කොරෝනා වසංගතයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහනේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විවාදය යළි උණුසුම් වී තිබේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාව යළි විවෘත කිරීමෙන් අනතුරුව නිකුත් කරනු ලබන partner visa සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ දමන ලෙස කම්කරු පක්ෂය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටියි.

සහකාර වීසා ඉහළ දමන්නට ඉල්ලීම්
පසුගිය කාලයේදී ඔස්ට්‍රේලියානු සහකාර වීසා (partner visa) සඳහා යොමු කෙරුණු අයදුම්පත් සලකා බැලීම බරපතල ලෙස ප්‍රමාද කෙරිණි.
එහි ප්‍රතිඵලයක් ලෙස එම සහකාර වීසා අයදුම්පත් විශාල ප්‍රමාණයෙන් ගොඩ ගැසෙමින් පවතින බවට තොරතුරු වාර්තා විය.
මේ වන විට සලකා බැලීමක් නොකර එසේ ගොඩගැසී ඇති සහකාර වීසා අයදුම්පත් ප්‍රමාණය ලක්ෂයක් පමණ වන බව කම්කරු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී Julian Hill, SBS පුවත් වෙත පැවසීය.
වර්තමානයේදී ඔස්ට්‍රේලියානු දේශ සීමා වසා ඇති බැවින් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයින් ගේ පැමිණීම නැවතී තිබෙන නමුත් ගොඩගැසී ඇති සහකාර වීසා අයදුම්පත් සලකා බැලීම ආරම්භ කිරීමට මෙය සුදුසුම කාලය බව ඔහු පහැදිලි කළේය.
ඒ ඔස්සේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහනට යළි හොඳ ආරම්භයක් ලබා ගත හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
ඔස්ට්‍රේලියාව සමග අදාළ අයදුම්කරුවනට විශාල වශයෙන් පවුල් සබඳකම් ඇති බවත් ඔවුන්ට ඔස්ට්‍රේලියාවට පිවිසීමට අවසර ලබාදී ඔවුන්වද ඔස්ට්‍රේලියානු ආර්ථිකය නගා සිටුවීමට දායක කරගත යුතු බව කම්කරු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී Julian Hill, SBS පුවත් වෙත පැවසීය.

ඔස්ට්‍රේලියාවේ සහකාර වීසා
2017-18 සහ 2018-19 යන වසර වල ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් සහකාර වීසා 40,000 කට අඩු සංඛ්‍යාවක් නිකුත් කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව 2016-17 වසරේදී එම ප්‍රමාණය 47,825 ක් වූ බව සඳහන්.
2018-19 වසරේ අගයන්ට සාපේක්ෂව 2020-21 වසරේදී ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ගේ ප්‍රමාණය 85% කින් අඩුවනු ඇතැයි පසුගිය මාසයේදී ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පැවසීය.
කොපමණ සහකාර වීසා ප්‍රමාණයක් වැඩිපුර නිකුත් කළ යුතුද යන්න පිළිබඳ තමන් නොපවසන නමුත් එම අයදුම්පත් විශාල වශයෙන් ඉක්මණින් සලකා බැලිය යුතු බව ඔහු අවධාරණය කරයි.
ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව මෙම සහකාර වීසා අනුමත වීම සඳහා බලා සිටිය යුතු කාලය මේ වන විට වසර දෙක දක්වා ඉහළ ගොස් ඇත.
විශාල කාලයක් බල සිටීමට සිදුවීම නිසා දහස් ගණනක් ඔස්ට්‍රේලියානුවන් හට තම සහකරු හෝ සහකාරිය ගෙන් වෙන්ව තනිව ජීවිතය ගෙවීමට සිදුවී ඇති බව ද කම්කරු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී Julian Hill, SBS පුවත් වෙත පැවසීය.


