2020 නව අවුරුදු උදාව සැමරීමට ඔස්ට්‍රේලියාව මේ වන විට ලහි ලහියේ සූදානම් වෙමින් සිටියි.
සෑම වසරකම පාහේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල දෙසැම්බර් 31 රාත්‍රියේ පැවැත්වෙන ගිනි කෙළි සංදර්ශන සඳහා ඒවායේ සංවිධායකයින් මේ වන විටත් එම කටයුතු අවසාන කරමින් පසුවෙයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ දැවැන්තම නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය සහ ලොව ප්‍රධානතම නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනයක් ලෙස ප්‍රසිද්ධියට පත් සිඩ්නි නුවර වරාය පාලම ආශ්‍රිත ගිනි කෙළි සංදර්ශනය මෙවරත් ඔස්ට්‍රේලියාවේ විශාලතම ගිනි කෙළි සංදර්ශනය ලෙස වාර්තා තබන බව එහි සංවිධාකයෝ පවසති.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ විශාලත්වය අතින් දෙවැනි තැන ගන්නා මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය ද මෙවර සුවිශේෂී නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනයක් වන බවත් වාර්තා වේ.
මෙල්බර්න් සහ සිඩ්නි නගර වලට අමතරව ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රධාන නගර වලද හෙට (31/12) රාත්‍රියේ නව අවුරුදු ගිනි කෙළි සංදර්ශන පැවැත්වෙන බව සඳහන්.
නමුත් කැන්බරා නුවර පැවැත්වීමට තීරණය කර තිබූ නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය අවලංගු කිරීමට කැන්බරා බලධාරීහු තීරණය කර ඇත.
මේ සතිය තුළ හටගන්නා අධික උෂ්ණත්වය නිසා Australian Capital Territory පුරාවට total fire ban තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම ඊට හේතුව වේ.
එක් එක් ප්‍රධාන නගර වල හෙට රාත්‍රියේ පැවැත්වෙන ගිනි කෙළි සංදර්ශන පිළිබඳ විස්තර මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

Source: AAP
සිඩ්නි
ඔස්ට්‍රේලියාවේ දැවැන්තම ගිනි කෙළි සංදර්ශනය සහ ලොව ප්‍රධානතම නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනයක් ලෙස සිඩ්නි නුවර වරාය පාලම ආශ්‍රිත නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය හැඳින්වේ.
ලොව වැඩිම පිරිසක් සජීවීව හා රූපවාහිනී මාධ්‍යයෙන් නරඹන නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනයක් ලෙසින්ද සිඩ්නි ගිනි කෙළි සංදර්ශනය ප්‍රසිද්ධියක් උසුලයි.
සිඩ්නි නගර සභාවට අනුව පසුගිය වසරේ දෙසැම්බර් 31 වන දින සිඩ්නි නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය ලොව පුරා බිලියනයක පමණක ජනතාව රූපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්සේ නරඹා ඇත.
සෑම වසරකම සිඩ්නි ගිනි කෙළි සංදර්ශනය කුමන හෝ තේමාවක් යටතේ පැවැත්වෙන අතර මෙවර තේමාව ඔස්ට්‍රේලියාවේ ආදී වාසී ජනයාට උපාහාර කිරීමක් ලෙස වෙන් කෙරෙන බව වාර්තා වේ.
මෙවර සිඩ්නි ගිනි කෙළි සංදර්ශනය සිඩ්නි වරාය පාලම සහ සිඩ්නි ඔපෙරා හවුස් යන ස්ථාන දෙකකින් ක්‍රියාත්මක වේ.
මිලියනකයට අධික ජනකායක් මෙය නැරඹීම සඳහා සිඩ්නි නගරයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කුඩා දරුවන් සඳහා වන ගිනි කෙළි සංදර්ශනය හෙට රාත්‍රී 9 ට ආරම්භ වන අතර ප්‍රධාන ගිනි කෙළි සංදර්ශනය හෙට මධ්‍යම රාත්‍රී 12 ට ආරම්භ කෙරේ.

Source: AAP
නැරඹිය හැකි ස්ථාන
මෙවර සිඩ්නි නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය සජීවීව නොමිලයේ නැරඹීම සඳහා සිඩ්නි නගර සභාව ස්ථාන 53 ක් නම් කර ඇති අතර එයින් නැරඹුම් ස්ථාන 37 ක් සඳහා ඇල්කොහොල් ගෙන ඒම හෝ භාවිත කිරීම තහනම් වේ.
මෙවර සිඩ්නි නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය නැරඹීමට හැකි නැරඹුම් ස්ථාන අතරින් පහත ස්ථාන ප්‍රධාන තැනක් ගනී.
- Barangaroo
- Campbells Cove
- Cahill Expressway
- Bradfield Park
- Pirrama Park
- Royal Botanic Garden and Domain
- Sydney Opera House

Source: SBS
මෙල්බර්න්
මෙවර මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය සඳහා මෙල්බර්න් නගර මධ්‍යයේ ගොඩනැගිලි 20 කින් පමණ ගිනි කෙළි නිකුත් කිරීමට නියමිතය.
ටොන් 14 ක ගිනි කෙළි රැගත් මෙවර මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය සඳහා ඩොලර් ලක්ෂ දෙකකට අධික පිරිවැයක් වැයවන බව වාර්තා වේ.
මෙවර මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය නැරඹීමට ලක්ෂ 4 ක පමණ ජනකායක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කුඩා දරුවන් සඳහා වන ගිනි කෙළි සංදර්ශනය හෙට රාත්‍රී 9.30 ට Yarra Park සහ Footscray Park හිදී ආරම්භ වන අතර ප්‍රධාන ගිනි කෙළි සංදර්ශනය හෙට මධ්‍යම රාත්‍රී 12 ට ආරම්භ කෙරේ.

Source: AAP
නැරඹිය හැකි ස්ථාන
මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය සජීවීව නොමිලයේ නැරඹීම සඳහා මෙල්බර්න් නගර සභාව පහත සඳහන් ප්‍රධාන ස්ථාන 4 සාමාන්‍ය ජනතාවට සකස් කර තිබේ.
- King's Domain
- Treasury Gardens
- Docklands
- Flagstaff Gardens
මෙම සියලු නැරඹීමේ පරිශ්‍ර මත් පැන් වලින් තොරවන බවත් ඒවායේ යමෙකු මත් පැන් පානය කළ හසුවුවහොත් දඩ මුදල් පැනවීමට කටයුතු යොදන බවත් මෙල්බර්න් නගර සභාව පවසයි.
ඊට අමතරව Princes Bridge, Federation Square, Southbank සහ Flinders Street දුම්රිය ස්ථානයේ සිටද මෙල්බර්න් නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය සජීවීව නොමිලයේ නැරඹිය හැකිය.

Source: Flickr
බ්‍රිස්බේන්
බ්‍රිස්බේන් නුවර South Bank Parklands පරිශ්‍රයේදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන නව අවුරුදු ගිනි කෙලි සංදර්ශනය හෙට රාත්‍රියේදී පැවැත්වේ.
කුඩා ළමුන්ට රාත්‍රී 8.30 ට කුඩා ප්‍රමාණයේ ගිනි කෙලි සංදර්ශනයක් පැවැත්වෙන අතර ප්‍රධාන ගිනි කෙලි සංදර්ශනය මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ කෙරේ.
නැරඹිය හැකි ස්ථාන
- South Bank Parklands
- Portside Wharf
- Howard Smith Wharves
- Eagle Street Pier
- Riverside Centre
- Waterfront Place
- Kangaroo Point Cliffs
- Captain Burke Park
- Wilson Outlook Reserve

Source: Flickr
ඇඩිලේඩ්
දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය Elder Park සහ Riverbank පරිශ්‍ර වලදී මෙවරත් පැවැත්වේ.
කුඩා ළමුන්ට රාත්‍රී 8.30 ට කුඩා ප්‍රමාණයේ ගිනි කෙලි සංදර්ශනයක් පැවැත්වෙන අතර ප්‍රධාන ගිනි කෙලි සංදර්ශනය මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ කෙරේ.
නැරඹිය හැකි ස්ථාන
- Elder Park
- Riverbank
- Festival Centre
- Adelaide Oval
- The Intercontinental
පර්ත්
බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය පර්ත් නුවර Yagan Square සහ Perth Cultural Centre ආශ්‍රිතව පැවැත්වේ.
කුඩා ළමුන්ට රාත්‍රී 8.30 ට කුඩා ප්‍රමාණයේ ගිනි කෙලි සංදර්ශනයක් පැවැත්වෙන අතර ප්‍රධාන ගිනි කෙලි සංදර්ශනය මධ්‍යම රාත්‍රී 12ට ආරම්භ කෙරේ.
Applecross, Cannington, City Beach, Crown, Gloucester Park, Mandurah, Mindarie, Rockingham සහ Rottnest Island යන ප්‍රදේශ වල සිට එය සජීවීව නැරඹීමට හැකිය.

Source: Flickr
කැන්බරා
කැන්බරා නුවර පැවැත්වීමට තීරණය කර තිබූ නව අවුරුදු ගිනි කෙළි සංදර්ශනය අවලංගු කිරීමට කැන්බරා බලධාරීහු තීරණය කරති.
මේ සතිය තුළ හටගන්නා අධික උෂ්ණත්වය නිසා Australian Capital Territory පුරාවට total fire ban තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම ඊට හේතුව වේ.
මෙම total fire ban තත්ත්වය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වී ජනවාරි 01 වන දින උදෑසන 6 තෙක් ක්‍රියාත්මක වේ.
මෙම කාලය තුළ Australian Capital Territory පුරාවට ඉහළ ලැව් ගිනි අවදානම් තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර තිබේ.

Source: SBS Sinhala