පසුගිය පෙබරවාරි 22 සිට ඔස්ට්‍රේලියාවේ Pfizer කොරෝනා එන්නත ලබාදීම ආරම්භ කෙරුණි.
ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබා දීමේ වැඩසටහන අදියර කිහිපයකින් ක්‍රියාත්මක කෙරෙන අතර මෙම පළමු අදියරේදී නිරෝධායන හා දේශ සීමා ආරක්ෂණ සේවකයන්ට, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට සහ Aged Care හා Disability Care මධ්‍යස්ථාන වල වෙසෙන පුද්ගාල්යින්ට හා ඒවායේ සේවකයින්ට මෙම Pfizer කොරෝනා එන්නත ලබා දේ.
එසේ ලබාදෙන Pfizer කොරෝනා එන්නතේ සුවිශේෂීතා සහ එහි ඵලදායීතාවය පිළිබඳ මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කෙරේ.
Highlights
- Pfizer එන්නතේ දී කොරෝනා වයිරසය මිනිස් සිරුරට කිසිසේත්ම එන්නත් නොකරයි.
- Pfizer කොරෝනා එන්නත යනු මිනිස් භාවිතයට ගැනුණු පළමු mRNA එන්නතය.
- මෙම එන්නත ආලෝකයට, තාපයට සහ සෙලවීම් වලට අධික සංවේදීතාවක් දක්වයි.
Pfizer කොරෝනා එන්නත
මේ වන විට ලෝකයේ විවිධ රටවල වැසියන්ට ලබා දීමට කොරෝනා එන්නත් 11ක් ලියාපදිංචි කර තිබේ.
ඒ අතරින් පළමුවටම ලියාපදිංචි කළ එන්නත ලෙස මෙම Pfizer කොරෝනා එන්නත සැලකේ.
2020 ජනවාරි 10 වන දින මෙම එන්නත නිෂ්පාදනය සඳහා මුල පිරූ අතර 2020 දෙසැම්බර් මාසයේ මුල බාගයේදී එය ජනතාවට ලබාදීමට සුදුසු එන්නතක් ලෙස විවිධ රටවල ලියාපදිංචි කරනු ලැබූ බව මෙල්බර්න් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
මේ වන විට ලොව රටවල 57 ක මෙම Pfizer කොරෝනා එන්නත ලියාපදිංචි කර තිබේ.
මේ වන විට මිලියන 50 කට අධික ජනතාවකට මෙම එන්නත ලබා දී ඇති අතර මේ වසර තුළ මෙම එන්නතේ මාත්‍රා බිලියන 2 ක් නිපදවීමට අදාළ සමාගම තීරණය කර ඇති බව ද වෛද්‍ය ලලිත් බදුරලිය මහතා පැවසීය.
මෙම එන්නතේ දී කොරෝනා වයිරසය මිනිස් සිරුරට කිසිසේත්ම එන්නත් නොකරන බවද වෛද්‍ය බදුරලිය මහතා අවධාරණය කළේය.

Pfizer කොරෝනා එන්නතේ විශේෂත්වය
Pfizer කොරෝනා එන්නත අප අතරට පැමිණි පළමු mRNA එන්නත වීම නිසා සුවිශේෂී ස්ථානයක් ගන්නා බව මෙල්බර්න් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
එමෙන්ම මෙම එන්නත ආලෝකයට, තාපයට සහ සෙලවීම් වලට අධික සංවේදීතාවක් දක්වන බව ද ඔහු පැවසීය.
එනිසාම මෙම Pfizer කොරෝනා එන්නත සෙල්සියස් අංශක -60 ත් -90 ත් අතර උෂ්ණත්වයක ගබඩා කළ යුතු අතර එහි ආයු කාලය මාස 6 ක් පමණි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
සාමාන්‍ය එන්නත් තබන ශීතකරණ වල උපරිම දින 5 ක් මෙම එන්නත තබාගත හැකි නමුත් පරිසර උෂ්ණත්වයේ මෙය තබාගත හැක්කේ පැය කිහිපයක් පමණි.
මෙය බහු මාත්‍රා එන්නතක් වීම ද තවත් සුවිශේෂී ලක්ෂණයකි.
ඔස්ට්‍රේලියාව තුළ එන්නත්කරණයේ දී එක් එන්නත් කුප්පියක් එක රෝගියෙකු උදෙසා අප භාවිතා කරන නමුත් මෙම Pfizer කොරෝනා එන්නතේ එක් කුප්පියකින් පුද්ගලයින් 6 දෙනෙකුට මාත්‍රා 6 ක් ලබාදීමට හැකිවන බව මෙල්බර්න් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
ඉතා කුඩා කාලයක් තුළ වැඩි එන්නත් ප්‍රමාණයක් නිපදවීමටත් ඒවා ප්‍රවාහනය සඳහා වන මුදල අවම කරගැනීමටත් ඉඩ සලසා ගැනීම ඊට ප්‍රධාන හේතුව ලෙස ඔහු පැවසීය.
දරුණු කොවිඩ් ලක්ෂණ වලින් 95% ක් වැළක්වීමට මෙම Pfizer කොරෝනා එන්නතට හැකියාව ඇති බවද පර්යේෂණ වලින් පෙන්වා ඇතැයි වෛද්‍ය ලලිත් බදුරලිය මහතා සඳහන් කළේය.

Pfizer කොරෝනා එන්නත ලබාගත යුතු අයුරු
මෙම Pfizer කොරෝනා එන්නත, මාත්‍රා දෙකකට ලබාගත යුතුය.
පළමු මාත්‍රාව ලබාගෙන සති තුනකට පසුව දෙවැනි මාත්‍රාව ලබාගත යුතු බව මෙල්බර්න් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතා SBS සිංහල ගුවන් විදුලියට පැවසීය.
මෙම එන්නතෙන් ඔබේ සිරුරට උපරිම ආරක්ෂාව ලැබෙන්නේ දෙවැනි මාත්‍රාව ලබාගෙන සතියකින් පමණ පසුව බවද ඔහු අවධාරණය කළේය.
මේ වන විට ගණන් බලා ඇති ආකාරයට Pfizer කොරෝනා එන්නතේ ඵලදායීතාවය 95% ක් වේ.

