ඔස්ට්‍රේලියාවේ සංගණනය සම්පූර්ණ කිරීමට නොහැකිවූ පුද්ගලයින්ට ඒ සඳහා සතියක අමතර කාලයක් (SBS සිංහල/ වාර්තා)

ඔබ සංගණනය සම්පූර්ණ නොකළහොත් ඔබට එරෙහිව නඩු පවරන අතර දිනකට ඩොලර් 222 දක්වා දඩ නියම කළ හැකි බවද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ විස්තර කෙරේ.

Shuli Gao (R) helps Yunqin Zin (L) fill in her census form

Shuli Gao (R) helps Yunqin Zin (L) fill in her census form Source: Getty Images

2021 වසරේ ඔස්ට්‍රේලියාවේ ජාතික සංගණනය පසුගිය අගෝස්තු 10 වනදා අඟහරුවාදා ක්‍රියාත්මක කෙරිණි.

නමුත් එදින සංගණනය සඳහා තම තොරතුරු ඇතුළත් කිරීමට නොහැකිවූ පිරිස් වෙත එම කාර්යය සම්පුර්ණ කිරීමට තවත් සතියක අමතර කාලයක් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් ලබා දී තිබේ.


Highlights

  • අගෝස්තු 10 වනදා සංගණන රාත්‍රියේදී සංගණන පෝරමය පිරවීමට නොහැකිවූ පුද්ගලයින් හට සතියක අමතර කාලයක් ලබාදී තිබේ.
  • සංගණන තොරතුරු ලබා නොදුන් නිවැසියන් සිටී නම් ඔවුන්ට ඉදිරි දිනවලදී එම තොරතුරු ලබාදෙන ලෙසට සිහි කැඳවීමේ ලිපියක් ලැබෙනු ඇත.
  • නැතහොත් ආරක්ෂිතව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ක්ෂේත්‍ර නිලධාරීන් ඔබේ නිවසට පැමිණ එම සිහි කැඳවීම කරනු ඇත.

සංගණන පෝරමය පිරවීමට තවත් සතියක කාලයක්

අගෝස්තු 10 වනදා සංගණන රාත්‍රියේදී මෙවර සංගණන පෝරමය පිරවීමට නොහැකිවූ පුද්ගලයින් හට මෙලෙස සතියක අමතර කාලයක් ලබාදීමෙන් ඔවුන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලට මහත් පහසුවක් වනු ඇති බව මෙවර ඔස්ට්‍රේලියානු ජාතික සංගණනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනි Teresa Dickinson පැවසුවාය.

සංගණන තොරතුරු ලබා නොදුන් නිවැසියන් සිටී නම් ඔවුන්ට ඉදිරි දිනවලදී එම තොරතුරු ලබාදෙන ලෙසට සිහි කැඳවීමේ ලිපියක් ලැබෙනු ඇතැයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

නැතහොත් ආරක්ෂිතව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ක්ෂේත්‍ර නිලධාරීන් ඔබේ නිවසට පැමිණ එම සිහි කැඳවීම කරනු ඇත.

ඊට පසුව ලැබුණු සංගණන තොරතුරු සලකා බැලීමේ සහ විශ්ලේෂණය කිරීමේ දැවැන්ත කාර්යය ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව මෙවර ලබාගත් සංගණන තොරතුරු ආශ්‍රයෙන් විශ්ලේෂණය කළ පළමු සංගණන දත්ත සමූහය 2022 වසරේ ජුනි මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂිතය.

අගෝස්තු 10 දා සංගණන රාත්‍රියේදී ඔබ ඔබේ සංගණන පෝරමය පුරවා යොමු නොකළහොත් ඔබට දඩ මුදලක් නියම නොකරන නමුත් සිහි කැඳවීමක් ලැබීමෙන් පසුව සංගණනය සම්පූර්ණ කිරීම ප්‍රතික්ෂේප කළහොත් හෝ අසම්පූර්ණ පෝරමයක් යොමු කළහොත් ඔබට දඩ නියම කළ හැකි බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

ඔබ සංගණනය සම්පූර්ණ නොකළහොත් ඔබට එරෙහිව නඩු පවරන අතර දිනකට ඩොලර් 222 දක්වා දඩ නියම කළ හැකි බවද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය නිකුත් කළ නිවේදනයේ විස්තර කෙරේ.

විවිධ භාෂා වලින්ද සහය

මෙවර ඔස්ට්‍රේලියානු ජාතික සංගණනය පිරවීම සඳහා විවිධ භාෂා වලින් අමතර සහයක්ද ලබාදී තිබේ.

සංගණන පෝරමය ඉංග්‍රීසියෙන් පමණක් ලියා ඇති නමුත් ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ වෙබ් අඩවිය සහ සමාජ මාධ්‍ය තුළ භාෂා 29 කින් ඒ පිළිබඳ තොරතුරු ලබා ගත හැකි බව ඔස්ට්‍රේලියානු ජාතික සංගණනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනි Teresa Dickinson පැවසුවාය.

මේ අතර ජාතික පරිවර්තන සේවාව හරහා ජනතාවට interpreter හෙවත් භාෂණ පරිවර්තකවරයෙකු ගේ සහයද මේ සඳහා ලබාගත හැකිය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


සංගණන තොරතුරු පිරවීම

මෙය ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට හෝ ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි ලාභීන්ට පමණක් සහභාගී වීමට ඇති කාර්යයක් නොවේ.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජාත්‍යන්තර සිසුන්, තාවකාලික වීසා ලාභීන්, සංචාරක වීසා ලාභීන්, කුඩා දරුවන් වැනි සියලුම පුද්ගලයින්ට මේ සඳහා සහභාගී විය හැකිය.

නමුත් සංගණන රාත්‍රියේ ඔස්ට්‍රේලියාවෙන් බැහැරව සිටින ඔස්ට්‍රේලියානු පදිංචිකරුවන් මෙයට ඇතුළත් නොවේ.

එමෙන්ම ඔස්ට්‍රේලියාවේ වෙසෙන විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුල්වල උදවියටද මේ සඳහා සහභාගී විය නොහැකිය.

අගෝස්තු 10 වන දා ඔබේ නිවසේ සිටි සෑම පුද්ගලයෙකුම මෙම සංගණනය සඳහා ඇතුළත් කළ යුතුය.

ඔබේ පරම්පරාව පිළිබඳවද සංගණනයේදී තොරතුරු පිරවීමට සිදුවේ.

එමෙන්ම නිවසේදී කතා කරන භාෂාව පිළිබඳවද එහිදී අසනු අතර ඒ සඳහා "සිංහල" යනුවෙන් ඇතුල් කිරීමට වගබලාගන්න.


Share

3 min read

Published

Updated

By Amelia Dunn, Madhura Seneviratne




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now