ඔස්ට්‍රේලියාවේ සෑම දෙමාපියන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුම දිනපතා හෝ දිනක් හැර දිනක් මත්පැන් බොයි
කොරෝනා වසංගතය මැඩලීම සඳහා ඔස්ට්‍රේලියාව අක්‍රිය කිරීමට පටන්ගත් දා සිට සෑම දෙමාපියන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු දිනපතා හෝ දිනක් හැර දිනක් හෝ තම දරුවන් ඉදිරියේ මත්පැන් බීම ආරම්භ කර ඇති බව නවතම සමීක්ෂණයක් පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාව පුරාම නියෝජනය වන අයුරින් පුද්ගලයින් 1,000 ක් යොදාගනිමින් Alcohol සහ Drug පදනම විසින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.
මෙලෙස මත් පැන් බීමට ඇබ්බැහි වීමෙන් සිදුවන සෞඛ්‍ය පිරිහීම මෙන්ම දරුවන්ට ලබා දෙන වැරදි ආදර්ශය පිළිබඳ වැඩිහිටියන් වඩාත් සැලකිලිමත් විය යුතු බව Alcohol සහ Drug පදනමේ Erin Lalor පවසයි.
ඔබට මානසික පීඩනයක් හෝ කාංසාවක් දැනුණු විට මත්පැන් පානය බැහැර කරන ලෙසත් නැතිනම් තත්ත්වය තවත් දරුණු අතට හැරෙන බවත් ඇය පෙන්වා දෙයි.
යස අවුරුදු 9 ත් 12ත් අතර දරුවන් සිටින දෙමාපියන් වැඩිපුරම ඇල්කොහොල් පානය කරන බව එම සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.
මේ අතර සෑම ඔස්ට්‍රේලියානුවන් 7 දෙනෙකුගෙන්ම එක් අයෙකු තම ඇල්කොහොල් පරිභෝජනය වැඩි කර ඇතැයි ද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

අධික වේගයෙන් ධාවනය වුනු මෝටර් රථයක් සිඩ්නි නුවර මුස්ලිම් ඇඳුම් සාප්පුවකට කඩා වදියි
අධික වේගයෙන් ධාවනය වුනු station wagon වර්ගයේ මෝටර් රථයක් සිඩ්නි නුවර මුස්ලිම් ඇඳුම් සාප්පුවකට කඩා වැදීම නිසා පුද්ගලයෝ 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඊයේ දිනයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර මෝටර් රථය පැදවූ රියදුරා පොලිස් අත්අඩංගුවේ සිට අද නිදහස් කර තිබේ.
51 හැවිරිදි මෙම රියදුරු අනතුර සිදුවූ මොහොතේ Liverpool රෝහලට රැගෙන ගොස් අදාළ පරීක්ෂණ සිදු කර පසුව Bankstown පොලිස් ස්ථානයට රැගෙන ගොස් ඇත.
අනතුර සම්බන්ධව ඔහුව ප්‍රශ්න කර අද උදෑසන නිදහස් කළ බව වාර්තා වේ.
ඊයේ පස්වරු 3.10 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරින් සාප්පුව තුළ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ගේ අස්ථි බිදී ගොස් තුවාල ලබා ඇති බව සඳහන්.
තුවාල ලැබූ පිරිස වෙන් වෙන්ව රෝහල් කරා ගෙනගොස් ඇති බවද වාර්තා වේ.
මෙය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බවත් අධික වේගයෙන් අපරික්ෂාකාරීව රිය පැදවීම නිසා සිදුවූ අනතුරක් බවත් පොලීසිය පවසයි.

ඔස්ට්‍රේලියාවේ අසාධාරණ ලෙස සේවයෙන් නෙරපීම් වාර්තාගත ලෙස ඉහළ යයි
කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ අසාධාරණ ලෙස සේවයෙන් නෙරපීම් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එය ප්‍රතිශතයක් ලෙස 70% ක් දක්වා වන බව Fair Work කොමිසමේ සාමාන්‍යධිකාරීනී Bernadette O'Neill ඊයේ (21/05) පැවසුවාය.
ඔස්ට්‍රේලියානු ඉතිහාසය තුළ මෙවැනි අන්දමේ විශාල සංඛ්‍යාවක අසාධාරණ ලෙස සේවයෙන් නෙරපීම් වාර්තා නොවූ බවත් ඇය පෙන්වා දුන්නාය.
කොරෝනා වසංගතයත් සමග රැකියා සහ ආදායම් මාර්ග අහිමිවීම මත මෙවැනි සංඛ්‍යාවක් අපේක්ෂා කළ හැකි බවද පැවසේ.

ඔස්ට්‍රේලියානුවන්ගෙන් 20% ක් පමණ තමන්ට ජීවත් වීමට සරිලන ආදායමක් නොලබන බව හෙළිවෙයි
ඔස්ට්‍රේලියානුවන්ගෙන් 20% ක් පමණ තමන්ට ජීවත් වීමට සරිලන ආදායමක් නොලබන බව නවතම සමීක්ෂණයක් පෙන්වා දෙයි.
Per Capita නැමති බුද්ධි මණ්ඩලය විසින් නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.
කොරෝනා වසංගතයට පෙර සහ එය අතරතුරේ ඔස්ට්‍රේලියාවේ ඌන සේවා නියුක්තිය මගින් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සිදුවන හානිය පිළිබඳ සිදුකළ පර්යේෂණයක ප්‍රතිඵල ඔවුහු මෙලෙස නිකුත් කර ඇත.
පසුගිය අප්‍රේල් මාසයේ ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳපොලේ දත්ත ඔවුන් සලකා බලා ඇති අතර ඌන සේවා නියුක්තිය වර්ධනය වී ඇති අයුරු එයින් පෙනී ගොස් තිබේ.
ලක්ෂ 6 කට අධික පිරිසක් එලෙස ඌන සේවා නියුක්තියෙන් පෙළෙන බව ඔවුහු පෙන්වා දෙති.


