ගතවූ පැය 24 ඇතුළත වික්ටෝරියානු ප්‍රාන්තයෙන් අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 177 ක් බව සඳහන්.
SBS සිංහල සේවය
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙල්බර්න් නුවරට lockdown නීති දැමීමෙන් යහපත් ප්‍රතිඵල අත්වෙමින් පවතින බව වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් වටහාගත හැකි බව ප්‍රාන්ත රජය පවසයි.

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් කොරෝනා ආසාදිතයින් 177 ක්
වික්ටෝරියානු ප්‍රාන්තයෙන් ගතවූ පැය 24 ඇතුළත අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 177 කි.
වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews අද (13/07) මධ්‍යහනයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී මේ බව පැවසුවේය.
පසුගිය බ්‍රහස්පතින්දායින් (09/07) අනතුරුව වික්ටෝරියානු ප්‍රාන්තයෙන් දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 200 ට අඩුවූ ප්‍රථම අවස්ථාව මෙය ලෙසද වාර්තා වේ.
අලුතින් හමුවූ ආසාදිතයින් 177 දෙනා අතරට හෝටල් නිරෝධයනයේ නිරතව සිටි එක් පුද්ගලයෙකුද දැනට හඳුනාගෙන ඇති කොරෝනා වයිරසය පැතිරීම් වලට සම්බන්ධ 25 දෙනෙකුද ඇතුළත් වේ.
නමුත් සෙසු 151 දෙනාට වයිරසය ආසාදනය වූ අයුරු පිළිබඳ තවමත් විස්තර සොයමින් පසුවන බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසුවේය.

සියලුම වික්ටෝරියානුවන් කොරෝනා වයිරසය බැරෑරුම් ලෙස සැලකිය යුතුය
සියලුම වික්ටෝරියානු වාසීන් කොරෝනා වයිරසය COVID-19 බැරෑරුම් ලෙස සැලකිය යුතු බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
දැනටමත් අසාධ්‍ය ලෙස රෝගී වී සිටින හෝ වයස්ගතව සිටින පුද්ගලයින්ට මෙය දරුණුවට බලාපනු ඇති බවට බොහෝ දෙනා සරළව සිතා සිටිනවා, නමුත් එය වැරදියි. මෙය විනාශකාරී ප්‍රතිඵල ඇති කළ හැකියි." යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සෞඛ්‍ය සම්පන්නව සිටින හා ඕනෑම වයස් ඛාණ්ඩයක සිටින පුද්ගලයෙකු හට මෙම වයිරසය ආසාදනය වීමේ සම්භාවිතාවක් පවතින අතර ඔවුන්ගෙන් සමාජයේ අනෙක් අයටද මෙය බෝවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවද වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews වැඩි දුරටත් පැවසීය.

lockdown කිරීම දීර්ග කළ හැකියි
මෙල්බර්න් සහ Mitchell Shire කලාප වලින් ඔබ්බට lockdown කිරීම දීර්ග කළ හැකි බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
ජනතාවගේ හැසිරීම් සහ ක්‍රියාවලට තවත් සීමාවන් පැනවීම තමන්ට බැහැර කළ නොහැකි බවද ඔහු පෙන්වා දුන්නේය.
දැනට ක්‍රියාත්මක 3 වන මටටමේ කොරෝනා නීති 4 වන මට්ටමට ගෙන ඒමට හෝ lockdown නීති තවත් දිගු කිරීමට හෝ ඔබ කැමති නැතිනම් මේ වන විට පනවා ඇති කොරෝනා නීති හා සීමාවලට අනුගතව කටයුතු කරන මෙන් ප්‍රාන්ත අගමැතිවරයා සියලුම වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ට දන්වා සිටියේය.
ගතවූ පැය 24 ඇතුළත වාර්තා වූ ආසාදිතයින් ප්‍රමාණය ඉතා හොඳ නිමිති පෙන්නුම් කරන නමුත් දීර්ග කාලීනව එම අගය පහත බැසිය යුතු බව වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය Brett Sutton පැවසුවේය.
"එය අපේ උපරිමයට වඩා අඩුයි. නමුත් එය තවමත් අපේ උපරිමය නොවිය හැකියි" යනුවෙන් ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

පරීක්ෂා කිරීම් සහ දඩ මුදල්
ගතවූ පැය 24 තුළ කොරෝනා නීති උල්ලංඝනය කිරීම් නිසා දඩ 133 ක් නිකුත් කළ බව වාර්තා වේ.
නිවාස, ව්‍යාපාර සහ පොදු ස්ථාන ආවරණය වන පරිදි වික්ටෝරියානු ප්‍රාන්ත පොලීසිය විසින් පරීක්ෂා කිරීම් (spot checks) 2,500 ක් සිදු කර ඇත.
විශාල ලෙස ජනයා එක් රැස්වීම යන හේතුව මත Docklands හි මහල් නිවාස සංකීර්ණයක පුද්ගලයින් 13 කට, South Wharf හි මහල් නිවාස සංකීර්ණයක පුද්ගලයින් 10 කට සහ Southbank හි මහල් නිවාස සංකීර්ණයක පුද්ගලයින් 8 කට දඩ නිකුත් කර තිබේ.
camping කිරීම සඳහා මෙල්බර්න් නුවර සිට Myrniong වෙත ගමන් කළ පුද්ගලයින් පස් දෙනෙකු හටද කොරෝනා නීති උල්ලංඝනය කිරීම් නිසා දඩ නිකුත් කර ඇත.
වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රධාන මාර්ගවල මුරපොලවල්වල වාහන 9500 ක් පමණ පරීක්ෂා කර දඩ 22 ක් ලබා දී ඇති බවද වාර්තා වේ.

කොරෝනා නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකුට ඩොලර් 1652 ක් සහ ව්‍යාපාරවලට ඩොලර් 9913 ක් දක්වා දඩ මුදල් වික්ටෝරියානු පොලිසියට ලබා දිය හැකිය.

