ඔස්ට්‍රේලියාව තුල වර්තමානයේ පවතින පොලී අනුපාත එම මට්ටමේම එනම් 4.35ක අගයේම පවත්වා ගැනීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව තීරණය කරනු ලැබුවා. මෙහිදී වර්තමානයේ පවතින උද්දමන තත්වය බලාපොරොත්තු වූ අගයට වඩා තවදුරටත් ඉහල අගයක් ගෙන තිබීම මෙම තීරණයට හේතුවී තිබේ. විරැකියා අනුපාතය ඉහල යා නොදී පවත්වා ගනිමින් උද්දමනය අඩු කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව ඉතා ඉතා අපහසු කාර්යයක නිරත වී සිටින බව ඕස්ට්‍රේලියානු මහා බැංකු ප්‍රධානී Michele Bullock පෙන්වා දේ. ඇය පවසන පරිදි පොලී අනුපාත කප්පාදුවක් සඳහා තවත් මාස හයක් පමණ කාලයක් බලා සිටීමට ඕස්ට්‍රේලියානුවන්ට සිදුවනු ඇති.
IG ආයතනයේ වෙළඳපල විශ්ලේෂක Tony Sycamore පොලී අනුපාත කප්පාදුවක් නොවැම්බර් මාසය හෝ දෙසැම්බර් මාසයේදී පැමිණිය හැකි බවට ප්‍රකාශ කර සිටී.
පසුගියාදා නිකුත් වූ විරැකියාව සම්බන්ද දත්ත හරහා විරැකියාව ඉහල යන අතර බලාපොරොත්තු වූ ප්‍රමාණයට වඩා නව රැකියා ප්‍රමාණයක් වෙළඳ පොලට පැමිණ ඇති බවද වාර්තා විය. මේ හේතුවෙන් උද්දමන තත්වය තවත් ඉහල යනු ඇති බව සහ ඒ හරහා පොලී අනුපාත ඉහලදමීමට කටයුතු කරනු ඇතිබවට යම් මත පල විය. කෙසේ උවත් ජුනි කාර්තුවේ උද්දමනය වැඩිවීම ඉතා සුළුවශයෙන් සිදුවී ඇති බැවින් පොලී අනුපාත වැඩි කිරීමක් නොවනු ඇති බවට මත පල විය.
ඕස්ට්‍රේලියාවේ සහ ලොවපුරා කොටස් වෙළඳ පොළ තත්වයන් නරක අතට හැරීමද මහබැංකුවේ තීරණයට බලපානු ඇති බවට මත පල විය. මෙහිදී 5.7%කින් කොටස් මිල පහත ගිය අතර කොවිඩ් වසංගත තත්වයෙන් පසුව වර්ථාවූ විශාලත මිල පහත වැටීම මෙය ලෙස සඳහන් වේ. පොලී අනුපාත එම මට්ටමේම තබාගැනීමේ තීරණය පිළිබඳ පැහැදිලි කිරීමේදී, ගෝලීය වශයෙන්, මූල්‍ය වෙලඳපොලවල් වල ඉහල උච්චාවචනයන් සිදුවන අතර ඕස්ට්‍රේලියානු ඩොලරය අවප්‍රමාණය වීමද සිදුවී ඇති බවද යුදමය තත්වයන් සහ දේශපාලනික අවිනිශ්චිතතාවයන් ඉහළ මට්ටමක පවතින අතර, සැපයුම් දාමයන් සඳහා යම් බාධා ඇතිවිය හැකි බවද බැංකුව පිළිගත්තේය.
ඕස්ට්‍රේලියානු මහා බැංකුව 2022 වසරේ සිට මේ වනවිට 13 වතාවක් පොලී අනුපාත ඉහල නංවා ඇත.

පොලී අනුපාත ඉහල නොදමීමේ තීරණය ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික Jim Chalmers විසින් අගය කොට සිටී. මෙය බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට සහනයක් ගෙනදෙනු ඇති බවටද ඔහු විශ්වාසය පල කරයි. මෙහිදී ගෝලීය ආර්ථිකය විවිද අර්බුධ වලට මුහුණ දී සිටියද ඕස්ට්‍රේලියානු ආර්ථිකය ශක්තිමත්ව පවතින බව තමන් විශ්වාස කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

පොලී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කලහැක්කේ කවදාද?
ANZ, Westpac, NAB සහ Commonwealth යන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම නොවැම්බර් මාසයට පෙර පොලී අනුපාත කප්පාදුවක් සිදු නොවනු ඇතිබවට අනාවැකි පල කර ඇත. මහබැංකුවේ පොලී අනුපාත ඉහල යාමකින් තොරවද මූල්‍ය ආයතන 39ක් විසින් තම විචල්‍ය පොලී අනුපාතයන් ඉහල දැමීමට කටයුතු කර ඇත. මේ අතර ණය ලබාදෙන ආයතන 21ක් ස්ථිර පොලී අනුපාත ඉහල දැමීමටද කටයුතු කර ඇත.
මෙහිදී පොලී අනුපාත කප්පාදුවක් එළඹෙන පෙබරවාරි මාසයේ පමණ ලැබෙනු ඇතිබවට AMP Capital ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්යාඥ Shane Oliver පවසා සිටී. මෙහිදී ගෝලීය ආර්ථික වර්දනය මන්දගාමී වීම ඕස්ට්‍රේලියානු ආර්ථිකයටද බලපාන අතර මේ හේතුවෙන් භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම අඩුවී උද්දමන තත්වය අඩුවනු ඇති බවට ඔහු විශ්වාස කරයි. කෙසේ උවත් පොලී අනුපාත බොහෝ කාලයක් ඉහල මට්ටමක තබාගැනීම හේතුවෙන් උද්දමනය බලාපොරොත්තු වනවාට වඩා පහළයාම හරහා ආර්ථිකයට හානිදායක තත්වයක් ඇතිවිය හැකි බවද ඔහු පෙන්වා දේ.
IG ආයතනයේ වෙළඳපල විශ්ලේෂක Tony Sycamore පොලී අනුපාත කප්පාදුවක් නොවැම්බර් මාසය හෝ දෙසැම්බර් මාසයේදී පැමිණිය හැකි බවට ප්‍රකාශ කර සිටී. මෙහිදී උද්දමානය පහල යන බවට සහතික කරගැනීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුවට අවශ්‍ය බවත් ඒ සඳහා නිසි සාක්ෂි ලැබීමත් සමග පොලී අනුපාත කප්පාදුවකට යනු ඇති බවත් ඔහු පවසා සිටී.
********************************************************************************
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.
*********************************************************************************





