විලාසිතාවකට එහා ගිය ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවට අනන්‍ය වූ ඇඳුම් විලාසිතා ගැන තොරතුරු මෙන්න

AUSTRALIA EXPLAINED - INDIGENOUS FASHION

Back in Blak Runway 2025 Source: AFP / WILLIAM WEST

ඔස්ට්‍රේලියාවට පැමිණි මුල්කාලයේ බොහෝදෙනා ඔස්ට්‍රේලියාවේ විලාසිතාවල නොදකින පැතිකඩක් තිබෙනවා. ඒ තමයි ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවට අනන්‍ය වූ ඔවුන්ගේ ඇඳුම් විලාසිතා. අබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍රසන්ධි දූපත් වැසියන්ට ඔවුනට අනන්‍ය වූ ඇඳුම් විලාසිතා සහ විවිධ මෝස්‌තර රටා වසර දහස් ගණනක් ඉඳන් පවතිනවා. එම නිර්මාණ අදටත් ජීවමානව පවතිනවා. ඒ වගේම මේ නිර්මාණ එදිනෙදා භාවිතාවෙන ඇඳුම් විලාසිතා සඳහාත් භාවිතා වෙනවා අපිට දැකගන්නට පුළුවන්. ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව සතු ඔවුනට අනන්‍ය වූ මේ ඇඳුම් විලාසිතා ගැන තොරතුරු අද මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා.


යටත් විජිතකරණයට පෙර, ඔස්ට්‍රේලියාවේ ස්වදේශික ජනතාව ඔවුන්ගේ දේශගුණයට සහ සංස්කෘතියට ගැලපෙන ඇඳුම් නිර්මාණය කලා. ඔවුන් බොහෝ විට ඇඳ සිටි ඇඳුම් පැළඳුම් වලින් ඔවුන්ගේ අනන්‍යතාවය සහ මේ භූමිය සමඟ ඔවුනට ඇති සම්බන්ධය පෙන්නුම් කළා. යටත් විජිත සමයේ වසර ගණනාවක් තිස්සේ, බටහිර ඇඳුම් පැළඳුම් පාසල් පද්ධතිය හරහා මෙන්ම රජයේ ප්‍රතිපත්ති හරහාද ප්‍රවර්ධනය කල නිසා, ආදිවාසී සහ ටෝරස් සමුද්‍ර සන්ධි දූපත් වැසියන්ගේ විලාසිතා ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල දක්නට නොලැබුණා. කොහොම උනත්, මේ ප්‍රජාවන් ඔවුන්ගේ සංස්කෘතික ඇඳුම් සම්ප්‍රදායන් දිගටම පවත්වාගෙන ගියා. ඉන්පසුව පසුගිය දශකය තුළ ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාවගේ විලාසිතා වැඩි පිළිගැනීමක් ලබා ගැනීමට පටන් ගෙන තිබෙනවා.

AUSTRALIA EXPLAINED—FIRST NATIONS FASHION
You can see Aboriginal and Torres Strait Islander fashion at national events like Australian Fashion Week. Credit: Rob Hookey/Getty Images

දන්ගට්ටී සහ අනයිවාන් කාන්තාවක් වන යාටු විඩර්ස් හන්ට් මෙවැනි නිර්මාණ සිදුකරන නිර්මාණ කාරිනියක් වනවා. තම අනන්‍යතාවය වර්තමානයේ ප්‍රකාශකිරීමට ඇඳුම් විලාසිතා හොඳ ක්‍රමයක් බව තේරුම්ගත් බවද ඇය පවසනවා.

වර්තමානයේ ඔස්ට්‍රේලියානු මුල් පුරවැසියන්ගේ නිර්මාණ වඩාත් බහුලව අපට දක්නට හැකියාව තිබෙනවා. එවැනි නිර්මාණ බිහිකරන නිර්මාණ කරුවන්, නිරූපන ශිල්පීන් සහ කලාකරුවන් වෙනදාට වඩා මෑතකාලීනව සුලභව දක්නට ලැබෙනවා. ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ නිර්මාණ සහ එහි සුන්දරත්වය රටට පෙන්වීම මෙහි මූලික අරමුණ බව වොඩ්ජග් නූන්ගාර් මිනිසකු වන 'Mob in Fashion' ආයතනයේ නිර්මාතෘ නේතන් මැග්වයර් පවසනවා.

Australia Explained - Indigenous Fashion
Caption: Artist and designer Grace Lillian Lee employs traditional Torres Strait Island weaving techniques to create her sculptural pieces, as showcased at Paris Fashion Week 2025. Credit: Foc Kan/WireImage/Getty Images

ඔස්ට්‍රේලියානු මුල් පුරවැසියන්ගේ නිර්මාණ අනෙකුත් නිර්මාණ වලින් වෙනස්වෙන්නේ කොහොමද?

මේ නිර්මාණ වල විශේෂත්වය වෙන්නේ මේවා ඔවුන්ගේ සංස්කෘතිය, මේ රටට ඇති බැඳීම වැනි කාරණා පිළිබඳව යම් කතාන්තරයක් කියා පෑමයි. මෙහිදී රට යනුවෙන් අදහස් වෙන්නේ මේ භූමිය, ජලය, අහස මෙන්ම මෙහි ජීවත්වන ප්‍රජාව සහ සංස්කෘතියයි. තම ස්වදේශික විලාසිතා නිර්මාණ හරහා සියලු ඔස්ට්‍රේලියානුවන් සමග තම සංස්කෘතික බැඳීම් බෙදාගැනීමට හැකිවන බව යොල්නු කාන්තාවක් සහ නිර්මාණ කාරිනියක් වන ලියන්ද්‍රා ගයිකමුන්ගු පවසනවා.

Nathan McGuire.jpg
Whadjuk Noongar model and Mob in Fashion founder Nathan McGuire. Credit: Nathan McGuire

ස්වදේශික ජනතාවගේ ඇඳුම් විලාස්තා නිර්මාණ වලදී සංස්කෘතිය සහ රට සමග බැඳීම් කියවෙන කතාන්තරයක් කියවෙනවා. සාම්ප්‍රදායික පැරණි ඇඳුම් නිර්මාණවලදී එම විලාසිතාවන්ට අත්‍යවශ්‍ය දේ පමණක් ඇතුලත් කරගනිමින් සරල නිර්මාණ ඉදිරිපත් කෙරුණු අතර සතුන්ට සහ වනාන්තර වලට ගෞරව දැක්වීමක් සිදු උනා. වර්තමානයේ ඇඳුම් නිෂ්පාදන ආයතන මේ නිර්මාණ වර්තමාන ඇඳුම් විලාසිතා සඳහා භාවිතා කරමින් සිටිනවා. ඔවුන් ස්වදේශික නිර්මාණ කරුවන් සමගින් හොඳ සබඳතාවයක් පවත්වාගෙන යනවා. මේ ඇඳුම් මිලදී ගන්න පාරිභෝගිකයින් මේ සංස්කෘතිය සුරක්ෂිත කිරීමට දායක වනවා මෙන්ම පරිසර සුරක්ෂාව වෙනුවෙන්ද සම්බන්ධ වෙනවා. ස්වදේශික ජනතාවගේ මේ ඇඳුම් විලාසිතා නිෂ්පාදන වැඩිදියුණු වීමෙන් රැකියා අවස්ථාද ඔවුනට ලැබෙනවා. මේ හරහා නිරූපන ශිල්පීන්, ඇඳුම් මෝස්‌තර නිර්මාණ කරුවන්, ඡායාරූප ශිල්පීන් ඇතුළු ක්ෂේශ්ත්‍රයට සම්බන්ධ බොහෝ පිරිස් වෙත ප්‍රතිලාභ බෙදී යනවා.

Yatu Widders Hunt.jpg
Yatu Widders Hunt, founder of online community Aus Indigenous Fashion. Credit: Yatu Widders Hunt

ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව මුල්කරගත් මේ ව්‍යාපාර නිසා එම ප්‍රජාවන්ට විවිධ රැකියා අවස්ථා උදාවෙන බවත් ජාතික වශයෙන් මෙවැනි ව්‍යාපාර ආර්ථිකයට විශාල සේවාවක් සිදුකරන බවත් , යාටු විඩර්ස් හන්ට් පවසනවා.

මේ ස්වදේශික ජනතාවගේ ඇඳුම් විලාසිතා ඔවුන්ගේ සංස්කෘතික වටිනාකම් වලට හානියක් නොවන ලෙස පරිහරණය කිරීම වැදගත් වනවා. මේ ඇඳුම් නිර්මාණ වලින් ඇතැම් ඒවා අබෝරිජිනල් සහ ටෝරස් සමුද්‍ර සන්ධි වැසියන්ගේ විශේෂ උත්සව අවස්ථා සඳහා පමණක් භාවිතා කරන ඇඳුම් වනවා. එම ඇඳුම් පැළදුම් අන්‍ය ජාතීන් භාවිතා කිරීම නොසුදුසු වනවා. ඒවා වෙන්කොට හඳුනා ගැනීමට පහසු වන ලෙස සලකුණු කර තිබෙනවා. සියලු දෙනාටම භාවිතා කළහැකි නිර්මාණ ‘ally friendly’ ලෙස සඳහන් කර වෙන්කර හඳුනාගනේමට පහසු ලෙස සකස් කර තිබෙනවා. ඔබට මිලදී ගැනීමට ඇති බොහෝ ඇඳුම් නිර්මාණ වල එම නිර්මාණය පසුපස ඇති කතාන්තරය මෙන්ම එහි නිර්මාණ කරුවා පිළිබඳවත් සඳහනක් කර තිබෙනවා. මේ තොරතුරු ඇඳුමේ ලේබලයේ හෝ අදාළ ආයතනයේ වෙබ් අඩවියෙන් බොහෝවිට ලබාගන්න පුළුවන්. ඔස්ට්‍රේලියානු මුල් පුරවැසියන්ගේ මේ නිර්මාණ ඔස්ට්‍රේලියානු අනන්‍යතාවයන් වටහා ගැනීමට ඉතාම වැදගත් නිර්මාණ බව යාටු විඩර්ස් හන්ට් පවසනවා.

David Jones Indigenous Fashion Projects
David Jones Indigenous Fashion Projects show during Australian Fashion Week Source: Getty / Jason McCawley for AFW

සමාජ මාධ්‍ය හරහා ඔස්ට්‍රේලියානු මුල් පුරවැසියන් නියෝජනය කරන මේ නිර්මාණකරුවන් හඳුනා ගන්න ඔබට පුළුවන්. මේ හරහා ඔවුන්ගේ නිර්මාණ මෙන්ම ඔස්ට්‍රේලියානු මුල් පුරවැසියන්ට අනන්‍ය වූ සංස්කෘතික වටිනාකම් ගැන ඔබට අවබෝධයක් ලබා ගන්නත් හැකිවෙනවා. ඒ වගේම ඔබට ස්වදේශික ජනතාවගේ මේ ඇඳුම් නිර්මාණ මිලදී ගන්නත් හැකියාව තිබෙනවා. එහිදී ‘ally friendly’ ලෙස සඳහන් කර ඇති ඕනෑම සංස්කෘතික පසුබිමක් සහිත ජනතාවට භාවිතා කල හැකි ඇඳුම් විලාසිතා තෝරාගත යුතු වෙනවා. මේ හරහා ඔස්ට්‍රේලියානු මුල් පුරවැසියන්ගේ විලාසිතා නිර්මාණ වල සුන්දරත්වය විඳීමට මෙන්ම ඔවුන්ගේ සංස්කෘතිය සහ ඒහා බැඳුනු කතාන්තර ගැන දැනගන්නත් ඔබට හැකිවෙනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Recommended for you

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now