ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය ඔස්ට්‍රේලියාවේ අවශ්‍යතා සපුරාලන්නේ නැති බව දීර්ග කාලයකට පසුව ඒ පිළිබඳ කරන ලද සමාලෝචනයකින් අනාවරණය කරගෙන තිබෙනවා.
පිටු 186 කින් යුත් මෙම සමාලෝචන වාර්තාවේ ප්‍රධාන නිර්දේශ කිහිපයක් පසුගිය අප්‍රේල් 27 වනදින ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Clare O'Neil විසින් හෙළිකළා.
එම සමාලෝචනයට අනුව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතිය සහ වීසා සඳහා සැපිරිය යුතු අවශ්‍යතා සහ සුදුසුකම් සංශෝධනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් බවත් මේ වන විටත් ඇතැම් තීරණ ගෙන ඇති බවත් ඇය ප්‍රකාශ කළා.
ඒ අනුව 2023-24 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියානු වීසා සහ සංක්‍රමණ පද්ධතියේ සිදු කිරීමට යන වෙනස්කම් පිළිබඳ මේ වන විට හෙළිවී ඇති කරුණු පිළිබඳ දැන් අවධානය යොමු කරමු.
ශිෂ්‍ය වීසා සඳහා සිදු කෙරෙන සංශෝධන
කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ ඇතිවූ ශ්‍රම හිඟය පියවා ගැනීම පිණිස පසුගිය කාලයේ ශිෂ්‍ය වීසා ලාභීන්ට රැකියා කිරීම සඳහා පනවා තිබුණු පැය ගණනේ සීමාව ඉවත් කරනු ලැබුවා.
ඒ හරහා ප්‍රාථමික සහ ද්විතීයික ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන්ට සති දෙකකට පැය 40 ක සාමාන්‍ය සීමාවට වඩා රැකියා කිරීමට හැකි වුණා.
නමුත් ජුලි 1 සිට, ශිෂ්‍ය වීසා සඳහා රැකියා කිරීමේ පැය ගණනේ සීමාවන් නැවත හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබෙනවා.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඒ අනුව 2023 ජූලි 01 සිට ශිෂ්‍ය වීසා ලාභීන්ට දෙසතියකට පැය 48 ක් පමණක් රැකියා කිරීමට අවසර ලැබෙනවා.
මේ අතර 2023 ජූලි 01 සිට 485 වීසා උප ඛාණ්ඩයේ තාවකාලික උපාධි වීසා බලපත්‍ර දරන්නන්ට ඔස්ට්‍රේලියාවේ වැඩි කාලයක් රැඳී සිටීමට ද හැකියාව ලැබෙනවා.
ඒ අනුව සාමාන්‍ය උපාධිධාරීන් සඳහා වසර හතරක කාලයක්ද, ශාස්ත්‍රපති උපාධිධාරීන් සඳහා වසර පහක කාලයක්ද සහ ආචාර්ය උපාධිධාරීන් සඳහා වසර හයක කාලයක්ද ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවසර ලැබෙනු ඇති.

වීසා අනුග්‍රහය ලබන සංක්‍රමණිකයින්ගේ වැටුප් සීමාව ඉහළ දැමීම
2023 ජුලි 1 සිට වීසා අයදුම්කරුවෙකුට ඔස්ට්‍රේලියාවේ සේවා යෝජකයෙකුගෙන් වීසා සඳහා අනුග්‍රහය ලබා ගැනීමේදී අදාළ වීසා ලාභියාට ගෙවිය යුතු අවම වැටුප ඉහළ දැමීමට මධ්‍යම රජය තීරණය කර තිබෙනවා.
Temporary Skilled Migration Income Threshold හෙවත් TSMIT ලෙස මෙය හඳුන්වනවා.
එය දශකයක පටන්ම $53,900 මට්ටමේම පවතින අතර කිසිදු වැඩි කිරීමක් සිදුවී නැහැ.
නමුත් එම වැටුප 2023 ජුලි 1 සිට වසරකට $70,000 දක්වා ඉහළ දැමීමට මධ්‍යම රජය තීරණය කර තිබෙනවා.
තාවකාලික වීසාවල සිටින පුහුණු ශ්‍රමිකයන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක් විවර කරදීම
ඔස්ට්‍රේලියාවේ තාවකාලික වීසාවල සිටින සියලුම පුහුණු සේවකයින්ට මෙම වසර අවසන් වන විට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට මාර්ගයක් සකසා දෙන බව ද ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil නිවේදනය කළා.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා වන අයදුම්පත් වඩාත් තරඟකාරී වනු ඇති බවත් එයින් විශාල පිරිසකට ස්ථිර පදිංචිය දීමක් අදහස් නොකරන බවත් ඇය පහැදිලි කළා.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව අහිමි වූ තාවකාලික සේවකයින් පිරිසක් සිටින අතර ඔවුන්ට මේ හරහා අවස්ථාව ලැබෙන බව ද අමාත්‍යවරිය සඳහන් කළා.
2007 වසරේ සිට ඔස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණය දෙගුණ වී ඇති අතර දැනට ඕස්ට්‍රේලියාවේ තාවකාලික සංක්‍රමණිකයන් මිලියන 2.1 ක් පමණ සිටින බව වාර්තා වෙනවා.

සංක්‍රමණික ලකුණු ක්‍රමය වෙනස් කිරීම
ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න තීරණය කිරීමට භාවිතා කරන සංක්‍රමණික ලකුණු ක්‍රමය වෙනස් කළ යුතු බවද අදාළ සමාලෝචනය පෙන්වා දී තිබෙනවා.
දැනට ක්‍රියාත්මක සංක්‍රමණික ලකුණු ක්‍රමය හරහා සෑම විටම හොඳම අපේක්ෂකයින් තෝරා නොගන්නා බව ද එම සමාලෝචනය පෙන්වා දී තිබෙනවා.
වීසා වර්ග ප්‍රමාණය අඩු කිරීම
ඔස්ට්‍රේලියාවේ වත්මන් සංක්‍රමණ ක්‍රමය ඉතා මන්දගාමී සහ සංකීර්ණ එකක් බවත් එනිසාම ඒවා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහනේ ගුණාත්මක භාවයට පැහැදිලිවම බලපා ඇති බවත් මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil සඳහන් කළා.
ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතියේ වීසා වර්ග ප්‍රමාණය අනවශ්‍ය ලෙස සංඛ්‍යාත්මකව වැඩි බවත් ඇය පැවසුවා.
ඔස්ට්‍රේලියානු සංක්‍රමණ පද්ධතියේ දැනට ඇති 100 කටත් වඩා වැඩි වීසා වර්ග ගණනාවක් අහෝසි කර වීසා වර්ග අඩු ප්‍රමාණයක් පද්ධතිය තුළ ක්‍රියාත්මක කිරීමට වත්මන් කම්කරු පක්ෂ රජය අපේක්ෂා කරන බව ද අමාත්‍යවරිය පැවසුවා.

නවසීලන්ත ජාතිකයින් සඳහා ඔස්ට්‍රේලියානු පුරවැසිබව ගැනීමට මාර්ගයක් විවෘත කිරීම
2023 ජූලි 01 සිට වසර හතරක් හෝ ඊට වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ ජීවත් වන නවසීලන්ත ජාතිකයින් ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා සෘජුවම අයදුම් කිරීමට සුදුසුකම් ලබන බව මධ්‍යම රජය නිවේදනය කළා.
ඒ අනුව ඔවුන්ට තවදුරටත් ස්ථිර වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට සහ ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ.
2001 පෙබරවාරි 26 ට පසු මෙහි පැමිණි 444 උප ඛාණ්ඩයේ වීසා හිමි නවසීලන්ත පුරවැසියන්ට මෙම වෙනස්කම් අදාළ වනවා.
එමෙන්ම 189 වීසා බලපත්‍රයේ නවසීලන්ත ප්‍රවාහය දැනට නව අයදුම්පත් සඳහා වසා ඇති අතර එය 2023 ජුලි 1 දින සිට ස්ථිරවම වසා දමනු ඇති.








