NASA අභ්‍යාවකාශ ඒජන්සිය විසින් මිනිසා සඳ මතට මෙන්ම අඟහරු ග්‍රහලෝකයට ද යැවීමට දියත් කරනා Artemis අභ්‍යාවකාශ වැඩසටහන සඳහා ඔස්ට්‍රේලියානු අභ්‍යාවකාශ ඒජන්සිය ද තම දායකත්වය ලබා දීමට සූදානම් වෙයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
මේ දිනවල ඇමරිකාවෙහි නිල සංචාරයක යෙදෙමින් සිටින අගමැති Scott Morrison, පසුගිය සෙනසුරාදා (21/09) දිනයේ දී Washington නුවර දී මේ බව නිවේදනය කළේය. ඒ Washington නුවර පිහිටි NASA ආයතනයේ ප්‍රධාන කාර්යාලයෙහි නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් සිටි අවස්ථාවේදීයි.
අභ්‍යාවකාශය ජය ගත් ඔස්ට්‍රේලියානු කෝලා වලසා
Image
ඔස්ට්‍රේලියාව විසින් 2017 වසරේ දී ඔස්ට්‍රේලියානු අභ්‍යාවකාශ ඒජන්සිය පිහිටුවීම සනිටුහන් කරමින් සෙල්ලම් කෝලා වලසෙකු NASA ආයතනය වෙත පරිත්‍යාග කළේය.
NASA ආයතනය භාරයේ සිටි මෙම සෙල්ලම් කෝලා වලසා එම කාලය තුල දී ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය වෙත ගොස් නැවත පෘතුවිය වෙත ද පැමිණ තිබෙයි.
අගමැති Scott Morrison හමුවීමට මෙම කෝලා වලසා ද රැගෙන ගගනගාමී Pam Melroy පැමිණ සිටියාය.
එසේම මෙම අවස්ථාවේදී ගගනගාමී Neil Armstrong, Buzz Aldrin සහ Mike Collins යන අය පිදුම් ලැබූ ඔස්ට්‍රේලියානු Logie සම්මානය සමඟ පෙනී සිටමින් ඡායරූපයක් ගැනීමට ද අගමැති Morrison ට හැකි විය.
ඔස්ට්‍රේලියාවෙහි අභ්‍යාවකාශ ක්ෂේස්ත්‍රය නගාසිටුවීමට නව සැලැස්මක්
NASA අභ්‍යාවකාශ ඒජන්සියහි සඳ තරණය කිරීමේ මෙහෙයුම සඳහා එක්වීමට ඔස්ට්‍රේලියාවේ ඇති බලාපොරොත්තු නිවේදනය කිරීමත් සමඟම ඒ සඳහා ඩොලර් මිලියන 150 ක ප්‍රතිපාදන ද වෙන් කරන බවද අගමැති Morrison නිවේදනය කළේය.
එසේම වසර 2030 වන විටදී ඔස්ට්‍රේලියානු අභ්‍යාවකාශ ක්ෂේස්ත්‍රයහි වටිනාකම තුන් ගුණයකින් වැඩි කිරීමට ද රජය බලාපොරොත්තු වෙයි.
එවිට මෙම ක්ෂේස්ත්‍රයහි වටිනාකම ඩොලර් බිලියන 12ක් වන අතර ඒ තුලින් රැකියා 20,000ක් පමන උත්පාදනය කිරීමට ද හැකි වනු ඇති බව ඔහු විශ්වාස කරයි.
මීළඟට පැමිණෙන තාරකා යුගයේ පිටුවක් පෙරළීමට මේ තුළින් හැකි වනු ඇති බව අගමැති Morrison පවසයි. එසේම ඔස්ට්‍රේලියාවේ මීළඟ පරපුර තමන්ගේ අනාගත වෘත්තිය මාර්ගය තෝරා ගැනීමේ දී අභ්‍යාවකාශ ක්ෂේත්‍රය ද වලංගු ක්ෂේත්‍රයක් බවට මේ තුළින් පවත්වනු ඇති බව අගමැති Morrison විශ්වාස කරයි.
ඔස්ට්‍රේලියාවේ පළමු ගගනගාමියා වන Andy Thomas පවසා සිටියේ මෙම නව සැලසුම් සියළුම ඔස්ට්‍රේලියානුවන්ට බලාපොරොත්තු රැසක් ගෙන දෙන බවයි. මීට පෙර අවස්ථාවන් වලදී ඔස්ට්‍රේලියාවෙහි අභ්‍යාවකාශ වැඩසටහන් ප්‍රාථමික ගණයේ ඒවා වීම හේතුවෙන් තම හැකියා සම්පූර්ණයෙන් ප්‍රයෝජනයට ගත නොහැකි ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් තමන්ට හමුවී ඇති බව ඔහු පැවසුවේය. ඔවුන්ගේ හැකියා සහ දක්ෂතා දායක කිරීමට මෙම සැලසුම් පිටිවහලක් වෙනු ඇති බව ඔහු විශ්වාස කරයි.

Andy Thomas - Australia's first astronaut Source: adelaidenow.com.au
තමන්ගේ අඩි පාරේ යමින් ගගනගාමියකු වීමට උත්සාහ දරන තරුණයන්ට Andy ලබා දෙන පණිවුඩය වනුයේ ඔවුන් පුළුල් අධ්‍යාපනයක් ලබා ගත යුතු බවයි. ඒ අභ්‍යාවකාශ මෙහෙයුම් තුලදී කෙනෙකුට බොහෝ ක්ෂේත්‍රවල කුසලතා අවශ්‍ය විය හැකි බැවිණි.
අභ්‍යාවකාශ තාක්ෂණික නිපැයුම් ඔස්ට්‍රේලියාවේද යොදාගත හැකියි
අභ්‍යාවකාශ ක්ෂේස්ත්‍රයහි භාවිතය සඳහා ඔස්ට්‍රේලියානුවන් නිපදවන දුරස්ථ සන්නිවේදන පද්ධති, අභ්‍යාවකාශයෙහි කැණීම් සඳහා යොදා ගන්නා රොබෝවරු, ඉතා ඉහළ විභේදන (high-resolution) රූප ලබා දෙන ඉතා කුඩා චන්ද්‍රිකා, ඖෂධ වැනි දෑ ඔස්ට්‍රේලියාවේ ශුෂ්ක හා ප්‍රාදේශීය ප්‍රදේශවාසියන්ගේ ජීවන තත්වය නගාසිටුවීමට දායක වනු ඇති බව රජය විශ්වාස කරයි.
එම නිසා මෙම තාක්ෂණයන් අනාගත ගගනගාමීන්ට පමණක් නොව ශුෂ්ක හා ප්‍රාදේශීය ප්‍රදේශවල වෙසෙන ජනතාවට ද ප්‍රයෝජනවත් වනු ඇති බව නොඅනුමානයි.

Source: SBS Sinhala