්නේය.
සම්මුඛ පරීක්ෂණයකදී මුලින්ම ආයතනයට තමන් ගැන විශ්වාසයක් හා පැහැදීමක් ඇතිවන ලෙස හැසිරීම හා පිළිතුරු දීම සිදුකළ යුතු බවත් එහිදී ඔබගැන ඔවුන්ට පැහැදීමක් ඇති වුවොත් ඔබ ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු වුවත් ඔවුන් ඔබව රැකියාවට තෝරාගන්නා බවත් ප්‍රකාශ් තම අත්දැකීමෙන්ම පැවසුවේය.
"මම දැන් කරන රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණයට ගිය වෙලාවේ මම ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් කියලා මුලින්ම කිව්වේ නැහැ. මම කළේ මුලින්ම ඔවුන්ව Impress කරපු එක. අවසානයේදී තමයි මම ඔවුන්ට කිව්වේ මම ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් කියලා. හැබැයි ඒ වෙද්දී ඒ අය මාව රැකියාවට තෝරාගෙන අවසන්." යනුවෙන් ප්‍රකාශ් තම අත්දැකීම පැහැදිලි කළේය.

ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස Entry Level රැකියාවකට යාමට ඔස්ට්‍රේලියාව තුළ කළ යුත්තේ මොනවද?
තමන් ජාත්‍යන්තර ශිෂ්‍යයෙක් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණෙනවානම් තමන්ගේ පාඨ මාලාව සාර්ථකව කිරීම සහ හොඳට ඉගෙන ගැනීම ක්ෂේත්‍රයේ රැකියාවකට යාමට ඇති අවම සුදුසුකම බව ප්‍රකාශ් SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
ඊට අමතරව ස්වේච්ඡා සේවා කිරීම ඔස්ට්‍රේලියාව තුළ විශාල වශයෙන් අගය කිරීමට ලක්වන බවත් උසස් අධ්‍යාපනය ලබන අතරේ එවැනි ස්වේච්ඡා සේවාවල යෙදී තිබුණහොත් ඒවා රැකියා සම්මුඛ පරීක්ෂණයකදී අමතර වාසි ගෙන දෙන බවත් ඔහු සඳහන් කළේය.
ස්වේච්ඡා සේවා කරන විට තමන්ට හමුවන නිලධාරීන් තමන්ගේ අයදුම්පතේ Referee කෙනෙක් ලෙස සඳහන් කිරීමේ වාසියද ලැබෙන බව ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
ඊට අමතරව රැකියාවක් ලබාගැනීමට කොපමණ අයදුම්පත් ප්‍රමාණයක් යොමු කළත් Networking එකක් හෙවත් සාර්ථක පුද්ගල සම්බන්ධකම් ජාලයක් නැත්නම් ඔස්ට්‍රේලියාවේ බොහෝ රැකියා වලට යාමට ඉතා අපහසු බවද ප්‍රකාශ් හෙළිදරව් කළේය.
තමන්ට ඒ සඳහා LinkedIn වැනි සම්බන්ධතා මාධ්‍යක් ඵලදායී ලෙස භාවිත කළ හැකි බවත් ඔහු කියා සිටියේය.
නමුත් LinkedIn හරහා රැකියාවක් සෙවීමේදී බොහොම ප්‍රවේශම් විය යුතු බවත් ප්‍රකාශ් සඳහන් කළේය.
"තමන් අධ්‍යාපන ලබන ක්ෂේත්‍රයේ රැකියාවක් සොයා ගැනීමට යාමේදී ඒ හා අදාළ සමාගම්, ආයතන වල ප්‍රධානීන්ව හැකි තරම් තමන්ගේ LinkedIn ගිණුමට සම්බන්ධ කරගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන් එම ආයතන වල මානව සම්බන්ධතා අංශයේ ප්‍රධානීන්, අධ්‍යක්ෂවරු වැනි සම්බන්ධ කරගැනීම ඉතා වාසිදායකයි. හැබැයි ඔවුන්ගෙන් සෘජුවම රැකියාවක් තිබේදැයි ඇසීම නොකළ යුතුයි. ඒ වෙනුවට ඔවුන්ගේ ආයතන ගැන, එම විෂයයන් ගැන ඔවුන් සමග සාකච්ඡා කරන්න. ඒ හරහා ඔවුන් සමග හොඳ සම්බන්ධතාවක් තනාගෙන පසුව ඔබේ රැකියා අරමුණ කරා යන්න." යනුවෙන් ප්‍රකාශ් SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.

