ඔස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂාව පිළිබද ජාතික සතිය පසුගිය සැප්තැම්බර් 6 - 12 දක්වා යෙදී තිබුණි.
එය නිමිතිකොටගෙන ඔස්ට්‍රේලියාවේ විවිධ අපයෝජනවලට ලක්වන දරුවන්ට ඔස්ට්‍රේලියානු ළමා ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වන අයුරු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය ඉදිරිපත් කෙරේ.
Highlights
- ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා ටෙරිටරියකටම වෙන් වෙන්වූ ළමා ආරක්ෂණ පද්ධති තිබේ.
- එහිදී විවිධ සේවා සැපයුම්කරුවන් සමග එම ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයන් එක්වී ළමුන්ගේ ආරක්ෂාව සහ වර්ධනය පිළිබඳ කටයුතු කරයි.
- ළමා අපයෝජන හා නොසලකා හැරීම් පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට සෑම ප්‍රාන්තයකටම හා ටෙරිටරියකටම වෙන්වූ දුරකතන අංක තිබේ.
ඔස්ට්‍රේලියානු ළමා ආරක්ෂණ පද්ධතිය
ඔස්ට්‍රේලියානු ළමා ආරක්ෂණ පද්ධතිය ඉතා සංකීර්ණ පද්ධතියකි.
ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකටම හා ටෙරිටරියකටම වෙන් වෙන්වූ ළමා ආරක්ෂණ පද්ධති තිබේ.
ඒ සෑම ළමා ආරක්ෂණ පද්ධතියක්ම පදනම් වී ඇත්තේ ඒ ඒ ප්‍රාන්තයේ නීති පද්ධතියකට අනුව බව ඇඩිලේඩ් නුවර ළමා ආරක්ෂණ නිලධාරී හංසි සමුද්‍රිකා මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
ඒ ඒ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ ළමා ආරක්ෂණ පද්ධතිය එම ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයේ මුල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වේ.
එහිදී විවිධ සේවා සැපයුම්කරුවන් සමග එම ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයන් එක්වී ළමුන්ගේ ආරක්ෂාව සහ වර්ධනය පිළිබඳ කටයුතු කරයි.
මෙම ළමා ආරක්ෂණ පද්ධතිය පහත අයුරින් කොටස් කිහිපයකට බෙදීමට හැකි බවද ඇය පැවසුවාය.

Early intervention
දෙමාපියන් ළමයින් බලා ගැනීමේදී ළමයින්ගේ වර්ධන අවශ්‍යතා ඉටු කිරීමට දෙමාපියන්ට හැකියාවක් නැතිනම් ඒ අයට අදාළ ප්‍රාන්තයේ ළමා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව උදව් කරන බව සමුද්‍රිකා මහත්මිය පැවසුවාය.
මෙහිදී ළමයින්ට දෙමාපියන් සමගම ජීවත් වීමට හැකියාව ලැබෙන අතර දෙමාපියන්ට අවශ්‍ය සහන සහ සහය රජයෙන් සැපයේ.
මෙලෙස දෙමාපියන්ට මෙම තත්ත්වය උද්ගතවීමට ඇති ප්‍රධානතම සාධකය වන්නේ දුප්පත්කම බව ද සමුද්‍රිකා මහත්මිය පැවසුවාය.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
Foster Care හෙවත් out of home care
දෙමාපියන්ට තම දරුවන්ව බලා ගැනීමට බැරිවූ තත්ත්වයක ළමයින්ව නොසලකා හැරීමකට ලක්වේ.
එවැනි අවස්ථාවලදී අදාළ ප්‍රාන්තයේ ළමා ආරක්ෂණය පිළිබඳ වගකිව යුතු රජයේ නියෝජිත ආයතනය විසින් එම ළමයින්ව ඔවුන්ගේ දෙමාපියන්ගෙන් ඈත් කරන බවත් ඒ සඳහා නීත්‍යනුකුල හිමිකම අදාළ ආයතනවලට ඇති බවත් සමුද්‍රිකා මහත්මිය පැවසුවාය.
ඉන් අනතුරුව එවැනි ළමයෙකු අවුරුදු 18 තෙක් මෙම Foster Care පද්ධතිය තුළට යොමු කෙරේ.
එසේ නොමැතිනම් දෙමාපියන්ට ඇති ගැටළු හඳුනාගෙන ඒවාට උදව් දී යහපත් පරිසරයක් උදා කර නැවත එම දරුවන්ව දෙමාපියන් වෙත යැවීමට කටයුතු කෙරේ.
Foster Care Parent කෙනෙකු නැති අවස්ථාවක ළමයින්ව Residential care වෙත යොමු කෙරෙන බවද වාර්තා වේ.

Leaving Care Services හෙවත් Post Care Services
ළමයින්ව වයස අවුරුදු 18 ට ආසන්න වන විට ඔවුන්ට ස්වාධීන ලෙස ජීවත් වන්නේ කෙසේද යන්න පිළිබඳ මෙහිදී උගන්වයි.
වයස අවුරුදු 16 දී පමණ මෙම ක්‍රියාවලිය ආරම්භ කෙරෙන බව ඇඩිලේඩ් නුවර ළමා ආරක්ෂණ නිලධාරී හංසි සමුද්‍රිකා මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
අවුරුදු 18 සිට 21 දක්වාත් ඔවුන්ට ජීවත්වීමට නිවෙසක් සොයා ගැනීමට, රැකියාවක් සොයාගැනීමට, ආබාධ තත්ත්වයක සිටීනම් ඒවාට සහය ගන්නා ආයතන සොයාගැනීමට මෙහිදී උපකාර කෙරේ.
Reunification
මෙහිදී දරුවන්ව නැවත තමා සමීපයට ගැනීමට දෙමාපියන්ට හැකියාව තිබේ.
නමුත් දෙමාපියන්ට දරුවන්ව බලා ගැනීමට ඇති හැකියාව අඩුනම් Reunification සේවා සමග සම්බන්ධවී ළමුන්ව නැවත භාරකරීත්වයට ගැනීමට හැකි බව සමුද්‍රිකා මහත්මිය පැවසුවාය.
Preservation
මෙයත් Reunification කොටසේ මෙන්ම ක්‍රියා කරන බව සමුද්‍රිකා මහත්මිය පැවසුවාය.

ළමා අපයෝජන හෝ නොසලකා හැරීම පිළිබඳ තොරතුරු ලැබෙන්නේ කෙලෙසද?
ළමා අපයෝජන හෝ නොසලකා හැරීම පිළිබඳ තොරතුරු පහත පිරිස් වෙතින් ලැබෙන බව ඇඩිලේඩ් නුවර ළමා ආරක්ෂණ නිලධාරී හංසි සමුද්‍රිකා මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
- ගුරුවරු
- Childcare මධ්‍යස්ථාන
- පවුලේ වෛද්‍යවරුන්
- අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයින්
- සමාජ සේවකයින්
ඉහත පිරිස් ළමා අපයෝජන හා නොසලකා හැරීම් පිළිබඳ තොරතුරු දනී නම් අනිවාර්යෙන් ඒවා වාර්තා කළ යුතුවේ.
ඊට අමතරව මජහනයාටද ඒ සම්බන්ධ තොරතුරු දනී නම් ඔවුන්ටද ඒ පිළිබඳ වාර්තා කළ හැකිය.
ඒ සඳහා දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ නම් 13 14 78 යන දුරකතන අංකය ඔස්සේ child abuse report line වෙත ඇමතිය හැකිය.
එලෙස පැමිණිල්ලක් ලැබුණු පසු එම සිදුවීමට අදාළ වාර්තාවක් සකස්කර අදාළ දෙපර්තම්න්තුවේ අදාළ අංශයට එය යවන බව සමුද්‍රිකා මහත්මිය ප්‍රකාශ කළාය.
ඉන් පසුව එම කාර්යාලයෙන් අදාළ ළමයාගේ අවදානම පිළිබඳ තක්සේරුවක් කරන බවද ඇය පැවසුවාය.
එහිදී ළමයාගේ අවදානම ඉහළ මට්ටමක ඇත්නම් එම ළමයාව දෙමාපියන්ගෙන් ඉවත් කෙරෙන බව ඇය පැහැදිලි කළාය.
එසේ නොමැතිව අඩු හෝ මධ්‍යම ප්‍රමාණයේ අවදානමක් තිබේනම් අදාළ දෙමාපියන් සමග සාකච්ඡා කර ළමයින්ව ඔවුන්ගේ භාරයේම තබාගැනීමට ඔවුන්ට උපකාර කෙරේ.

