Fairwork කොමිසම විසින් මිලියන ගණනක් වන ඕස්ට්‍රේලියානුවන්ට ඉදිරියෙදී නිවසේ සිට තම රාජකාරී කටයුතු වල නිරත වීමේ අවස්තාව ලබාදීම පිළිබඳව කරුණු සලකා බැලීම සිදු කරනවා. මෙහිදී සේවකයින්ට නිවසේ සිට රාජකාරි කිරීම සඳහා ඉල්ලා සිටීමේ අයිතිය සම්බන්දයෙන් කරුණු විමසා බැලීමක් සිදු කරනවා. ඊට අමතරව සේවා යෝජකයින්ට මෙම ඉල්ලීම් ප්‍රතික්ෂේප කල හැකි අවස්ථා පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරෙනවා.
මෙහිදී සේවකයින්ට සහ සේවායෝජකයන්ට නිවසේ සිට රාජකාරී කිරීම සම්බන්දයෙන් යම් එකඟතාවයකට පැමිණිය හැකි තත්වයක් උදා කිරීම තම අරමුණ බව Fairwork කොමිසමේ සභාපති Adam Hatcher පවසා සිටිනවා. මීට අමතරව වර්තමානයේ පවතින නීති රෙගුලාසි හේතුවන් නිවසේ සිට රාජකාරී කිරීම සම්බන්දයෙන් එකඟතාවයකට පැමිණීමට ඇති බාදක අවම කරලීමටද උත්සාහ දරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.
SEEK ආයතනයේ සමීක්ෂණයකට අනුව 2017 වසරෙන් පසුව නිවසේ සිට රාජකාරී කිරීම සඳහා ඉල්ලෙම් කෙරෙන සේවකයින්ගේ සංඛ්‍යාව තෙගුණ වී ඇති බවට වාර්තා වේ.
මෙම ක්‍රියාවලිය හරහා ඉදිරියේදී සේවකයින්ට නිවසේ සිට රාජකාරී සිදුකිරීම සම්බන්දයෙන් යම් නීතිමය රාමුවක් සැකසෙනු ඇති බවට HR Legal ආයතනයේ සේවා ස්ථාන සම්බන්ධතා සහ සේවක ආරක්ෂාව සම්බන්ද නීතීඥ Georgie Chapman පෙන්වා දෙනවා. මෙහිදී නිවසේ සිට රාජකාරී කිරීමේදී සේවායෝජකයා සහ සේවකයින් අතර වඩා පුළුල් එකඟතාවයකට පැමිණීමට හැකියාව ලැබෙනු ඇතිබව Georgie Chapman පවසා සිටිනවා.
අවම වශයෙන් මාස 12 ක් එකම සේවායෝජකයා සමඟ සිටින සේවකයින්ට පහත සඳහන් හේතු යටතේ නිවසේ සිට රැකියා කිරීමේ අයිතිය Fairwork පනත හරහ මේ වනවිට ලැබී තිබෙනවා.
ඒ අනුව ඔබට,
- රැකවරණය සපයන්නකු වීම
- අබ්බාධිත පුද්ගලයකු වීම
- වයස අවුරුදු 55ට වැඩ වැඩිවීම
- ගර්භනී කාන්තාවක් වීම
- ගෘහස්ත හිංසනයට ලක්වන අයෙකු වීම
- ගෘහස්ත හිංසනයෙන් පීඩාවිඳින පවුලේ අයකුට සහය වන අයකු වීම
වැනි හේතුන් යටතේ නිවසේ සිට රාජකාරී කිරීම සඳහා ඉල්ලා සිටීමේ අයිතිය පවතිනවා.

මේවනවිට ලිපිකරු ශ්‍රේණියේ සේවකයින් සඳහා නිවසේ සිට රැකියා කිරීමට ඇති අයිතිය සම්බන්දයෙන් විමර්ශනය කෙරෙමින් පවතින අතර ඉදිරියේදී අනෙකුත් කෙශ්ශ්ත්රවල සේවකයින්ටද මේ සඳහා අවස්තාව උදාවනු ඇතිබව නීතීඥ Georgie Chapman පෙන්වා දෙනවා.
ඕස්ට්‍රේලියානු වෘත්තීය සමිති කවුන්සිලය මෙම විමර්ශන කටයුතු සම්බන්දයෙන් තම ප්‍රසාදය පළකර සිටිනවා. නිවසේ සිට කල හැකි රාජකාරී කටයුතු නිවසේ සිට සිදුකිරීමට ඉඩ ලබා දීම හරහා සේවකයින්ගේ රාජකාරී ජීවිතය සහ පුගලික ජීවිතය අතර සමතුලිත තත්වයක් ඇතිවනු ඇති බවට ඔවුන් පවසා සිටිනවා. මීට අමතරව කාන්තාවන් සහ ආබාදිත පුද්ගලයින් වැඩි වශයෙන් ශ්‍රමබලකායට එකතුවීමක් මේ හරහා සිදුවනු ඇති බවද ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.
කෙසේ උවත් මෙය අනවශ්‍ය සහ රැකියා සඳහා ඍණාත්මක තීරණයක් වනු ඇතිබව ඕස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ Andrew McKellar පවසා සිටිනවා. මෙවැනි කාරනා සම්බන්දයෙන් වියාපාරික මට්ටමෙන් සේවකයින් සමග එකඟතාවයකට පැමිණිය යුතු අතර මේ සම්බන්දයෙන් නීති පැනවීම අනවශ්‍ය ක්‍රියාවක් බව Andrew McKellar වැඩිදුරටත් පෙන්වා දෙනවා.
කොවිඩ් 19 වසන්ගතයත් සමග නිවසේ සිට රැකියා කිරීමට බොහෝ ආයතන යොමු වූ අතර වසංගත තත්වය අවසන්වීමත් සමග එම තත්වය ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. මෙහිදී බොහෝ ආයතන සේවකයින් ආයතනයට පැමිණීම අනිවාර්ය කිරීමට කටයුතු කරමින් සිටින අතර පසුගියදා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රාන්ත රජයේ සේවකින්ට වැඩිවශයෙන් ආයතන කාර්යාලවලට පැමිණ සේවය කිරීම සඳහා විධිවිධාන නිකත් කිරීමක් සිදු වුනා.
කෙසේ උවත් SEEK ආයතනයේ සමීක්ෂණයකට අනුව 2017 වසරෙන් පසුව නිවසේ සිට රාජකාරී කිරීම සඳහා ඉල්ලෙම් කෙරෙන සේවකයින්ගේ සංඛ්‍යාව තෙගුණ වී ඇති බවට වාර්තා වනවා. නිවසේ සිට රැකියාව කිරීමේ ඇති හැකියාව රැකියාවක් තෝරාගැනීමේදී අත්‍යවශ්‍ය කාරණයක් බව මෙම සමීක්ෂණයට සහභාගී වූ ඕස්ට්‍රේලියානුවන් 14,700න් හතරෙන් එකක් පමණ දෙනා පවසා තිබෙනවා.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************





