වසර දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබුණු ඔස්ට්‍රේලියාවේ දේශ සීමා අද (21/02) සිට ජාත්‍යන්තර සංචාරකයින්ට සම්පුර්ණයෙන් විවෘත කෙරුණි.
ඒ අතරේ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සෑම පුද්ගලයෙකුම පිරවිය යුතු Australia Travel Declaration හෙවත් ඔස්ට්‍රේලියානු සංචාරක ප්‍රකාශයේ ද වෙනසක් සිදුකර තිබේ.
Highlights
- 2022 පෙබරවාරි 18 න් පසුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සෑම පුද්ගලයෙකුම Digital Passenger Declaration හෙවත් DPD එකක් යොමු කළ යුතුවේ.
- ඔස්ට්‍රේලියාවට ඇතුළු වන සෑම සංචාරකයෙක්ම ඔවුන් ඔස්ට්‍රේලියාවට ගමන් කිරීමට පැය 72කට පෙර ඔස්ට්‍රේලියානු සංචාරක ප්‍රකාශයක් සම්පූර්ණ කළ යුතුය.
- ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඔබගේ ගුවන් යානයට ගොඩවීමට පෙර සහ ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළට පැමිණි විට ඔබගේ සංචාරක ප්‍රකාශය ඉදිරිපත් කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනු ඇත.
ඔස්ට්‍රේලියානු සංචාරක ප්‍රකාශයේ අලුත් වෙනසක්
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සෑම පුද්ගලයෙකුම Australia Travel Declaration එකක් හෙවත් ඔස්ට්‍රේලියානු සංචාරක ප්‍රකාශයක් පිරවිය යුතු වේ.
2022 පෙබරවාරි 18 තෙක් අදාළ මගීන් Australia Travel Declaration හෙවත් ATD එකක් පිරවිය යුතුව තිබූ නමුත් 2022 පෙබරවාරි 18 න් පසුව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සෑම පුද්ගලයෙකුම Digital Passenger Declaration හෙවත් DPD එකක් යොමු කළ යුතුවේ.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ඔස්ට්‍රේලියාවේ ඔබව සම්බන්ධ කරගැනීමට අදාළ තොරතුරු, ඔබේ ගුවන් ගමන් විස්තර, නිරෝධායන අවශ්‍යතා සහ ඔබේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු මෙම සංචාරක ප්‍රකාශය හරහා එකතු කරගනියි.
මෙම තොරතුරු ඔස්ට්‍රේලියානු ප්‍රජාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා කොවිඩ් ආශ්‍රිතයින් සොයාගැනීමට සහ නිරෝධායන සැලසුම් කළමනාකරණය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට උපකාර කරයි.

මෙය ක්‍රියාත්මක වෙන්නේ කෙසේද?
ඔස්ට්‍රේලියාවට ඇතුළු වන සෑම සංචාරකයෙක්ම ඔවුන් ඔස්ට්‍රේලියාවට ගමන් කිරීමට පැය 72කට පෙර ඔස්ට්‍රේලියානු සංචාරක ප්‍රකාශයක් සම්පූර්ණ කළ යුතුය.
ඔබේ එම සංචාරක ප්‍රකාශය සාර්ථකව ඉදිරිපත් කිරීම ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට ඔබට අවසර ලබාදීම 100% ක් සහතික නොකරන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
තමන් වෙනුවෙන් මෙම සංචාරක ප්‍රකාශ එකතු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් බලය පවරන ලද SITA ආයතනය විසින් මෙම සේවාව ක්‍රියාත්මක කරයි.

ඔබේ ඔස්ට්‍රේලියානු සංචාරක ප්‍රකාශනය යොමු කිරීම
01. ගිණුමක් විවෘත කරන්න
ඔබේ ඔස්ට්‍රේලියානු සංචාරක ප්‍රකාශය යොමු කිරීමට ඔබට ඒ සඳහා වෙන්වූ ගිණුමක් නිර්මාණය කිරීමට අවශ්‍ය වනු ඇත.
ඔබගේ වර්තමාන සහ අනාගත සංචාරක ප්‍රකාශයන් එක් ස්ථානයක සිට කළමනාකරණය කිරීමට ඔබට මෙම ගිණුම භාවිතා කළ හැකිය.
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ මෙම පිටුවට පිවිසීමෙන් එලෙස ගිණුමක් විවෘත කිරීමට ඔබට හැකිය.
02. ඔබගේ ප්‍රකාශය යොමු කිරීම
සෑම සංචාරක ප්‍රකාශයක්ම තනි භාවිතය සඳහා පමණි.
සංචාරක ප්‍රකාශනයේ නම් කර ඇති සංචාරකයා සඳහා එය වලංගු වන්නේ එක් ගුවන් ගමනකට හෝ සංචාරයකට පමණි.
ඔබ ඔබේ පවුලේ අය සමඟ හෝ කණ්ඩායමක් සමඟ ගමන් කරන්නේ නම් අදාළ කණ්ඩායමේ එක් එක් සංචාරකයා සඳහා ඔබ තනි ප්‍රකාශයන් යොමු කළ යුතුය.
03. ඔබගේ ප්‍රකාශ කළමනාකරණය කිරීම
ඔබගේ සංචාරක ප්‍රකාශය සම්පුර්ණ කිරීමෙන් පසු, ඔබේ ගුවන් යානයට ගොඩවීමට පෙර සහ ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර එම ප්‍රකාශය පෙන්වීමට ඔබට ඊමේල් පණිවිඩයක් ලැබෙනු ඇත.
එය අදාළ බලධාරීන්ට අවශ්‍ය වූ විට මුද්‍රිත හෝ විද්‍යුත් වශයෙන් වශයෙන් පෙන්වීමට ඔබට අවස්ථාව ලැබේ.
නැතිනම් ඔබගේ ගිණුමට log වී එය හරහා එම සංචාරක ප්‍රකාශය අදාළ බලධාරීන්ට පෙන්වීමටද ඔබට හැකිය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ඔබගේ ඔස්ට්‍රේලියානු සංචාරක ප්‍රකාශය භාවිතා කිරීම
ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඔබගේ ගුවන් යානයට ගොඩවීමට පෙර සහ ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළට පැමිණි විට ඔබගේ සංචාරක ප්‍රකාශය ඉදිරිපත් කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනු ඇත.
එනිසා එම අවස්ථාහිදී ඔබගේ ඔස්ට්‍රේලියානු සංචාරක ප්‍රකාශය ඉදිරිපත් කිරීමට එය ආරක්ෂිතව තබාගන්නා ලෙස ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.














