ඔස්ට්‍රේලියාවේ මෝටර් රථයක් තවත් රථයක ගැටීමෙන් පසු නතර නොකිරීම වරදකි.
රිය අනතුරකින් පසු කළ යුතු පළමු දෙය නම්, ඊට මුහුණ දුන් සියලු දෙනා ආරක්ෂිත බව සහතික කිරීම සහ කිසිවෙකුට ක්ෂණික වෛද්‍ය ආධාර අවශ්‍ය නොවන බව තහවුරු කිරීමය.
ඔබ ඔබේ මෝටර් රථය තුළ ආරක්ෂිත බවත්, අනෙක් පුද්ගලයින් ආරක්ෂිත බවත් සහතික කර ගන්න. ඔබේ සහ අනෙකුත් වාහන අවට අනතුරුදායක දැයි සොයා බැලීමද එයට ඇතුළත් වෙනවා ” නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Traffic and Highway Patrol Command හි පොලිස් සැරයන් Scott Stafford පැවසීය.
“ඔබ ඔබේ මෝටර් රථය වටේ ඇවිදිනවා නම්, ඔබ අවට තිබෙන දේ ගැන විමසිල්ලෙන් සිටින්න. රථය සහ වටපිටාව ආරක්ෂිත නම්, අනතුරට හසුවූ පාර්ශව අතර තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා වාහන ප්‍රධාන මාර්ගයෙන් ඉවතට හෝ ආරක්ෂිත ස්ථානයකට ගෙන යන්න." ලෙසද ඔහු පහැදිලි කළේය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
යමෙකුට තුවාල සිදුවුවහොත්, උපකාර සඳහා ඔබ වහාම 000ය ඇමතිය යුතු අතර ඔබට හැකි නම් ප්‍රථමාධාර ලබා දිය යුතුය.
අනතුර විශාල එකක් වුවහොත් හදිසි සේවා ක්‍රියාකරුවන් විසින් ගිලන් රථයක් හෝ ගිනි නිවන සේවා වැනි සේවා අදාළ ස්ථානයට ගෙන්වා ගැනීම සඳහා පොලිසිය සහ අනෙකුත් අදාළ සේවාවන් අමතනු ඇත.
රිය අනතුරකදී ඊට මුහුණ දුන් ඕනෑම අයෙකු වාහනයේ සිරවී සිට්‍යහොත් හෝ මිය ගිය විට හෝ තුවාල වූ විට හෝ රියදුරෙකු මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවා ඇත්නම් හෝ ඔවුන්ගේ තොරතුරු හුවමාරු කරගැනීමට අකමැති වීම හෝ හුවමාරු කර ගැනීමට අපොහොසත් වී ඇත්නම් එම රිය අනතුර විශාල අනතුරක් ලෙස සලකන බව පොලිස් සැරයන් Scott Stafford පැවසීය.
මාර්ගයේ අනතුරක් ඇති විට, ගමනාගමනයට බාධාවක් ඇති විට හෝ බර වාහනයක් සම්බන්ධ වුවහොත් පොලිසිය අනතුරට ලක්වන ස්ථානයකට පැමිණේ.
ආක්‍රමණශීලී හෝ ප්‍රකෝපකාරී පාර්ශ්වයක් නිසා එහිදී යමෙකු සැලකිය යුතු ලෙස පීඩාවට පත් වුවහොත් හෝ බියට පත් වුවහොත් පොලිසියට ද මැදිහත් විය හැකිය.
කෙසේ වෙතත්, කිසිවෙකුට තුවාල සිදු නොවන බොහෝ සුළු මෝටර් රථ ගැටීම් වලදී, පාර්ශ්වයන් ඔවුන් අතර ඇති ගැටළුව විසඳා ගැනීමට පෙළඹිය හැකිය.
පොලිසිය එම ස්ථානයට පැමිණීමට හෝ සුළු අනතුරු සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කිරීමට අවශ්‍ය නොවේ.
මෝටර් රථ දෙකම ධාවනය කළ හැකි මට්ටමේ ඇත්නම් ඔබ කෙටි සංවාදයක් පැවැත්වීමට සහ වාහන ලියාපදිංචි තොරතුරු සහ රියදුරු බලපත්‍ර විස්තර හුවමාරු කර ගැනීමට මාර්ගය අයිනේ නවතා තැබීමට ආරක්ෂිත ඉඩක් සෙවිය යුතුය.
“ඔබට වාහනවල ලියාපදිංචි අංක සමඟ එක් එක් වාහනයේ ඡායාරූපයක් ගත හැකිය. මෝටර් රථයේ හානිය පිළිබඳ ඡායාරූපයක් ගන්න, පසුව අනෙක් පුද්ගලයාගේ රියදුරු බලපත්‍රයේ ඡායාරූපයක් ගන්න, ඉන්පසු ඔබට සම්බන්ධතා අංකයක් ද ඉල්ලා සිටිය හැකිය. එබැවින්, සුළු අනතුරකදී එම සියලු විස්තර ඔබේ රක්ෂණ සමාගමට සපයන්න. පසුව අනතුරේ වැරදිකරු කවුරුන්ද යන්න සොයා බලනු ඇති අතර හානි [පිළිසකර කර ගැනීම සම්බන්ධයෙන් අනෙක් පාර්ශවය සම්බන්ධ කරගනු ඇත,”පොලිස් සැරයන් Scott Stafford පැවසීය.

පුද්ගලික මෝටර් රථ රක්ෂණයකින් වන්දි ගැනීම හෝ හිමිකම් පෑම
ඔබට පුද්ගලික මෝටර් රථ රක්ෂණයක් තිබේ නම්, අනතුර වාර්තා කිරීම සඳහා හැකි ඉක්මනින් ඔබේ රක්ෂණකරු සම්බන්ධ කර ගැනීමට ඔබට අවශ්‍ය විය හැකිය.
“ඔබ රක්ෂණ හිමිකම්පෑමක් කරන විට, ඔබ වරදක් නොකළේ නම්, ඔබට අනෙක් පාර්ශ්වයේ නම සහ ලිපිනය නොමැති නම්, ඔබේ රක්ෂණකරු අදාළ excess මුදල ගෙවීම ඔබට පවරයි. නමුත් බොහෝ විට ඔබට එම තොරතුරු තිබේ නම්, ඔවුන් එසේ නොකරනු ඇත. අනතුරට සම්බන්ධ ගැටලුවක් ඇත්නම් පසුව ප්‍රයෝජනවත් විය හැකි සාක්ෂිකරුවන් හෝ සීසීටීවී දර්ශන තිබේදැයි දන්වන්න, ”Financial Rights recommends හි ජ්‍යෙෂ්ඨ සොලිසිටර් Jane Foley නිර්දේශ කළාය.
කෙසේ වෙතත්, ඔබ පැහැදිලිවම වරදක් කර නොමැති නම් සහ අනෙක් පාර්ශ්වයට පුද්ගලික රක්ෂණයක් ඇත්නම්, ඔබට අනෙක් රියදුරුගේ රක්ෂණයෙන් ඔබට සිදුවූ හානිය පියවන ලෙස ඉල්ලා සිටිය හැකි බවත්, එබැවින් ඔබ ඔබේ රක්ෂණයෙන් හානිය සඳහා හිමිකම් පෑම නවතා ගත හැකි බවත් ඇය සඳහන් කළාය.
'හොඳම දේ ඔබේම මෝටර් රථය ඔබේම කාර්මිකයා වෙත ගෙන ගොස් එහි හානිය තක්සේරු කර ගැනීමයි. ඔබට මිල කැඳවීමකින් මිල ගණන් ලැබුණු පසු, ඒවා, ඡායාරූප සහ තක්සේරුව අනෙක් රියදුරුට යවන්න. එවිට අනෙක් රියදුරු එය ඔහුගේ හෝ ඇයගේ රක්‍ෂණකරු වෙත යවනු ඇති අතර එම රක්‍ෂණකරු ඔබව කෙලින්ම සම්බන්ධ කර ගනු ඇත."

අනෙක් පාර්ශ්වයේ රක්ෂණකරු ඔබේ මෝටර් රථය ඔවුන්ගේ කාර්මිකයා වෙත ගෙන යාමට ඔබව පොළඹවනු ඇත. ඔබ එසේ කළ යුතු නැත. ඔබට Quotations කිහිපයක් ලබා ගැනීමට අවශ්‍ය නැත. ඔබේ මෝටර් රථය බැලීමට හෝ පරීක්ෂා කිරීමට ඔවුන්ට අයිතියක් නැත. ජ්‍යෙෂ්ඨ සොලිසිටර් Jane Foley සඳහන් කළාය.
අනෙක් රියදුරුගේ රක්ෂණකරුගෙන් සෘජු ගෙවීමක් ලබා ගැනීමට, ඔබ ඔවුන්ට ඉල්ලීම් ලිපියක් යැවිය යුතු නමුත් රක්ෂණකරු මුදල සාකච්ඡා කිරීමට හෝ ඔබේ මිල ගණන් තක්සේරු කිරීමට එහිදී තීරණය කළ හැකි බව ද ඇය සඳහන් කළාය.
“ඔබ ඔබේ හානිය පියවා ගැනීම සඳහා ඉල්ලන මුදල ඩොලර් 15,000 ට වඩා අඩු නම් සහ අනෙක් රක්ෂණකරු සහයෝගය නොදක්වන්නේ නම්, ඔබට ඔවුන්ට එරෙහිව Australian Financial Complaints Authority හෙවත් ඔස්ට්‍රේලියානු මූල්‍ය පැමිණිලි අධිකාරියට පැමිණිල්ලක් කළ හැකිය. එය නොමිලේ, මාර්ගගත ආරවුල් විසඳීමේ යෝජනා ක්‍රමයක් වන අතර, ඔවුන් තීරණයක් ගෙන අවසානයේ පාර්ශවයන් අතර ගැටලුව විසඳීමට උත්සාහ කරනු ඇත
"අදාළ මුදල ඩොලර් 15,000ට වඩා වැඩි නම් සහ රක්ෂණකරු සාකච්ඡාවට නොපැමිණෙන්නේ නම්, ඔබ ඔවුන්ට ප්‍රාදේශීය උසාවියේදී නඩු පැවරිය යුතුය. නමුත් ඔබ එය කිරීමට පෙර, පුද්ගලික නීති උපදෙස් ලබා ගැනීමට මම තරයේ නිර්දේශ කරමි,” ලෙසද ජ්‍යෙෂ්ඨ සොලිසිටර් Jane Foley පැහැදිලි කළාය.

ඔබ වැරදිකරුනම්
ඔබ වරදක් කර ඇත්නම් සහ ඔබ ඔබේ වාහනය රක්ෂණය කර ඇත්නම්, අනතුරේ සිදුවූ හානිය පියව ගැනීම සඳහා ඔබේ රක්ෂණයෙන් ඉල්ලා සිටිය හැක.
කෙසේ වෙතත්, ඔබ වරදක් කර ඇත්නම් සහ ඔබේ වාහනය රක්ෂණය කර නොමැති නම්, ඔබට අලුත්වැඩියා කිරීම සඳහා අනෙක් පාර්ශවයේ මිල ගණන් කැඳවීම් සමඟ ඉල්ලුම් ලිපියක් ලැබෙනු ඇත. නමුත් සාකච්ඡා කර අදාළ මිල ගණන් වෙනස් කරගැනීමට ඉඩකඩ තිබේ.
"කළ යුතු හොඳම දෙය නම් ඡායාරූප සහ මිල ගණන් කැඳවීම් ඔබේම කාර්මිකයාට ඉදිරිපත් කර ඒ පිළිබඳ දෙවන මතය විමසීමයි. ඔබට ගෙවීමේ විධිවිධානයක් සාකච්ඡා කළ හැකිය, ඔබට එය කලින් ගෙවීමට නොහැකි නම්, සහ අඩු කර එකවර ගෙවීමට ඔබට ඉදිරිපත් විය හැකිය. නමුත් නැවතත්, මම ඔබට නීති උපදෙස් ලබා ගැනීමට නිර්දේශ කරනවා, ”ලෙස ඇය අවධාරණය කළාය.

අනිවාර්ය තෙවන පාර්ශවීය (CTP) රක්ෂණය
ඔබ රිය අනතුරකින් ශාරීරිකව හෝ මානසිකව තුවාල වී ඇත්නම්, ඔබට ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ අනිවාර්ය තෙවන පාර්ශවීය (CTP) රක්ෂණය සමඟ හිමිකම් පෑමක් කළ හැකිය.
මෝටර් රථ හිමියන් තම වාහන ලියාපදිංචි කිරීමේදී ඔවුන්ගේ CTP රක්ෂණ වාරික ගෙවයි.
CTP, වාහන අලුත්වැඩියා කිරීමට ගෙවන්නේ නැත, නමුත් එය දේපල හානි, සහ සිද්ධිය රැකියාවට සම්බන්ධ නොවේ නම් ප්‍රවාහන අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයින් සඳහා ප්‍රතිකාර වියදම ආවරණය කරයි.
වික්ටෝරියානු ප්‍රවාහන හා අනතුරු කොමිසම (TAC) යනු no-fault CTP රක්‍ෂණ ආයතනයකි. අනතුරට හේතුව කවුරුන් වුවද ප්‍රවාහන අනතුරුවලින් තුවාල ලැබූ වික්ටෝරියානුවන්ට TAC සහාය දක්වයි.
රැකියා ආශ්‍රිත රිය අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයන් ඒ වෙනුවට තම සේවායෝජකයාගේ රක්ෂණකරුගෙන් සේවක වන්දි හිමිකම් පෑමක් කළ යුතුය.
වැඩි විස්තර සහ සේවා
- New South Wales State Insurance regulatory Authority
- Victoria Transport Accident Commission
- Northern Territory (TIO) Territory Insurance Office
- Queensland Motor Accident Insurance Commission
- South Australia CTP Insurance Regulator
- Tasmania Motor Accidents Insurance Board
- Western Australia Insurance Commission of Western Australia
- Financial Rights Motor Vehicle Problem Solver





