ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව පැමිණි සියලු ශ්‍රී ලාංකිකයින්ට නැවත මව් බිමට පැමිණෙන ලෙස අගමැති රනිල්ගෙන් විවෘත ආරාධනාවක්. (SBS සිංහල/වාර්තා)

“ආපසු එන්න. සියලු දෙනාට සමාව දෙනවා.” වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය.

Sri Lankan PM tells asylum seekers

Source: SBS

නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණි සියලු ශ්‍රී ලාංකිකකයින් හට නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විවෘත ආරාධනාවක් කරයි.

ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා අතර කැන්බරා නුවර අද (15/02) පැවති ද්වි පාර්ශවික සාකච්ඡා වලින් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේය.

“ආපසු එන්න. සියලු දෙනාට සමාව දෙනවා.” වික්‍රමසිංහ මහතා එහිදී අවධාරණය කළේය.

නීති විරෝධීව රටින් පිටවී ඔස්ට්‍රේලියාවට පැමිණීම අපරාධයක් බවත් ඔවුන් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් දඬුවම් නොකරන බවත් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

“ඔවුන්ට ලංකාට ආපසු පැමිණෙන්න පුළුවන්. අපි ඔවුන්ට උදව් කරන්නම්. නමුත් මතක තියාගන්න, ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුළු වී ඔවුන් නීතිය උල්ලංඝනය කළා.” වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය අවසානයේ සිය ගණනක් දමිළ වැසියන් ඔස්ට්‍රේලියාවට පැමිණි අතර එසේ පැමිණුනු බොහෝ දෙනා මුහුදේදී මරුමුවට ද පත්විය.

2016 වසරේ ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාව තුළ ඇති සරණාගත මධ්‍යස්ථාන වල ශ්‍රී ලාංකිකයින් 86 දෙනෙකු රඳවා සිටී.

නමුත් මානුස් හා නවුරු දූපත් වල කොපමණ ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිටිනවා දැයි ඔස්ට්‍රේලියානු රජය කිසිවක් පවසා නොමැත.

එම දූපත්වල සරණාගතයින් 1241 ක් පිළිබඳ කටයුතු සිදු කරමින් යන අතර ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පැවසුවේ ඉන් වැඩිම පිරිසක් ඉරාන ජාතිකයින්, ඇෆ්ගන් ජාතිකයින් සහ ශ්‍රී ලාංකිකයින් බවය.

එම නීති විරෝධී සංක්‍රමණිකයින් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී  ශ්‍රී ලංකාව ඔවුන්ට සුරෂිත ද යන්න SBS පුවත් සේවය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගෙන් විමසු කල “ඔව්. ශ්‍රී ලංකාව බොහෝ සුරක්ෂිතයි” යනුවෙන් ඔහු පිළිතුරු දුන්නේය.

“යුද්ධය නොතිබුණු ප්‍රදේශවල උදවිය පවා තමන්ගේ බිම් අත් හැරලා ඔස්ට්‍රේලියාවට පැමිණ තිබෙනවා. ඒ සියල්ලෝම දෙමළඅය නොවෙයි. එසේවුවත්, අපිට අවශ්‍යයි සියලුම දමිළ ජාතිකයින් නැවත පැමිණෙනවාට.” වික්‍රමසිංහ මහතා පැවසුවේය.

යුරෝපයේ සහ මැද පෙරදිග ප්‍රදේශවලට ඇතැම් පිරිස් ගොස් සිදු කළ අවුල් සහගත ක්‍රියාවන් මෙහිදී සිදු නොකළ යුතු බවටද වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

මේ අතර ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති Tony Abbott ගේ සමයේදී දෙරටේ සම්බන්ධයට පලුද්දක් සිදුවුවා දැයි වික්‍රමසිංහ මහතාගෙන් ඇසු විට ඔහු “නැහැ. එසේ කිසිවක් සිදුවුයේ නැහැ. මම අද මෙහෙම ආවේ ඒ නිසා.” යනුවෙන් පිළිතුරු දුන්නේය.

“ශ්‍රී ලංකාව තුළ මානව හිම්කම් තත්ත්වය පිළිබඳ වඩාත් බරපතල කොට කටයුතු කළ යුතුයි කියා ටෝනි ඇබට් සහ මම හිතුවා. අපි දැන් නැවත බලයට පත්වෙලා ඉන්නේ.” වික්‍රමසිංහ මහතා පැවසීය.

මිනිස් ජාවාරමට එරෙහිවීමට දෙරටේම නායකයින් එකඟ වූ බව ඔස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පැවසීය.

ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නාවුක හමුදා අතර ශක්තිමත් සහ වර්ධනය වෙමින් පවතින සබඳතාවක් පවතින බවද අගමැති ටර්න්බුල් පැවසීය.

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර සිදුවන මිනිස් ජාවාරම නතර කිරීමට දෙරටම කැපවී සිටින අතර එහි ප්‍රතිපලයක් ලෙස 2013 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවෙන් කිසිදු නීති විරෝධී යාත්‍රාවක් ඔස්ට්‍රේලියාවට නොපැමිණි බවද මැල්කම් ටර්න්බුල් එහිදී අවධාරණය කළේය.


Share

3 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News




Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now