බදු පැහැර හරිමින් වත්කම් සැඟ වූ ලෝක නායකයින්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය හා ගනුදෙනු පිළිබඳ තොරතුරු අනාවරණය කළ ඉතිහාසයේ විශාලතම මූල්‍ය ලේඛන හෙළිදරව්වක් ලෙස හඳුන්වන Pandora Papers හෙවත් පැන්ඩෝරා ලේඛන පිළිබඳ ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේද අවධානය යොමුවී තිබේ.
නීති විරෝධී බදු පැහැර හැරීම් සහ වෙනත් මුල්‍ය වැරදි සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානුවන්ගේ ද සම්බන්ධතාවක් ඇතිදැයි තහවුරු කරගැනීම සඳහා මෙම පැන්ඩෝරා ලේඛනවල දත්ත විමර්ශනය කරන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.
Highlights
- International Consortium of Investigative Journalists (ICIJ) හෙවත් මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් මෙම Pandora Papers නිකුත් කරන ලදී.
- බදු පැහැර හරිමින් ලොව ප්‍රකට දේශපාලනඥයින්, ප්‍රකෝටිපතියන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ රටින් එපිට තැන්පත් කළ ධනය සහ වත්කම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කරන ලිපි ගොනු මිලියන 11.9 ක් මීට ඇතුළත්ය.
- මෙම පැන්ඩෝරා ලේඛනවල ඔස්ට්‍රේලියානුවන් 400 කට අධික පිරිසකගේ නම් ඇති බවද වාර්තා වේ.
ලොවක් කැළඹු පැන්ඩෝරා ලේඛන
බදු පැහැර හරිමින් ලොව ප්‍රකට දේශපාලනඥයින්, ප්‍රකෝටිපතියන් සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ රටින් එපිට තැන්පත් කළ ධනය සහ වත්කම් පිළිබඳ හෙළිදරව් කරන ලිපි ගොනු මිලියන 11.9 ක් International Consortium of Investigative Journalists (ICIJ) හෙවත් මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය විසින් නිකුත් කරන ලදී.
මෙම ලේඛන Pandora Papers හෙවත් පැන්ඩෝරා ලේඛන ලෙස හැඳින්වේ.
එම ලිපි ලේඛනවල ප්‍රමාණය දත්තවලින් ටෙරා බයිට් 2.94 ක් පමණ වේ.
ලෝකයේ රටවල් 200 කට අධික සංඛ්‍යාවක පුද්ගලයින් මෙම හෙළිදරව් කිරීමේදී අනාවරණය වී ඇති බව ICIJ සංවිධානය පවසයි.
ලෝකයේ දේශපාලනඥයින් 330 කට අධික සංඛ්‍යාවක් එම ලැයිස්තුවේ ඇති බවද සඳහන්.
ලෝකය පුරා නිශ්චල දේපළ අත්පත් කර ගැනීම, මුදල් ගබඩා කිරීම සහ වෙනත් සමාගම් හිමි කර ගැනීම සම්බන්ධ රහස්‍ය තොරතුරු මෙම ලිපි ලේඛනවල අඩංගුවේ.
පැන්ඩෝරා ලේඛනවල ඔස්ට්‍රේලියානුවන් 400 කට වැඩි පිරිසක්
හෙළිදරව් වූ පැන්ඩෝරා ලේඛනවල ඔස්ට්‍රේලියානුවන් 400 කට අධික පිරිසකගේ නම් ඇති බව The Guardian පුවත්පත වාර්තා කරයි.
ඔස්ට්‍රේලියානුවන්ට රටින් එපිට බැංකු ගිණුම් පවත්වාගෙන යාම සඳහා සාධාරණ හේතු තිබිය හැකි බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් Will Day පැවසීය.
මෙම හෙළිදරව් වීම හරහා බදු පැහැර හැරීමක් හෝ අපරාධයක් සිදු වූ බවට සාක්ෂි සෘජුව නොපෙන්වන බවද ඔහු අවධාරණය කළේය
නමුත් බදු පැහැර හැරීමක් හෝ වත්කම් සඟවා මුල්‍ය වංචාවක් සිදුකළ කවුරුන් හෝ ඔස්ට්‍රේලියානුවෙකු මෙම ලේඛනවල සිටීනම් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය අදාළ පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවද ඔහු පැවසීය.
පැන්ඩෝරා ලේඛනවලින් හෙළිවූ තොරතුරු ඉතා වැදගත් නමුත් එම හෙළිදරව් වූ දත්ත මත පමණක් පදනම්වී ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය තම රාජකාරි කටයුතු සිදු නොකරන බවද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් Will Day පැවසීය.
"මූල්‍ය අපරාධවලට එරෙහිව සටන් කිරීමේ අපගේ ප්‍රයත්නයේදී අපි දේශීය හා ගෝලීය වශයෙන් හොඳින් සම්බන්ධ වී සිටින්නෙමු. අපි නිසැකවම මෙම දත්ත දෙස බලා විය හැකි සම්බන්ධතා හඳුනා ගැනීමට දැනට ඇති දත්ත සමඟ එය සංසන්දනය කරන්නෙමු." යනුවෙන් ද ඔහු වැඩිදුර විස්තර කළේය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ලෝකයේ හොඳම විගණකවරුන්, පරීක්‍ෂකවරුන්, විශ්ලේෂකයින් සහ දත්ත විද්‍යාඥයින් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය සතුව ඇති බවත් වැරදිකරුවන්ගෙන් නිවැරදිකරුවන් බේරා වෙන්කර ගැනීමට ඔවුන්ට මනා දැනුමක් සහ පළපුරුද්දක් ඇති බවත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ නියෝජ්‍ය කොමසාරිස් Will Day සඳහන් කළේය.
ගෝලීය බදු පැහැර හැරීම් වලට එරෙහිව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර නියෝජිත කණ්ඩායම් සමූහයක් වන හවුල් බුද්ධි හා සහයෝගීතාව පිළිබඳ ඒකාබද්ධ ජාත්‍යන්තර කාර්ය සාධක බලකායේ සාමාජිකයෙක් ලෙස ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය කටයුතු කරයි.

Source: ICIJ
ශ්‍රී ලාංකිකයින් ද පැන්ඩෝරා ලේඛනවල
ශ්‍රී ලංකාවේ හිටපු නියෝජ්‍ය අමත්‍යවරියක් වූ නිරූපමා රාජපක්ෂ සහ ඇයගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේශන්ගේ නම් ද මෙම පැන්ඩෝරා ලේඛනවල සඳහන් වේ.
ඇමරිකා එක්සත් ජනපදය, සමෝවා , බ්‍රිතාන්‍යයේ වර්ජින් දූපත් සහ නවසීලන්තයේදී ඔවුන් ආයතන 08 ක් පිහිටුවා ඇති බව එම ලේඛන හෙළිදරව් කර ඇත.
ලන්ඩන් නුවර සහ සිඩ්නි නුවර සුඛොපබෝගී නිවාස සංකීර්ණ මිලදී ගැනිම සඳහා ඉන් එක් ආයනතයක් පවත්වාගෙන ගොස් ඇත.
ශ්‍රී ලංකා රජය සමග ව්‍යාපරික ගනුදෙනු සිදු කළ විදේශීය ආයතන කිහිපයකට තිරුකුමාර් නඩේශන්ට අයත් තවත් එක් සමාගමකින් උපදේශන සේවා සපයා ඇති බව ද පැන්ඩෝරා ලේඛන අනාවරණය කරයි.
තවද පැසිපික් කොමෝඩිටීස් යන තවත් සමාගමක් හරහා තිරුකුමාර් නඩේශන් අධික මිලැති කලා කෘති රැසක් බදු පැහැරහරිමින් තබා ගෙන ඇති බවද පැන්ඩෝරා ලේඛන හෙළි කරයි.
මේ කරුණු පිළිබදව ප්‍රතිචාර දැන ගැනීමට ICIJ සංවිධානය නිරූපමා රාජපක්ෂ සහ තිරුකුමාර් නඩේශන්ව සම්බන්ධ කර ගැනීමට උත්සක කළ ද ඔවුන් ප්‍රතිචාර දැක්වීමෙන් වැළකී සිටි බව වාර්තා වේ.