ඕස්ට්‍රේලියාවේ තහවුරු වුනු කොරෝනා වෛරස් රෝගීන් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබේ.
වුහාන් හි සිට පැමිණි පුද්ගලයෙකුට මෙම වෛරසය ඇති බව 'ක්වීන්ස්ලන්ඩ් හෙල්ත්' නම්වන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ රජයේ සෞඛ්‍ය අංශය විසින් තහවුරු කිරීමෙන් පසුව මෙම සංඛ්‍යාව 14 ක් ලෙසට තහවුරු විය. එය ක්වීන්ස්ලන්තයේ කොරෝනා වෛරස රෝගියෙකු වර්තාවුණු සිව්වන අවස්ථාව ලෙසට සනිටුහන් වෙයි.
රෝගය තහවුරු වුනු පුද්ගලයා 37 හැවිරිදි චීන ජාතික සංචාරකයෙක් ලෙසට වාර්තා වේ. ඔහු සමඟ 44 හැවිරිදි පුද්ගලයෙකු, 42 හැවිරිදි කාන්තාවක් සහ අට හැවිරිදි පිරිමි ළමයෙකු ද ගමන්කොට ඇති අතර ඔවුන් සියළු දෙනා හටද වෛරසය අසාදනය වී ඇතිබවට මේවන විට තහවුරු වී තිබේ.
මොවුන් සිව්දෙනාම ගෝල්ඩ් කෝස්ට් විශ්වවිද්‍යාල රෝහලේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ස්ථාවර තත්ත්වයේ පසුවන බව රජයේ සෞඛ්‍ය බලධාරීන් පවසා සිටි.
කොරෝනා වෛරස් රෝගීන් ක්‍රිස්මස් දුපතේ රැඳවීමට විරෝධය පලවෙයි...
ක්‍රිස්මස් දුපත කොරෝනා වෛරස නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීම එහි වර්ධනය වන සංචාරක කර්මාන්තය විනාශ කරන ක්‍රියාදාමයක් බව ක්‍රිස්මස් අයිලන්ඩ් ප්‍රදේශය භාර පාලකවරයා වන ගෝර්ඩන් තොම්සන් පවසා සිටි.
මේ වන විට වුහාන් සිට ඕස්ට්‍රේලියානු පුරවැසියන් හා ස්ථිර පදිංචිකරුවන් 241 කට ආසන්න පිරිසක් මෙලෙස ක්‍රිස්මස් දුපත වෙත ගෙන එනු ලබා ඇත. එහෙත් මෙලෙස රඳවා ඇති පුද්ගලයින් අතරින් කිසිවෙකු හට කොරෝනා වෛරසය ඇති බවට තහවුරු වී නොමැත.
ක්‍රිස්මස් දුපතෙහි නගරාධිපති ගෝර්ඩන් තොම්සන් පවසන්නේ ඔස්ට්‍ර්ලියානු මධ්‍යම රජය දිවයිනේ වැසියන්ට ඇති බලපෑම සැලකිල්ලට නොගන්නා බවයි.
කොරෝනා පැතිර ඇති රටවලට උදව් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැරසෙයි.
කොරෝනා වෛරස් පැතිරීම ඇති රටවල්වලට උපකාර කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ඩොලර් බිලියනයක් ඉල්ලා ඇත.
අද වන විට (6 Feb) මෙම වෛරසය හේතුවෙන් චීනයේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 560ක් ලෙසද වෛරස අසාදිත සංඛ්‍යාව 28,018 ක් ලෙසට ද වාර්තා වේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනම් පවසා සිටිනුයේ ඇමරිකානු ඩොලර් බිලියනයක් යනු අතිවිශාල මුදලක් වුවද රෝගය පතිඅති රටවලට එය දැන් ආයෝජනය නොකළහොත් පසුව ඒ සඳහා වෙන්කිරීමට සිදුවන මුදල ඊට වඩා බෙහෙවින් වැඩිවනු ඇති බවයි.

