
This article is more than 4 years old
ඔස්ට්‍රේලියාවට Omicron පැමිණීම නිසා කොවිඩ් බූස්ටර් එන්නත ලබා ගැනීම අනිවාර්යද? (SBS සිංහල/ වාර්තා)
දකුණු අප්‍රිකාවෙන් මතුවූ නවතම කොවිඩ් ප්‍රභේදය වන Omicron ප්‍රභේදය මේ වන විට ලොව රටවල් 50 කට ආසන්න සංඛ්‍යාවකට පැතිරී තිබේ.
මෙම Omicron ප්‍රභේදය පිළිබඳ සැලකිල්ලෙන් සිටිය යුතු බවට ලෝක සෞඛ්‍ය සංවිධානයද අනතුරු අඟවා ඇත.
එවන් පසුබිමක කොවිඩ් බූස්ටර් එන්නත පිළිබඳ ඔස්ට්‍රේලියාවේ අවධානය දැඩිව යොමුවී තිබේ.
Highlights
- නවතම Omicron කොවිඩ් ප්‍රභේදයට එරෙහිව වත්මන් කොවිඩ් එන්නත් ආරක්ෂාව සපයනවාද යන්න සොයා බැලීමට විද්‍යාඥයෝ උත්සාහ ගනිමින් සිටිති.
- ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ලබාදීම පසුගිය ඔක්තෝබර් මාසයේදී ආරම්භ කෙරිණි.
- ඔස්ට්‍රේලියානුවන්ට පළමු බූස්ටර් එන්නත ලෙස ලබාගත හැක්කේ Pfizer එන්නත පමණි.
ඔස්ට්‍රේලියාවේ භාවිතය සඳහා දෙවන කොවිඩ් බූස්ටර් එන්නත ද ඔස්ට්‍රේලියාවේ ඖෂධ හා චිකිත්සක නියාමන අධිකාරිය තාවකාලිකව අනුමත කර තිබේ.
කොවිඩ් එන්නත ලබාගත් ඔස්ට්‍රේලියාවේ සෑම අයෙකුම කොවිඩ් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ඉල්ලා සිටියි.
කෙසේවෙතත්, නව Omicron ප්‍රභේදය ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමග ඔස්ට්‍රේලියාවේ කොවිඩ් බූස්ටර් එන්නත පිළිබඳ ඔබ දැනගත යුතු තොරතුරු පිළිබද මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
බූස්ටර් එන්නත් කෙතරම් ඵලදායීද?
නවතම Omicron කොවිඩ් ප්‍රභේදයට එරෙහිව වත්මන් කොවිඩ් එන්නත් ආරක්ෂාව සපයන්නේද නැද්ද යන්න සොයා බැලීමට විද්‍යාඥයන් මේ වන විට උත්සාහ ගනිමින් සිටියි.
කෙසේවෙතත්, ඩෙල්ටා ප්‍රභේදය සම්බන්ධයෙන් ගත් කල කොවිඩ් එන්නත් විසින් ආසාදිතයින් බරපතල රෝහල්ගතවීම් සහ මරණයට පත්වීම්වලට එරෙහිව ඉහළ මට්ටමේ ආරක්ෂාවක් නොකඩවා පවත්වා ගෙන ගියේය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරි නැවත විවෘත කරමින් යන අවස්ථාවේදී මුව ආවරණ පැළඳීම, දුරස්ථභාවය වැනි වෙනත් මහජන සෞඛ්‍ය නීති රීති තවමත් අවශ්‍ය වනු ඇති බව මොනෑෂ් විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා ව්‍යාධි විද්‍යා අංශයේ ආචාර්ය Emily Edwards පැවසුවාය.
නමුත් බූස්ටර් එන්නත් ද ඇතුළුව කොවිඩ් එන්නත් වල සඵලතාවය තවමත් ඉහල මට්ටමක පවතී.
ඔබ කොවිඩ් එන්නත දැනටම ලබාගෙන ඇත්නම් එන්නත ලබා නොගත් අයෙකුට වඩා ඔබ එයින් ආරක්ෂා වීමට වැඩි ඉඩක් ඇති බවද ආචාර්ය Emily Edwards පැවසුවාය.
ඒවායේ යම් අවදානම් හෝ අතුරු ආබාධ තිබේද?
කොවිඩ් බූස්ටර් එන්නත් ලෙස පෙර මාත්‍රාවලදී භාවිතා කරන ලද එන්නත්ම භාවිතා කරන බැවින්, එම අතුරු ආබාධම නිරීක්ෂණය කළ හැකි බවට අපේක්ෂා කෙරේ.
නමුත් ලොව පුරා සෞඛ්‍ය බලධාරීහු ඒවායේ කිසියම් දිගු කාලීන බලපෑම් තිබේදැයි සමීපව නිරීක්ෂණය කරති.
එක්සත් රාජධානිය වැනි රටවල් ඔස්ට්‍රේලියාවට වඩා කොවිඩ් එන්නත්කරණයේදී මාස 6 ක් පමණ ඉදිරියෙන් සිටින බවත් එනිසා ඔවුන්ගෙන් කොවිඩ් බූස්ටර් එන්නත් පිළිබඳ විස්තර ඔස්ට්‍රේලියාවට ලබාගත හැකි බවත් ආචාර්ය Edwards පැවසුවාය.
මේ අතර ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්ට තුන්වන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාදීමේදී ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳ අත්හදා බැලීම් සිදු කර ඇති බව ආචාර්ය Quinn පැවසුවාය.
මෑතකදී සිදුකළ අධ්‍යනයකින් තුන්වන එන්නත් මාත්‍රාව ලබා ගත් ඉන්ද්‍රියයන් බද්ධ කරන්නන් නිරීක්ෂණය කරන ලදී.
ඔවුන්ට තුන්වන එන්නත් මාත්‍රාව ලබාගැනීමේ මනා ප්‍රයෝජනයක් තිබූ බව එයින් හෙළිවූ බව ද ඇය සඳහන් කළාය.

ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ලබාගත හැක්කේ කාටද?
ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ලබාදීම පසුගිය ඔක්තෝබර් මාසයේදී ආරම්භ කෙරිණි.
එහිදී බූස්ටර් එන්නත ලබාගැනීමට වඩාත් දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධති සහිත ලක්ෂ 5 ක පමණ පිරිසක් ඇතුළත් ප්‍රමුඛතා ඛාණ්ඩ කිහිපයක් මධ්‍යම රජය විසින් නම් කරන ලදී.
මාරාන්තික පිළිකා ඇති පුද්ගලයින්, ඉන්ද්‍රිය බද්ධ කිරීම් සහ ප්‍රතිශක්ති ඌනතා ඇති පුද්ගලයින් ඒ අතරින් ප්‍රධාන වේ.
ප්‍රථමික කොවිඩ් එන්නත්කරණයේ දෙවැනි කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා මාස 6 කින් පසුව වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයෙකුට මෙම කොවිඩ් බූස්ටර් එන්නත ලබාගත හැකිය.
ප්‍රතිශක්තිකරණයේ අඩුවීමක් හෝ දුර්වලවීමක් වැනි සුවිශේෂී අවස්ථාවන්හිදී, එම කාල පරතරය සති හතරක් දක්වා අඩු කළ හැකිය.
ප්‍රතිශක්තීකරණ පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම විසින් වයස 12 ත් 17 ත් අතර ළමුන්ට කොවිඩ් බූස්ටර් එන්නත අනුමත කර නැත.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
බූස්ටර් එන්නත ලෙස ඔබ ලබාගත යුත්තේ කුමක්ද?
ඔස්ට්‍රේලියානුවන්ට පළමු බූස්ටර් එන්නත ලෙස ලබාගත හැක්කේ Pfizer එන්නත පමණි.
දෙවැනි බූස්ටර් එන්නත ලෙස Moderna එන්නතට මේ වන විට තාවකාලික අනුමැතිය හිමිවී තිබේ.
ඒ අනුව කොවිඩ් එන්නතේ පළමු මාත්‍රා දෙක ඔබ කුමන එන්නතකින් ලබාගත්තද පළමු බූස්ටර් එන්නත ලෙස Pfizer එන්නත ලබාගැනීමට සිදුවේ.
පළමු මාත්‍රා දෙකම AstraZeneca එන්නත ලබාගත් අයට බූස්ටර් එන්නත ලෙස AstraZeneca එන්නත ලබාගත හැකි නමුත් ප්‍රතිශක්තීකරණ පිළිබඳ ඔස්ට්‍රේලියානු තාක්ෂණික උපදේශක කණ්ඩායම එයට එතරම් කැමැත්තක් නොමැත.
නමුත් පළමු මාත්‍රා ලෙස Pfizer එන්නත ලබා බරපතල ලෙස අතුරු ආබාධ ඇතිවූ යට බූස්ටර් එන්නත ලෙස AstraZeneca එන්නත ලබාගත හැකිය.

ඔස්ට්‍රේලියාවේ බූස්ටර් එන්නත ලබාගැනීමට වේලාවක් වෙන්කරවාගන්නේ කෙසේද?
බූස්ටර් එන්නත ලබාගැනීමට සුදුසු පුද්ගලයින්ට තමන්ගේ වෛද්‍යවරයා හරහා එය ලබාගැනීමට වේලාවක් වෙන්කරවාගත හැකිය.
එමෙන්ම ඔබට මධ්‍යම රජයේ Vaccine Clinic Finder වෙබ් අඩවිය හරහාද ඒ සඳහා වේලාවක් වෙන්කරවාගත හැකිය.
