තමන්ට ලැබීමට නියමිත Super මුදල් තම සේවායෝජකයින් විසින් තම Superannuation ගිණුම් වෙත නියමිත අන්දමින් බැර කර ඇතිද යන්න පිළිබඳ පරීක්ෂා කරන ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් ඉල්ලා සිටියි.
සවන්දෙන්න SBS සිංහල සේවයට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
විශේෂයෙන් මෙම ගෙවී යන කොරෝනා වසංගත සමයේදී ඒ පිළිබඳව වඩාත් අවධානය යොමු කරන ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දන්වයි.

Super මුදල් Superannuation ගිණුම් වෙත බැර කිරීම
තම වැටුප් පතෙහි (payslip) Super මුදල් ගෙවූ බවට සටහන් කර ඇති හෙයින් එම මුදල් Superannuation ගිණුම් වෙත බැර කර ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරයි.
නමුත් එය ලේඛනගත සටහනක් පමණි.
නීත්‍යානුකූලව සේවායෝජකයෙකු වසරේ කාර්තු හතරකදී තම සේවකයින්ට අදාළ Super මුදල් ඔවුන්ගේ Superannuation ගිණුම් වෙත බැර කළ යුතුය.
අවසන් වරට එම කාර්තුව අවසන් වූ දිනය වුයේ පසුගිය අප්‍රේල් 28 වන දිනය.
එනිසා තමන්ගේ Superannuation ගිණුම වෙත නියමාකාරයෙන් Super මුදල් ලැබී ඇතිදැයි සනාථ කරාගැනීමට ඇති එකම ක්‍රමය තම Superannuation ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීමය.

නොගෙවූ Super මුදල්
පසුගිය මුල්‍ය වර්ෂයේදී Super මුදල් නොගෙවා ඇති බවට සිදුකළ පැමිණිලි 30,000 - 35,000 ත් අතර ප්‍රමාණයකට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ප්‍රතිචාර දැක්වූ බව චැනල් 7 පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
එම පැමිණිලි වලට අනුව ඩොලර් මිලියන 532 ක නොගෙවූ Super මුදල් එකතු කරගත් බව සඳහන්.
කොරෝනා වසංගතය පවතින සමයේදී මෙම ප්‍රමාණය තවත් ඉහළ යයිද යන බිය ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට පවතියි.

ඔබට කළ හැකි දේ
ඔබ super මුදල් ලැබීමට සුදුසුකම් ලැබූ සේවකයෙකු නම් ඔබගේ වැටුප් පතෙහි සටහන් super මුදල් ඔබේ Superannuation ගිණුමට බැරවී ඇත්දැයි පරීක්ෂා කළ යුතුය.
එලෙස ඔබේ සේවායෝජකයා විසින් Superannuation මුදල් ගෙවිය යුතු කාර්තු වල අවසන් දිනයන් පහත පරිදි වේ.
- අප්‍රේල් 28 - ජනවාරි 01 සිට මාර්තු 31 දක්වා සේවා කාලය සඳහා
- ජූලි 28 - අප්‍රේල් 1 සිට ජුනි 30 දක්වා සේවා කාලය සඳහා
- ඔක්තෝබර් 28 - ජූලි 01 සිට සැප්තැම්බර් 30 දක්වා සේවා කාලය සඳහා
- ජනවාරි 28 - ඔක්තෝබර් 01 සිට දෙසැම්බර් 31 දක්වා සේවා කාලය සඳහා
අදාළ දින වලට තමන්ට Superannuation මුදල් නොලැබුණු සේවකයින් සිටී නම් වහාම තම සේවායෝජකයා අමතා ඒ පිළිබඳව දැනුම් දෙන ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය දන්වයි.

නිදහසට කරුණු නැත
තමන් Super මුදල් ගෙවුවත් එය අදාළ ගිණුම් වෙත යවන අතරමැදි ක්‍රියාකරුවන් නිසා (“clearing house”) ප්‍රමාද වන බවට ඇතැම් සමාගම් චෝදනා කරයි.
නමුත් සේවකයින්ගේ Superannuation ගිණුම් වලට නියම වේලාවට මුදල් බැර වන අන්දමින් කල් වේලා ඇතිව එම මුදල් සම්ප්‍රේෂණය කිරීමට සෑම සේවායෝජකයෙකුම වගබලාගත යුතු බව බදු කාර්යාලය පවසයි.
එනිසා තම Superannuation මුදල් නිසි ලෙස සම්ප්‍රේෂණය වනවාදැයි තහවුරු කරගැනීමට සේවකයින්ට තම සේවායෝජකයගෙන් සාධාරණ ලෙස ප්‍රශ්න කිරීමේ අයිතිය පවතියි.
එනිසා Superannuation මුදල් බැර කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධව නිදහසට කරුණු කීමට සේවායෝජකයින්ට අවස්ථාව නොමැත.


