මෙල්බන් නුවර ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වල ප්ලාස්ටික් සහ කඩදාසි කඳු නැගෙයි, (SBS සිංහල/වාර්තා)

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානවල පසුගිය වසර 5 ඇතුළත ගිනිගැනීම් 28 ක් වාර්තා වූ බව මෙල්බන් නාගරික ගිනි නිවීමේ ඒකකය සඳහන් කරයි.

Melbourne's recycling mountain grows higher each day.

Source: MFB

මෙල්බන් නුවර ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වල දෛනිකව ප්ලාස්ටික් සහ කඩදාසි ටොන් සිය ගණනක් ගොඩ ගැසීම හේතුවෙන් වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තය අර්බුදයකට පත්ව ඇති බව වාර්තා වේ.

මෙසේ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වල ප්ලාස්ටික් සහ කඩදාසි ගොඩගැසීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ පසුගිය දා මෙල්බන් නුවර විශාලතම ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක ඇතිවූ ගින්න බව සඳහන්.

එම ගින්නෙන් අදාළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට දැඩි හානි සිදුවූ අතර රක්ෂණ සමාගම් අදාළ හානියේ ඇතැම් කොටස් සඳහා වන්දි ගෙවීමද ප්‍රතික්ෂේප කර ඇති බව ද වාර්තා වේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානවල පසුගිය වසර 5 ඇතුළත ගිනිගැනීම් 28 ක් වාර්තා වූ බව මෙල්බන් නාගරික ගිනි නිවීමේ ඒකකය සඳහන් කරයි.

දිනකට අපද්‍රව්‍ය ටොන් 1100 ක් පමණ ප්‍රතිචක්‍රීකරණය සඳහා SKM ප්‍රතිචක්‍රීකරණ ආයතනයේ Coolaroo මධ්‍යස්ථානයට ලැබෙන බව වාර්තා වේ.

Brimbank, Hume, Port Phillip, Moonee Valley, Maribyrnong, Hobsons Bay, Darebin සහ මෙල්බන් නගර සභාව යන ප්‍රදේශ වලින් එම අපද්‍රව්‍ය ලැබෙන බව සඳහන්.

ඉකුත් පෙබරවාරි මාසයේ ඇතිවූ ගින්නේ සිට SKM ප්‍රතිචක්‍රීකරණ ආයතනය ප්‍රතිචක්‍රීකරණ අපද්‍රව්‍ය ටොන් 250 ක් පමණ දිනකට සංචිතයක් සේ ගබඩා කර තැබීමට බල කෙරුණු අතර ඔවුන්ගේ Laverton සහ Hallam යන ප්‍රතිචක්‍රීකරණ පොළ වල එම කටයුතු සිදු විය.

එය සෑම දිනකම කසළ ලොරි 25 ක අපද්‍රව්‍ය හා සමාන වේ.

ඇතැම් අපද්‍රව්‍ය Coolaroo ප්‍රතිචක්‍රීකරණ පොළෙහි තබාගත් නමුත් පසුගිය ජූලි 13 වන දින ඇතිවූ ගින්න හේතුවෙන් ඒවා සියල්ලම විනාශ විය.

ජූලි 13 වන දින ඇතිවූ ගින්න පාපන්දු ක්‍රීඩාංගනක් තරම් විශාල භූමි ප්‍රමාණයක පැතිරුණු අතර ගින්න පාලනය කිරීමට ගිනි නිවීමේ හමුදාවන්ට දින 11 ක් ගත විය.

එම ගින්න නිසා අදාළ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයට සිදුවූ හානිය ඩොලර් මිලියන 32 ක් බවට ඇස්තමේන්තු ගත කර ඇත.

SKM ප්‍රතිචක්‍රීකරණ ආයතනයට අයත් Coolaroo ප්‍රතිචක්‍රීකරණ පොළෙහි පසුගිය වසර 5 ඇතුළත 9 වරක් ගිනි ගැනීම් සිදුව ඇති බව වාර්තාවේ.

එයින් මේ වසරේ පමණක් සිව් වරක් ගිනිගැනීම් සිදුව ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියාවේ ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වල පසුගිය වසර වල ඇතිවූ ගිනිගැනීම් හේතුවෙන් ඒවායේ රක්ෂණ වාරික ඉහළ ගොස් ඇති බව Arthur J. Gallagher හි කසළ කළමනාකරණ රක්ෂණ නියෝජිත Russell Boucher පවසයි.

ඇතැම් ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන මෙහෙයවන්නන් රක්ෂණයක් ලබා ගෙන නොමැති බවද ඔහු දන්වයි.

2015 -16 කාලයේදී ඔස්ට්‍රේලියාව තුළ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීම 3% කින් පහළ ගොස් ඇති බව සමීක්ෂණයකින් පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියනුවන් භාවිතා කරන ප්ලාස්ටික් වලින් තුනෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කරන බවටද එම සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.


Share

2 min read

Published

By Madhura Seneviratne

Source: The Age



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now