ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධනය පහළම අගයට වැටී ඇති බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානු රැකියා වෙළෙඳ පොළේ උදාසීනත්වය මේ සඳහා ප්‍රධාන හේතුව වී ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව සහ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මහා භාණ්ඩාගාරය චෝදනා කරයි.

ඔස්ට්‍රේලියාවේ වැටුප් වර්ධනය
පසුගිය සැප්තැම්බර් කාර්තුවේදී ඔස්ට්‍රේලියානු වැටුප් මිල දර්ශකය 0.5% කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පසුගිය සතියේදී වාර්තා කළේය.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ වාර්ෂික වැටුප් වර්ධනය 2.2% ක් ලෙස දැක්විණි.
පසුගිය ජුනි මාසයෙන් අවසන් වූ කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ වැටුප් වර්ධනය 2.3% මට්ටමේ පැවති බවත් ඒ අනුව ගතවූ වසරක කාලය තුළ එහි පහළම අගයට ඔස්ට්‍රේලියාවේ වැටුප් වර්ධනය වැටී ඇති බවත් The Age පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
පසුගිය කාර්තුවේදී පුද්ගලික අංශයේ වැටුප් වර්ධනය 0.5% කින් සිදුව ඇති බවත් ඒ අනුව පුද්ගලික අංශයේ වාර්ෂික වැටුප් වර්ධන ප්‍රතිශතය 2.1% ක් ලෙස පවතින බවත් වාර්තා වේ.
මේ අතර රාජ්‍ය අංශයේ වැටුප් වැඩිවීම පසුගිය කාර්තුවේදී 0.5% ක් ලෙස පැවති අතර එහි වාර්ෂික වැටුප් වර්ධන ප්‍රතිශතය 2.5% ක් ලෙස සටහන් විය.

බඩු මිල වැඩි වීමේ වේගයට වඩා වැටුප් වර්ධන වේගය තවමත් ඉදිරියෙන්
ඔස්ට්‍රේලියාවේ භාණ්ඩ හා සේවා වල මිල ඉහළ යාමේ වේගයට වඩා වැටුප් වර්ධන වේගය තවමත් ඉදිරියෙන් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Bruce Hockman පැවසීය.
ඔස්ට්‍රේලියාවේ කැපී පෙනෙන ලෙස වැටුප් වර්ධනය සිදුවූ ක්ෂේත්‍ර ලෙස සෞඛ්‍ය සේවා සහ සමාජ සේවා ක්ෂේත්‍ර දැක්විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.
ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ වැටුප් වර්ධනය 3% ක් වැනි කැපී පෙනෙන අගයක් ගත් බවත් ඔස්ට්‍රේලියාව පුරාම එම ක්ෂේත්‍රයේ ශක්තිමත් රැකියා වර්ධනයක් තිබු බවත් වාර්තා විය.
මේ අතර සිල්ලර සහ නිෂ්පාදන ක්ෂේත්‍ර වල වැටුප් වර්ධනය 2% මට්ටමට වඩා අඩු මට්ටමක පැවති බවද සඳහන්.
ලබන මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ වැටුප් වර්ධන ප්‍රතිශතය 3.25% කට ඉහළ නගිනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරය අපේක්ෂා කරයි.
ඊට පසු වර්ෂයේදී එම අගය 3.5% ක් ගනු ඇතැයිද ඔවුන් අපේක්ෂා කරයි.
පසුගිය වසරේදී ඉහළම වැටුප් වර්ධනයක් දක්නට ලැබෙන ප්‍රාන්තය ලෙස වික්ටෝරියානු ප්‍රාන්තය වාර්තා වන අතර එහි අගය 2.8% කි.
අඩුම වැටුප් වර්ධනයක් සිදුව ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ වන අතර එම අගය 1.6% කි.


