ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නැගෙනහිර Gippsland ප්‍රදේශය හරහා ඊයේ (දෙසැ 30) ඇති වූ ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු අතුරුදහන් වී ඇති අතර සැලකිය යුතු නිවාස සංඛ්‍යාවක් විනාශ වී ඇතැයි වාර්තා වේ.
වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews අද - අඟහරුවාදා (31) උදෑසන මෙල්බර්න් හි පැවති මාධ්‍ය හමුවකදී අතුරුදහන් වූවන් පිළිබඳව තහවුරු කළේය.
"අතුරුදහන් වුනු පුද්ගලයින් හතර දෙනෙකු සිටින අතර ඔවුන් සිටින ස්ථානය අපට තහවුරු කළ නොහැකියි. නමුත් ඔවුන් ගිණි නිවන භටයින් නොවේ " යනුවෙන් Daniel Andrews ප්‍රාන්ත අගමැතිවරයා අද වාර්තාකරුවන් හමුවේ පැවසීය.
නිවාස විනාශ වී ඇති නමුත් බලධාරීන්ට තවමත් නිශ්චිත සංඛ්‍යාවක් ලබා දීමට නොහැකිව ඇතැයිද සඳහන්.
ලැව්ගිනි හේතුවෙන් නැගෙනහිර Gippsland හි නිවාස සහ දේපල 5,700 ක විදුලිය සැපයීම බිඳවැටී ඇතැයි AusNet Services නම්වන විදුලිය සැපයීමේ සමගම දන්වා තිබේ. එසේම ඊසානදිග වික්ටෝරියා හි තවත් නිවාස 1,800 ක ද විදුලිය සැපයීම බිඳවැටී ඇත.
එසේම ඇතැම් කලාප වල ජංගම සහ ලෑන්ඩ්ලයින් දුරකථන මාර්ග ද බිඳවැටී ඇති වාර්තා වේ.
ඊයේ රාත්‍රියේ (දෙසැ 30) ඇතිවුණු සුළං සහ අකුණු කුණාටු සැර වැදීම හේතුවෙන් නැගෙනහිර Gippsland ප්‍රදේශයේ ලැව් ගින්න වේගයෙන් වර්ධනය වූ අතර එය නැගෙනහිර Gippsland ප්‍රදේශයේ හෙක්ටයාර් 200,000 කට වඩා වැඩි ප්‍රමාණයක් පැතිරී ඇති බව අද - අඟහරුවාදා (31) උදෑසන වන විට ගණන් බලා තිබේ.
නැගෙනහිර Gippsland ප්‍රදේශය සඳහා හදිසි අනතුරු ඇඟවීම් සහ සෝදිසියෙන් සිටීමේ අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මකයි.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ ඊසානදිග ප්‍රදේශය සහ නිව්සවුත්වෙල්ස් ප්‍රාන්තය අතර ප්‍රාන්ත සිමාවේ ඇති Walwa/Corryong ප්‍රදේශයේද ලැව්ගිනි ඇතිවීමේ අවධානයක් පවතින බව වාර්තා වේ.
ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් වුනු Mallacoota ප්‍රදේශයට අද - අඟහරුවාදා උදේ 8.30 ට පමණ ඇතිවුණු දැවැන්ත ලැව්ගිනි තර්ජනය හේතුවෙන් පුද්ගලයින් 4,000 ක් පමණ දෙනා ගින්නෙන් ඇතිවියහැකි අපදා වැලැක්වීම වෙනුවෙන් ජලාශ්‍රිත ප්‍රදේශයක් වන Mallacoota වෙරළ තීරයට පිටත්කොට හැර ඇත. එම අවස්ථාවේදී ලැව්ගිනි හේතුවෙන් අහස තද රතු පැහැයට හරි තිබුණු බවද වාර්තා වේ.